‘‘හරි හරි... මට ඔයැයි කියන හැම දෙයක් ම තේරෙනව. ඔයැයි හිත හොඳ කොල්ලෙක් කියලත් අපි දන්නව.
ඒ හිංද පිස්සු වැඩ කරන්නැතුව ඔය රස්සාව කරගෙන ඉන්නව. ඔතන වැඩ කරන්න බැරිනං කියන්න මං වෙන මක්ක හරි රස්සාවක් හොයල දෙන්නං.’’
‘‘රස්සාවක් හොයල දෙන්න...! මට...!! අක්කා...!!!’’
රොහාන් ඇහුවෙ පුදුමයෙන් වගේ.
‘‘ඔවු... ඇයි විශ්වාස නැද්ද...?’’
මම එහෙම ඇහුවෙ රොහාන් ආයෙත් පුදුමයට පත් කරන බලාපොරොත්තුවෙන්.
‘‘නෑ... විශ්වාස නැතුව නෙවෙයි. ඒත්...’’
රොහාන්ගෙ මූණෙ තිබුණෙ බලාපොරොත්තු රහිත හැඟීමක්. ඒ ඇයි කියල මට හිතාගන්න බෑ.
‘‘ඇයි ඒත් කියල නැවැත්තුවෙ...?’’
‘‘නෑ අක්කෙ... මං ගෙදරිං දොට්ට බහිද්දි මගේ සහතික මක්කවත් ම අරං ආවෙ නැහැ නෙ... ඉතිං කොහොමෙයි රස්සාවක් හොයා ගන්නෙ...?’’
මෙච්චර වෙලාවක් හිතේ හිර කරගෙන හිටපු කතාව රොහාන් එළියට දැම්මෙ දිග හුස්මකුත් පිට කරන අතර ම යි.
‘‘ආ... ඒක එච්චර මායිං කරන්නෙපා බං. මං මේ උඹට රස්සාවක් හොයල දෙන්නං කිව්වෙ ආංඩුවෙ කංතෝරුවක නෙවෙයි බං...’’
‘‘එහෙනං... වෙන මෙහොකෙයි...!’’
තාමත් කොල්ල ඉන්නෙ සහ ප්‍රශ්න කරන්නෙ පුදුමයෙන් වගේ.
‘ දැං ඉතිං තෙපර බබා ඉන්න කාලයක් නෑ. ඔන්නොහෙ කියල දැම්මනං ඉවරනෙ,’ කියල හිතපු මම ‘‘මල්ලි... මෙහේ මාළු මාරකැට්ටෙකෙයි එළවළු මාරකැට්ටෙකෙයි අපි හතරදෙනත් එක්ක බුදියගත්තු එවුන් ඕන තරං ඉන්නව. ඒ එහෙකුට කිව්වොත් උං කවුරු හරි ඉංතේරුවෙං ම ඔයි මාරකැට්ටු දෙකෙං කොයිකෙං හරි ඔයැයිට මොකක් හරි රස්සාවක් හොයල දෙනෝ. ඉන්නෝකො මං හෙට දිහට්ට කතා කරල බලන්න.’’ කියල කිව්වෙ කොල්ලගෙ හිත හදන්න. ඒ වුනාට ඒ අදහස පුදපු ගමන් ම යකා කෑවා.
‘‘අනේ අක්කෙ... මටනං බෑ මාළු කඩේක වැඩ කරන්න...’’
කොල්ල ඒ වචන ටික කිව්වෙ මරන්න ඇදගෙන යනව කියල දැනුණ හරකෙක් ‘බෑ’ කිය කියා පස්සට අදිනව වගේ.
‘‘ඇයි... මාළු ඇඟේ ගෑවෙනකොට උඹට අප්පිරියයි ද...?’’
කොලුව මොනවත් නොකිය ටිකක් වෙලා බිම බලාගෙන හිටියෙ බිම තියෙන, අඩ අඳුරෙ දිලිසෙන මොනව හරි දෙයක් දිහා බලාගෙන ඉන්නව වගේ.
‘‘කියහං මල්ලියෙ... උඹට අප්පිරියයි ද...?’’
