‘‘හරි කමක් නෑ. දැං ගිය දේ ගියාවෙ. මං කිව්වට ඊළඟ මාසෙ පඩි ගත්තම දවාලක ඕෆ් එකක් අරගෙන මාත් එක්ක බැංකුවට යං.
මං මැනේජර් මහත්තයත් එක්ක කතා කරල පොතක් අරං දෙන්නං. ඊට පස්සෙ මොන වැඩේ තිබුණත් අඩුම ගානෙ මාසෙකට රුපියල් පනහක්කත් පොතට දාන්න. මොකෝ ඔයැයිට කන්න බොන්න වියදං වෙනව කියලයි. අනික ටිප් එකත් හම්බෙනව නේද... ඒ හිංද කිසිම කරදරයක් නැතුව රුපියල් පනහක් ඉතුරු කරන්න පුළුවං.’’
මම කියන හැම දෙයක් ම අහගෙන හිටපු රොහාන් අන්තිමට ‘‘එතකොට අක්කෙ සිකුරිටි රස්සාව...?’’ කියල ඇහුවෙ මට ඒ සේරම අමතක වෙලා කියල හිතාගෙන වගේ.
‘නෑ රොහාන්... මට ඒ කිසිම දෙයක් අමතක වෙලා නෑ. හැබැයි මේ වෙද්දි ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනව ද කියල ප්‍රශ්නයට මුහුණ දීල ඉන්න කෙනා ම දන්නෙ නෑ; ඒ වගේ ම එයාට මේ ගැන ලොකු උනන්දුවකුත් නෑ. ඒ නිසා ම එයාගෙ ප්‍රශ්නෙ මගෙත් ප්‍රශ්නයක් වෙලා.’
‘‘මක්කයි ජෙසිකක්කෙ අහස පොළොව ගැටගහන්න හේ කල්පනා කරන්නෙ...? මට සිකුරිටි ජොබ්බෙක හරි නැහැයි වගේ හිතුණයි...?’’
රොහාන්ගෙ ඒ වචන ටික මගේ කල්පනා ලෝකෙට හෙණයක් පාත් වුණා වගේ දැනුණ. ඒත් මම කොහොම ද රොහාන්ට ඇත්ත කියන්නෙ... දැන් රොහාන්ගෙ ප්‍රශ්නෙට තනියම උත්තර හොයන්න මට බෑ. මේ ගැන අපේ එවුන් එක්කත් කතා කරන්න වෙනව. ඒත් ඒ කිසිම කෙනෙක් ගාව මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඇති කියල මම විශ්වාස කරන්නෙ නෑ.
‘‘අනේ නෑ මල්ලියෙ... එහෙම මක්කවත් නෑ. හැබැයි නැත්තෙත් නෑ...’’
මම එහෙම උත්තරයක් දුන්නෙ කට කොනකින් හිනාවෙන අතර ම යි. හැබැයි ඒ හිනා වුණේ මට ම නේද කියල රොහාන්ට හිතෙන්න නැතුව ඇති. රොහාන් අපහසුතාවට පත් නොකරන්න නම් මට ඒ විදියට හිනා වෙන්න ම වෙනවා.
‘‘ඒ කිව්වෙ අක්කෙ...?’’
‘‘ඒක ඔයැයිට තේරෙන් නෑ... ඔයැයි ඒක තේරුං ගන්න බලන්නෙත් නෑ. ඒ හිංද දැනට හොටලෙ වැඩ කරගෙන යන්නකො. ඔයැයි සිකුරිටි ජොබ්බෙකට කැමතියි නෙ. ඒ හිංද මං හෙට දිහාට්ට ගිහින් ඇල්බට් මහත්තෙය හදි ගැහෙන්නං. හදි ගැහිල ජොබ්බෙකට ඕනෙ කරන විස්තර සහසුද්දෙං ම අහගන්නං. ඒ කල්ල මං ඔයැයිට පයින්ඩයක් කියන්නං.’’
* * *
ජෙසිකා අක්ක එහෙම කියල මේ වෙද්දි සුමාන දෙකක් විතර පහු වෙලා. ඒ අතර තුර එයාල තුන් හතර වතාවක් හෝටලේටත් ආවා. නමුත් සික්යුරිටි රස්සාව ගැන කිසිම විස්තරයක් කිව්වෙ නෑ; මම අහන්න ගියෙත් නෑ. මම උදේ ඕෆ් වෙලා ඉන්න දවසක් ද දෙකක් ද එයාල හතර දෙනා ආපු බව බතික් අංකල් මට කිව්වා. නමුත් කිසිම පණිවිඩයක් කියල ගිහින් තිබුණෙ නෑ.
