යසේ කියන එකෙත් ඇත්තක් නැත්තෙ නෑ. ඇත්තට ම මේ කෙල්ලගෙ හුටපටේ වුණේ නැත්නම් යසේ අපුරුවට වැඩ ටික කරගෙන ඉන්නවනෙ.
ඒත් යසේ තනියම කොළඹ යවන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.
‘‘ඔහේට මෙහෙං යන්න ම ඕනෙනං ඉතිං මාත් එන්නං...’’
‘‘ඒක හරියන් නෑ සුසා... ඔහේ කොළඹ ඉඳන් මෙහෙට්ට ආවෙ ඔහේට කොළඹ හරියන්නැති හිංද නෙ. ඉතිං ආයි වංගියක් මාත්තෙක්ක කොළඹ ගියොත්...’’ යසේට ඊට වඩා යමක් කියන්න මම ඉඩ දුන්නෙ නෑ.
‘‘හරි හරි... මට තේරෙනෝ ඔහේ මක්කයි කියන්න හදන්නෙ කියල. මට ඔය කොළඹත් එකයි... ගාල්ලත් එකයි... මාතරත් එකයි. ඒ උනාට ඔහේ එහෙම නෙමෙයිනෙ යසේ... කොයිකටත් ඒ වැඩේ ගැන තව ඩිංගක් හිතන්න. ඔහේට කොළඹ යන්න ම ඕනෙ නං අපි දෙන්න ම යං. අපිට ඔය මක්ක හරි වැඩක් හොයාගන්න බැරිවෙන එකක් නෑ. අඩු ගානෙ කුලී වැඩක්කත්...’’
* * *
‘මේ තියන තත්ත්වය එක්ක මට සුසන්තව මෙහේ දාල යන්නත් බෑ. සුසන්ත මේ කරන රක්ෂාවත් නැති කරල එයා අමාරුවෙ දාන්නත් බෑ. අනික මම මෙහෙන් යනව නම් ඒ ගැන අනිවාර්යයෙන් ම ජෙසිකා අක්කට කියන්න ඕන. එහෙම නොකිව්වොත් ඒක මගේ හිතට හරි නෑ.’
මම, ඊයෙ අපි දෙන්න අතර වුණ ඔය කතා බහ පිළිබඳ සිතුවිලි අතර අතරමං වෙලා ඉද්දි තමයි අද ජෙසිකා අක්කයි අනික් තුන්දෙනයි කඩේට ආවෙ.
‘‘හම්මෝ මල්ලියෙ... උඹව දැක්ක කල්... කොහේද බං වහු වෙලා හිටියෙ...’’
හතර දෙනා ම මම බලන මේසේ පුටු එහාට මෙහාට කරල වාඩිවෙද්දි ම එහෙම ඇහුවෙ රමණී අක්කා. මම හිතුවෙ ජෙසිකා අක්ක එහෙම අහවි කියල. ඒත් එයා සද්ද නැතුව හිටියෙ මාත් එක්ක අරෝවෙන් වගේ.
‘‘පහුණු දොහේ ටිකක් සනීප නැති උණා අක්කෙ... ඒ හිංද සමහර දාට වැඩට ආවෙත් නෑ. මොනවයි ඕනෙ... ඉඳි ආප්පයි පානුයි ගේන්නෙයි...?’’
එයාල මාතෘකාව පටන් ගන්න ඉස්සර වෙලා මට වුවමනාව තිබුණෙ කතාව වෙන පැත්තකට හරවන්න. එදා බතික් අංකල් වැඩ කරේ මම වැඩ කරපු මේස දෙක ළඟම තිබුණ මේස දෙක. මං අහපු ප්‍රශ්නෙට කවුරුවත් උත්තර දුන්නෙ නෑ. හැබැයි ඒ අතරතුර ජෙසිකා අක්ක නැගිටලා බතික් අංකල් ළඟට ගිහින් එයාට මොනවා හරි රහසින් කිව්වා. බතික් අංකල් ඔළුව දෙපැත්තට වැනුවා. හැබැයි ඒ සංඥාවෙ තිබුණෙ ජෙසිකා අක්ක කියපු දේට අකමැති වෙනව කියන ලකුණු නෙවෙයි. ‘‘හා’’ කියන ලකුණු.
මම ඒ සිද්ධිය දැක්කෙ නෑ වගේ ආයෙත් ‘‘මක්කයි අක්කෙ ගේන්නෙ...?’’ කියල අහද්දි ම ජෙසිකා අක්ක ඇවිත් එයා හිටපු පුටුවෙන් ම වාඩි වෙන ගමන් ම ‘‘ඕකෙ ආයි අමුතුවෙන් අහන්න දෙයක් තියේයැ... පානුයි ඉඳිආප්පයි, පරිප්පු සිංගල් එකයි, අල සිංගල් එකයි මිරිස් මාළු දෙකයි...’’