මම එහෙම ඇහුවට පස්සෙ කොල්ල මගේ මූණ දිහා බැලුවෙ චිත්‍රපටිවල ස්ලෝමෝසන් විදියට කොල්ල කෙල්ලගෙ හරි කෙල්ල කොල්ලගෙ හරි මූණ බලන විදියට. මමත් සද්ද නැතුව බලාගෙන ම හිටියා.
‘‘අප්පිරිය නැත්තෙත් නෑ. ඒ නැතත් මං ආස නෑ අක්කෙ...’’
‘රොහාන් අකමැති රස්සාවකට එයාව දාල මොනව හරි ප්‍රශ්නයක් වුනොත් ඒකෙ නරක නාමෙ එන්නෙත් මට,’ නේද කියල හිතපු මම ‘‘ආ... ඔයි තරමට ම අකමැතිනං ඉතිං ඕන්නෑ. එහෙනං මං එළවළු මාරකැට්ටුවෙ බලන්නෙයි.
ඒකටත් රොහාන් කෙළින් උත්තරයක් දුන්නෙ නෑ. බිම බලාගෙන ම ඔළුව දෙපැත්තට වැනුවා. ඒකෙන් කියවුණේ ‘කමක් නෑ බලන්නකො,’ වගේ අදහසක්.
සුසන්ත
ජෙසිකා ගෑනි ඉස්සරහ හිමිජ්ජ වගේ හිටිය යසේ... කැමතියි වගේ ඔළුව වනපු යසේ... රෑ නිදාගන්න ගිය වෙලාවෙ මාත් එක්ක කිව්වෙ වෙන කතාවක්.
‘‘ජෙසිකක්ක කිව්වට මට නං බෑ මචං එළවළු මාර්කට් එකේ වැඩ කරන්න. මං දැකල තියෙනව නෙ ඒවයෙ වැඩ කරන එවුන්. මුට්ට කරගහන්නයි, කටේ ලේ රහ වෙනකං කෑ ගහන්නයි ඇහැකි ද බං.’’
යසේ කිව්වෙ කලකිරීමෙන් කියල මට හොඳට ම දැනුණා.
‘‘ඉතිං එහෙනං ඇයි ඔහේ ජෙසිකට ඒක නොකිව්වෙ. දැං ඒ ගෑනි ඔහේට එළවළු මාරකට් එකේ රස්සාවක් හොයයි. ඊට පස්සෙ ඔහේ ඒකට යන්න බැහැයි කිව්වොත් ඒ ගෑනිගෙ මහන්සිය අපරාදෙ නෙවෙයි ද...?’’
මම ඒ විදියට කාරණය පැහැදිලි කරේ ජෙසිකයි ඒ අනිත් ගෑනු තුන් දෙනයි යසේ විශ්වාස කරගෙන ඉන්න නිසා. කිසියම් විදියකින් ජෙසික යසේට රැකියාවක් හොයල ඊට පස්සෙ යසේ ඒකට යන්න බැහැ කිව්වොත් ඒ ගෑනුත් යසේ එක්ක අරෝ වෙන්න ඉඩ තියෙන නිසා.
‘‘කමක් නෑ... හෙට එයැයිල නාවොත් මං හැන්දෑවට කොටුව පැත්තෙ රවුමක් දාල ජෙසිකක්ට හරි වෙන කාව හරි හම්බෙලා මේ ගැන කියනවා. එතෙකොට වැඩේ ඉවරයි නෙ.’’
විනීතා
හැන්දෑවෙ පහමාරට විතර මං කොටුව ඇතුළට යද්දි රොහාන් කොටු බැම්මට හේත්තු වෙලා ඔරලෝසු කණුවෙන් උඩට මතුවෙන හැම කෙනෙක් දිහා ම පුදුම උනන්දුවකින් බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන් මේ ඉන්නෙ ජෙසිකා හමුවෙන්න කියල මම දැනගත්තා. ඒත් මාව දැක්ක ගමන් ම රොහාන් මගේ ඉස්සරහට දුවගෙන ආවෙ සෑහෙන කාලෙකින් නොදුටුව අක්ක කෙනෙක් ඉස්සරහට දුවගෙන එනව වගේ. මම වුනත් එක එක වෙලාවට කොල්ලට කට කැඩිච්ච කතා කිව්වට ඒ කියන්නෙ ඌත් එක්ක තියෙන තරහට නෙවෙයි. හැබැයි ඒකට හේතුව මෙන්න මේකයි කියල කියන්නත් මට තේරෙන්නෙ නෑ.