‘ම්ම්ම්... ජෙසිකක්කට ඒ වැඩේ අමතක වෙලා ද... එහෙම නැහ්නං... නෑ එහෙම වෙන්න විදිහක් නෑ නෙ... අක්ක ම නෙ මගෙං ඇහැව්වෙ සිකුරිටි ජොබ් එකක් කරන්න කැමතිද කියල. එහෙම අහන්නැත්තෙ මොකක් හරි පොටක් පෑදුණ හිංදනෙ. ඒත් දැන් සුමාන දෙහෙකටත් වැඩියි... ඇයි දන්නෑ මොකුත් නොකිව්වෙ...?’
* * *
අද හවස කොටුව පැත්තෙ රවුමක් ගැහුවෙ එයාල හතර දෙනාගෙන් කවුරුම හරි මුණ ගැහේවි කියල විශ්වාස කරපු නිසා. මගේ විශ්වාසය තහවුරු වෙන්න වැඩි වෙලාවක් ගතවුණේ නෑ.
‘‘ආ... මොක්කද අද කොල්ල මේ පෙත්තෙ තනියම...’’
මම කොටු බැම්ම අයිනට වෙලා මූද දිහා බලාගෙන ඉද්දි ඒ කට හඬ මගේ පිටුපස්සෙන් ඇහුණෙ කතා කරපු කෙනාගෙ අතක් මගේ උරහිසට තට්ටු කරන අතර ම යි. කතා විලාසයෙන් ම මට මට හිතාගන්න පුළුවන් වුණා ඒ කවුද කියල.
‘‘ආ... කමලක්කෙ... කෝහ් අනිත් කට්ටිය... වැඩවලට ගිහිල්ලයි...?’’
මම එහෙම ඇහුවෙ කමලනී වැඩි පුර දේවල් අහයි කියල හිතල ම යි. මම එහෙම හිතන්නත් කලින් කමලනී ඒ ගැන හිතල කියල දැනගත්තම මට ඇති වුණේ මහා ලජ්ජාවක්.
‘‘අනේ අනේ... මං මක්කා හරි ආන්නත් කළින් ඔයැයි මගෙන් ආල ඉවරයි නෙහ්... මේ පෙත්තෙ මොනව ද කරනවා. ජෙසිකා අක්කවත් එන්න කිව්ව ද...?’’
‘හොඳ ම දේ එන්න කිව්ව කියනෙක. එහෙම නොවුනොත් තනියම මේ පැත්තෙ ආවෙ ඇයි කියල අහන එක ෂුවර්.’
‘‘ඔවු කමලක්කෙ... ජෙසිකක්ක පණිවිඩයක් තියල තිවුණ හවස් කරේ මේ පැත්තෙ එන්නෙයි කියල.’’
‘‘ජෙසිකක්ක...! අද...!! අපි අද හොටලෙ දිහාට්ට ආවෙ නේනේ... අනික අද ජෙසිකක්ක මේ පෙත්තෙත් නේ. මයි ඉතේ එයැයි වෙඩක් එවිල්ල හික්කඩු ගියා.’’
කමලනීගෙ පිළිතුරත් එක්ක මම තවත් අසරණ වුණා. ඊටත් වඩා කමලනී ජෙසිකා අක්ක ගැනත් වැරදියට හිතයි කියල මට හිතුණා.
‘‘නෑ නෑ කමලක්කෙ. අද නෙවෙයි. ඊයෙ බතික් අංකල්ට ටවුමෙදි හම්බෙලයි කියල තිවුණෙ. හවහ දිහා ඕෆ් වෙනව නං මේ පැත්තෙ ඩිංගකට ඇවිත් යන්නෙයි කියල. ඊයෙ මට පයිංඩෙ හම්බෙද්දි මගේ ඕෆ් එක ඉවරයි. ඒ හිංද අද නිකමට ආවෙ බලන්න. අනික මං දන්නෝ ජෙසිකක්ක නැතත් අක්කලගෙන් කවුරුම හරි හම්බෙනව කියල.’’
‘‘මොකෝ අක්කෙ නිකං අමුතු විදියට හිනාවෙන්නෙ...?’’