ජෙසිකා අක්ක කෑම ඕඩර් කරේ කවදාවත් ආපු නැති කඩේකට ඇවිත්, කවදාවත් කතා කරලවත් නැති වේටර් කෙනෙකුට කියනව වගේ. මොකක් හරි හේතුවක් නිසා ජෙසිකා අක්කගෙ හිත රිදිල කියල මට දැනුණා. ඒත් මං කිසිම දෙයක් ඇහුවෙ නෑ. මම මගේ පාඩුවෙ කෑම ගෙනල්ලා තිබ්බා. කෑම කාල, තේත් බිල ඉවර වෙන තුරුම ජෙසිකා අක්ක නෙවෙයි මගේ මූණවත් බැලුවෙ. අනිත් තුන් දෙනත් වෙනද වගේ කතා බහ කරේ නෑ. ඒ අතරෙ මගේ අනිත් මේසෙට ආපු හැම කෙනෙකුට ම බතික් අංකල් කෑම දුන්නා. ජෙසිකා අක්කා බතික් අංකල්ට කියන්න ඇත්තෙ ඒක තමයි. ඒ කියන්නෙ මගේ අනිත් මේසෙ ටිකකට බලන්න කියල වෙන්න ඇති.
දැන් කට්ටිය කාල තේත් බීල ඉවරයි. කවුරුවත් මාත් එක්ක වැඩි කතාවක් බහක් නැති නිසා මම බිල ගෙනල්ල තිබ්බම වෙනද වගේ ම ජෙසිකා අක්ක පීරිසියට සල්ලි දාන ගමන් ම ‘‘මට උඹත්තෙක්ක ටිකක් දොඩන්නෝනෙ... අද කීයටෙයි ඕෆ් එක...?’’ කියල ඇහුවෙ පවුලෙ ලොකු අක්ක බාලම මල්ලිගෙන් අහනව වගේ.
‘‘ත... තවම වෙලාවක් ද... දන්නෑ අක්කෙ...’’
මම ඒ වචන ටික ගැටගහගත්තෙ හරිම අමාරුවෙන්. ඇත්තට ම මට දැනුණෙ මගේ ලොකු අක්ක එක්ක කතා කරනව වගේ. මට ජෙසිකා අක්ක ගැන ඇති වුණේ පුදුම ගෞරවයක්.
‘‘ආ... ඒකත් එහෙමෙයි... හරි... මං බතික් අංකල්ටත් කියන්නං... හතට ඕෆ් වෙලා තියෙන වැඩක් ඉවර කරගෙන ඔරලෝසු කණුව ගාවට එනෝ හරිය. හදිසියෙන්වත් මං නොහිටියොත් ඩිංගක් වෙලා ඉන්නෝ හරිය. බාගද මං නැතත් අපි කවුරුම හරි ඉන්න ඇහැකි. එහෙම උනොත් මං එනකං ඉන්නෝ හරිය...’’
ඒ වචනවල තිබුණෙ නියෝගාත්මක ස්වරූපයක්. ජෙසිකා අක්ක ඒ වචන පිට කරල ඉවර වෙනවත් එක්ක ම කමලණිත් ‘‘ආ... එහුණ නෙ... කවුරුත් ඉඳියත් නෙතත් වෙලාවට ඔර්ලෝසු කණුව ගාවට එන්නෝන ෂරි... තේරුණානෙ මල්ලි... ඒනං එප්පි ගියා...’’ කියල කියන ගමන් මගේ ඔළුව අත ගෑවෙ අක්ක කෙනෙක් ආදරෙන් මල්ලිගෙ ඔළුව අතගානව වගේ.’’
‘‘හරි අක්කෙ හරි...’’
මම එහෙම කිව්වෙ කමලණිගෙ මූණ දිහා බලාගෙන. ඒ එක්ක ම කමලණී ‘‘ඔයැයිට එන්න කිව්වෙ මම නෙවෙයි නෙ... ඒ හිංදා ඔයැයිට එන්න කියපු කෙනාට ම ඕක කිව්වනං නේද ෂරි...?’’ කියල අහද්දි මට පුදුම ලජ්ජාවක් ඇති වුණා. ඒ ලජ්ජාව ඒ විදියට ම තියෙද්දි මම ජෙසිකා අක්කගෙ මූණ දිහා බලල ‘‘හ... හරි අක්කෙ මං එන්නං...’’ කියද්දි ජෙසිකා අක්ක මගේ උරහිසට තට්ටුවක් දැම්මෙ මගේ වචන විශ්වාස කරනව කියන අදහසින්; මම එයාව හමුවෙන්න ඒවි කියන විශ්වාසයෙන්.