දැන් ඔන්න රොහාන් මගේ ඉස්සරහම යි.
‘‘මොකෝ කොල්ලො මේ වෙලාවෙ මේ පැත්තෙ... ජෙසික නං අද ආවෙ නෑ.’’
මම එහෙම කිව්වට ඒ ගැන කොල්ල එච්චර මායිම් කරේ නෑ. ඒකෙන් කියවුණේ කොල්ල ආවෙ ජෙසිකා හමුවෙන්න ම නෙවෙයි කියල බව මට තේරුණා.
‘‘නෑ අක්කෙ... මං ආවෙ ඔයැයිලගෙන් කවුරු හම්බුනත් ඒ කාගෙ හරි අතේ ජෙසිකක්කට පයිංඩයක් යවන්න. මං කියන පයිංඩෙ ජෙසිකක්කට කියන්න ඇහැකි ය...?’’
ඊට පස්සෙ ඊයෙ ජෙසිකා කියපු දේවල් ඔක්කොම කොල්ල මාත් එක්ක කිව්වා. ඒ එක්ක ම ජෙසිකාගෙ හිත රිදවන්න බැරි නිසා එයා කියපු දේට ‘හා’ කිව්වයි කියලත් කිව්වා. මේ වෙද්දි රොහාන් ඉන්න තත්ත්වෙ අපි හැමෝ ම දන්න නිසා මම එයැයිගෙ හිත රිදෙන මොනවත් ම කිව්වෙ නෑ.
‘‘හරි හරි... රෑ වෙලත් නාවොත් මං යනිං ගමං ජෙසික හම්බෙලා හරි පයිංඩෙ කියන්නංකො. ඒක නෙවෙයි... ඇයි වෙන රස්සා හොයන්නෙ. ඔයැයි හැව්ලොක් එකෙනේ අස්වෙනවයි.?’’
මම එහෙම ඇහුවට පස්සෙ කොල්ල ටිකක් වෙනස් වුණා.
‘‘හොටලෙ විතරක් නෙවෙයි විනීතක්කෙ මට දැං මුළු ගාල්ල ම එපා වෙලා තියෙන්නෙ.’’
කොල්ල එහෙම කිව්වෙ මගේ මූණ දිහා කෙළින් ම බලාගෙන නෙවෙයි; මූද දිහාට ඔළුව හරවගෙන. මට හිතෙන්නේ ඒ කොල්ල අපිට තියෙන ආදරේට හරි ගෞරවේට හරි මොකක් එහෙකට වෙන්න ඇති. මේ වෙලාවෙ කොල්ලගෙ හිත රිදවන්න හොඳ නෑ කියල මට හිතුණා.
‘‘අනෙහ් මේ... පයිත්තියං කෙළින්න හදන්නෙපා. මට ජෙසිකත් කිව්ව... ඔහේ කොළඹ යන්න හිතං ඉන්නවයි කියල. කොළඹ ගියාට කමක් නෑ. ඒක ඔහේගෙ කැමැත්ත. ඒත් දැං තවත් ඔය ගැන හිතල නහින්න ඕන්නෑ. ටිකක් හිතල බලල තමන්ට හොඳයි කියල හිතෙන දෙයක් කරනව.’’
වචනයක් කතා නොකරපු රොහාන් ඔළුව දෙපැත්තට වනල මම කියපු දේට කැමතියි කියල හැඟෙව්වා. ඒත් කොල්ලගෙ යටි හිත වැඩ කරන්නෙ ඒ විදියට නෙවෙයි කියල මට තේරුණා.
‘‘හරි... මට දැං වැඩකට යන්න තියෙනව. මං ජෙසිකට පයිංඩේ කියන්නං. දැං ඔහේ පරිස්සමෙන් හොටලෙට යන්න.’’
සුසා
‘‘ඇයි ඔහේම නේද කිව්වෙ ‘මට නං විනීත පේන්න බෑ,’ කියල.
එදා රෑ නිදාගන්න ගිය වෙලාවෙ හවස සිද්ධ වුණ දේවල් මාත් එක්ක කතා කරද්දි මම යසේගෙන් ඇහුවා.
‘‘ඔවු සුසා... ඒ දවස්වල මට එයැයිව පේන්න බෑ තමයි. පස්සෙ පස්සෙ මට තේරුණා ඒ එයැයිගෙ හැටි කියල. ජෙසිකක්කත් මට ඒ ගැන කිව්ව. කොහොමටත් එයැයි දැං මට එහෙම ආත බූත කතා කියන්නෑ. අනික් අය වගේ ම හොඳට දොඩනවා.’’
‘‘ඇත්තට ම යසේ දැං ඔහේ මක්කයි කරන්න හිතන් ඉන්නෙ...?’’
මං යසේගෙන් එහෙම ඇහුවෙ මේ වෙද්දි යසේ කොළඹ යන අදහස අත්හැරල ද කියල හරියට ම දැනගන්න. මොකද මට හොඳට ම තේරෙනව දැං යසේ මෙහේ වැඩ කරන්නෙ කැමැත්තකින් නෙවෙයි කියල. මෙහෙම ගියොත් මෙයා ළඟදි ම තවත් ලෙඩක් දාගන්නව සත්තයි.
‘‘මක්කයි කරන්නෙ කියල මට තාමත් නිච්චි නෑ සුසා. ජෙසිකක්කල කිව්ව කියල මට තවත් මේ විඳවිල්ල විඳවන්නත් බෑ. එහෙමයි කියල මගේ ම සහෝදරියො වගේ හිටපු එයැයිලට නොකිය කොළඹ යන්නත් බෑ. බලමු...දැං විනීත අද මගේ පයිංඩෙ ජෙසිකක්කට කිව්වම එයැයි මක්ක හරි කරයිනෙ.’’
යසේ එහෙම කිව්වෙ යසේට යසේ පිළිබඳ කිසිම විශ්වාසයක් නැතුව වගේ. නමුත් මීට ඉස්සර දවසක් එයාමයි කිව්වෙ ‘මං ගාල්ලට පය ගැහුවෙත් තනියම නෙ,’ කියල. එහෙව් එකේ මේ වේස ගෑනු ටිකක් වෙනුවෙන් ඇයි යසේ මෙච්චර වද වෙන්නෙ...? ඒ ඇයි කියල යසේගෙන් අහන්නත් බෑ. මොකද එහෙම ඇහුවොත් ඒකට විවිධ හේතු කියයි. ඒවා මට නිකං අණ්ඩර දෙමළ වගේ. මොකද ඉස්සර වගේ නෙවෙයි. දැන් දැන් යසේ කියන කරන දේවල් පවා හරි වෙනස්. සමහර වෙලාවකට කියන්නෙ මහ පණ්ඩිත කතා. මමත් එව්ව අහගෙන ඉන්නවා. හැබැයි සමහර එව්ව නං සත්තමයි මට තේරෙන්නෙ නෑ. එහෙමයි කියල ‘මටනං ඔව්ව මක්කයි කියල තේරෙන්නෑ යසේ,’ කියල මග හරින්නත් බෑ.
* * *
ඇත්තට ම එහෙම වෙන්න පුළුවං. ඒක ඇත්ත. මොකද මම දැං මෙහාට ඇවිත් අවුරුද්දකටත් වැඩියි නෙ. ඒ කාලය ඇතුළත මට දැනෙන කියන දේවල්, මම අහපු දැකපු දේවල් මාව ටිකක් වෙනස් කරා. සමාජය ගැන මම හිතන විදියත් වෙනස් කරා. ඒ නිසා මගේ වැඩ පිළිවෙලත් දැන් වෙනස් ඇති කියල මට හිතෙනවා. මොකද ජෙසික අක්කත් සමහර වෙලාවට කියනවා ‘අපෝ මෙයැයි දැං හරි පංඩිතය වෙලා නෙ,’ කියල. ඒ හැම දෙයක් ම සිද්ධ වෙලා තියෙන්නෙ මගේ අතින් වුනත් මට මම ගැන එහෙම වෙනසක් දැනුණෙ නෑ. හැබැයි මගෙත් එක්ක ඉන්න අයට ඒ වෙනස දැනුණ කියල මට දැනිල තිබුණා.
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/06/07
අපලෝකන - පසුගිය කොටස්