ජෙසිකා අක්කා
රොහාන් මගේ විශ්වාසය බින්දෙ නෑ. රෑ හතයි හතළිහ විතර වෙද්දි කොල්ලා ඔරලෝසු කණුව ගාවට ඇවිත් හිටියා. දවල් කඩේදි වගේ නෙවෙයි... කොල්ල මාව දැකපු ගමන් ම අහිංසක විදියට හිනාවුණා. ඔරලෝසු කණුව පාමුල තිබුණෙ අඩ අඳුරක් වුනත් මට ඒ හිනාව හොඳට අඳුරගන්න පුළුවන්.
‘‘අක්කෙ... මං සුනංගු නෑනෙ... ඕෆ් වෙද්දිත් හතයි දහයයි අක්කෙ. පොඩ්ඩක් සුනංගු වුනත් කමක් නැ කියල නාලම ආවා. නැහ්නං රෑට නාන්න කට්ටිය වැඩියි අක්කෙ.’’
රොහාන් මට ඒ වචන ටික කිව්වෙ ප්‍රමාද වුණ එක වරදක් ය ඒකට සමාව දෙන්නය කියන අරුතින් වගේ.
‘‘හරි හරි... එව්ව හරි... යමුකො අර පැත්තට ඩිංගක්...’’
ඒකටත් මොනවත්ම නොකියපු කොල්ලා මගේ පස්සෙන් වැටුණෙ සොච්චම් ගාණක් අතේ තියාගෙන ඇවිත් හැමිනෙන්න පස්සෙන් එන එකෙක් වගේ බයාදු ගතියෙන්. මම කොල්ලවත් එක්ක ඇවිත් කොටු බැම්ම උඩින් වාඩි වුණේ ඌටත් මගේ ළඟින් ම වාඩි වෙන්න කියල අතින් සන් කරන අතරතුර ම යි.
අපි දෙන්න විනාඩියක් විතර නිශ්ශබ්දව ම එකිනෙකාගෙ මූණු දිහා බලාගෙන හිටියෙ හරියට ටික කාලයක් තරහ වෙලා ඉඳල ආයි යාළු වුණ අක්ක කෙනකුයි මල්ලි කෙනකුයි වගේ. කවුද ඉස්සර වෙලාම කතා කරන්නෙ, මොනවද ඉස්සර වෙලාම කතා කරන්නෙ කියන කුකුස දෙන්නගෙ ම හිතේ පැළපදියම් වෙලා. මම දන්නවා රොහාන් කවදාවත් ඉස්සර වෙලා කතා කරන්නෙ නෑ කියල ඒ නිසා මම ම ඉස්සර වුණා.
‘‘මොකද්ද මේ කොළඹ යනවයි කියන කතාව...?’’
මම එහෙම අහපු වෙලාවෙ ඉඳල මිනිත්තුවක් විතර ගෙවෙන තුරු රොහාන් මගේ ඇස් දෙක දිහා ම බලාගෙන ඉන්න විදිය අඩ අඳුරෙදි වුනත් මට හොඳට ම පැහැදිලිව පෙනුණා. කොල්ලගෙ ඇස්වල ලියවිලා තිබුණෙ ‘ඔහේ කොහොමෙයි ඒක දන්නෙ ජෙසිකක්කෙ...?’ කියල අහන විදියක්.
‘‘මං දන්නව මල්ලියෙ උඹ මොනවයි කල්පනා කරන්නෙ කියල. ඒක අහකිං තියල මං අහපු දේට උත්තර දෙනවකො...’’
එක පාරට ම සිද්ධ වුණේ මම හිනෙකින්වත් නොහිතපු දෙයක්.
‘‘අක්කෙ... මං කොහොමෙයි අක්කෙ එව්ව අක්කට කියන්නෙ... මට ගාල්ල විතරක් නෙවෙයි අක්කෙ මුළු ජීවිතේ ම එපා වෙලා තියෙන්නෙ අක්කෙ...’’ කියල කියන ගමන් ම මගේ දකුණු උරහිසට හේත්තු වෙලා අඩන්න ගත්තා.
‘මේ කොල්ල මොන තරං නං වේදනාවක් හිතේ හිරකරගෙන ඉන්නැද්ද...? ඒව කියන්නවත්, එව්වට ඇහුම්කං දෙන්නවත් කවුරුවත් නැති හිංද තමයි මේ විදියට හැසිරෙන්නෙ... පවු...’
‘‘මල්ලි... මේ අහපං...’’
එහෙම කියන අතර ම මම කොල්ලගෙ ඔළුව අරගෙන මගෙ ඔඩොක්කුවෙන් තියාගෙන හිස කෙස් අතරින් මගේ ඇඟි තුඩු එහාට මෙහාට යැව්වා. කොල්ලා පොඩි එකෙක් වගේ ඉකි ගගහ අඬනවා.
‘‘මේ අහපං මල්ලියෙ...’’ කියල කියන අතර ම මම මගේ මූණ පහත් කරල කොල්ලගෙ මූණ මගේ මූණ දිහාට හැරෙව්වා.
‘‘උඹ ඒ කෙල්ලට ඇත්තට ම ආදරය කරපු නිසා උඹට හිතට වේදනා ඇති. ඒත් එහෙම වුණා කියල උඹ මේ හැම දෙයක් ම දමල ගහල යන්න ඕනෙ නෑ. උඹට ඔය කෙල්ල නැති වුනාට වෙන කෙල්ලො නැතුවද මල්ලියෙ.’’
කොල්ලගෙ ඇස් දෙකළවරෙන් කඳුළු බේරෙනව කියල මට දැනුණෙ මගේ සාය තෙත් වුණ නිසා.
‘‘මං දැං කියන දේ හොඳට අහගනිං... මං විතරක් නෙවෙයි... අපි හතර දෙනා ම උඹට ළෙංගතුයි. ඒ හිංද උඹට ගෑනියෙකුගෙං ලැබෙන්න ඕන සතුට ඕනෙ නං ඒ සතුට උඹට දෙන්න අපි හතර දෙනා ම ඕන ම වෙලාවක සූදානං. ඔය විනීතා උනත් කට කැඩිච්ච දේවල් කිව්වට ඒකිත් උඹට ළෙංගතුයි...’’
මට කියාගන්න ලැබුණෙ එච්චරයි. එක පාරටම විදුලියක් වැදුණ වගේ නැගිටපු රොහාන් ‘‘අක්කේ... මක්කයි අක්කෙ ඔහේ මේ කියවන්නෙ...! මට ඔයැයිල හතර දෙනා ම මගේ ම අක්කල වගේ. එහෙව් එකේ මං කොහොමෙයි අක්කෙ...’’ කියල කියද්දි මමත් කොල්ලට බාධා කළා.
‘‘හරි හරි බං... ඔයැයි දොඩන දේ මට තේරෙනව. මං කිව්වෙ... මේ... මං දන්නැහැනෙ ඔයැයි ඒ කෙල්ලයි අතරෙ තිබුණ සම්බන්ධෙ කොහොම එකක් ද කියල. ඒකි ඔහේට ආදරේ කරා නං ඔහේගෙ අනික් වුවමනා එපාකං ඩිංග ඩිංග හරි ඉස්ට කරන්නැතිනෙ. ඒක එහෙම නොවෙන්න විදිහක් නෑ නෙ. ඉතිං ඔයැයිට ඒ අඩුපාඩුව මකාගන්න ඕන නං අපි හතර දෙනා ම ඉන්නවා. හැබැයි ඉතිං ඔයැයිට ආදරේ කරන්න අපිට බෑ. ඒ ඇයි කියල ඔයැයි දන්නව නෙ...’’
‘‘අක්කේ...’’ කියල ටිකක් තදින් කියපු රොහාන් හිටපු තැනින් නැගිට්ටෙ හරියට සර්පයෙක් දෂ්ට කරා වගේ.
‘‘ඔය නැගිට්ටෙ යන්නෙයි...?’’
මම කොල්ලගෙ අතකින් අල්ලගෙන ම ඇහුවා.
‘‘අක්කෙ... මං සේපාලිට ආදරේ කරේ ඇත්තට ම... මගේ අතිං එයැයිට අබ මල් රේණුවක වරදක් උණේ නැ අක්කෙ. එයැයිට ඕන වෙලා තිබුණ එයැයිගෙ ලෝකෙට මාව ඇදල ගන්න. ඒත් අක්කෙ මං කොහොමෙයි....’’
මට කොල්ල කියන්නෙ මොනවද කියල හොඳට ම තේරුණා.
‘‘හරි හරි... මට ඔයැයි කියන හැම දෙයක් ම තේරෙනව. ඔයැයි හිත හොඳ කොල්ලෙක් කියලත් අපි දන්නව. ඒ හිංද පිස්සු වැඩ කරන්නැතුව ඔය රස්සාව කරගෙන ඉන්නව. ඔතන වැඩ කරන්න බැරිනං කියන්න මං වෙන මක්ක හරි රස්සාවක් හොයල දෙන්නං.’’
‘‘රස්සාවක් හොයල දෙන්න...! මට...!! අක්කා...!!!
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/05/31
අපලෝකන - පසුගිය කොටස්