කමලනී ආයෙත් හිනාවුණා; ඉස්සර වෙලා හිනාවටත් වඩා ලස්සනට හිනා වුණා; එහෙම හිනාවෙන අතර ම, ‘‘නේ මං බෙලුවෙ දෙං දෙං කොල්ල අපේ කට්ටිය යන එන තෙං, යන එන වෙලාව, ඉන්න තෙං ඒම ඔඳට දන්නව නේද... කවුද... ජෙසිකක්ක ද ඒව කියල තීන්නෙ...’’
කමලනී ඒ වචන ටික පිට කරේ පිට කරන්න බැරි තවත් වචන හුඟාක් උගුරෙ හිර කරගෙන කියල මට දැනුණා. ඒත් ඒ බව එයාට අඟවන්න හොඳ නෑ.
‘‘ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ අක්කෙ. දැං අවුරුදු දෙකක් තිස්සෙ අනිවාර්යයෙන් අවුරුද්දකට දවස් හතරක් හම්බෙනවා. ඊට අමතරව සමහර වෙලාවට ජෙසිකක්ක හම්බෙනවා. අනික ඉතිං මං දැං දන්නව හවස් දිහාට මේ පැත්තෙ ආවොත් ඔයැයිල කවුරු හරි ම හම්බෙනව කියල. ඒ හංදයි මං මේ පැත්තෙ ආවෙ.’’
මෙච්චර වෙලා මගේ ඉස්සරහ හිටගෙන හිටපු කමලනී මූද දිහාට හැරිල කොටු බැම්මට අත්දෙක තියාගත්තෙ එයා මෙතනට එද්දි මම මූද දිහා බලාගෙන හිටපු ඉරියව්වෙන් මයි. ඒක මටත් එහෙම ඉන්න කියල නොකියා කියන ආරාධනාවක් විත්තිය මට තේරුණා. ඉතිං මමත් මොහොතක්වත් ප්‍රමාද වෙන්නෙ නැතුව එයා ළඟින් ම ඒ විදියට ම කොටු බැම්මට අත් දෙක තියාගෙන මූද දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.
කමලනී හෙවත් කමලා
අපි දෙන්න ම මූද දිහා බලාගෙන හිටියෙ අපිට මුහුදෙන් අහන්න හුඟාක් දේවල් තියනව වගේ. රොහාන් කතා කරන්නෙත් නෑ; මම කතා කරන්නෙත් නෑ. කවුරු ම හරි කතා කරන්න ඕන නේද කියල හිතුණ නිසා මම ම කතාව පටන් ගත්තා.
‘‘එයි මල්ලි කතා නෙත්තෙ. මං ඉන්න එක කරදරයක් ද...?’’
මම එහෙම අහල ඉවර වෙන්නත් ඉස්සරවෙලා රොහාන් මගේ දිහාට හැරුණා. හරියට මම එයාට වරදක් කිව්ව වගේ.
‘‘ඇයි අක්කෙ එහෙම කියන්නෙ...? ඔයැයි හිටියයි කියල මට තියෙන කරදරේ මොකද්ද. අනික ඔයැයිල හතර දෙනා ම මං දන්නව නෙ. මෙතන හුඟක් වෙලා ටැග්ගැහුනොත් අක්කට තමයි පාඩු. මං ඉතිං කොහොමත් තව ඩිංගකිං යන්නෙපායැ.’’
රොහාන් කියපු කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ. රොහාන් එක්ක කතා කර කර හිටිය කියල මට ඇති වාසියක් නෑ. ඒත් අපේ ම මල්ලි කෙනෙක් වගේ ඉන්න රොහාන් එක්ක වුනත් මෙහෙම ටිකක් නිදහසේ ඉන්න තියෙන එක මොන තරම් සතුටක් ද කියල රොහාන්ට තේරෙන්නෙ නෑ. රොහාන්ට අපි හතර දෙනා ම එකයි. නෑ... එහෙමත් නෑ. ජෙසික අක්ක විශේෂයි. ඒ, වැඩිමහල් සහෝදරියක් වගේ.
‘‘ඒක නෙවෙයි මල්ලි... ඔයැයිට අපි ගෙන මොනවද හිතෙනවා...’’
ඉඳල ඉඳල මම අහපු ප්‍රශ්නෙ රොහාන් මොන විදියට තේරුම් ගනිවිද කියල මට හිතුණෙ ඒ වචන ටික කටින් පිටවුණාට පස්සෙ. දැන් ඉතිං ඒ චචන ආයෙ ඇදල ගන්න බැහැ නෙ...
‘‘ඒ කිව්වෙ අක්කෙ...?’’
රොහාන් එහෙම ඇහුවට එයාගෙ ඇස්වල ලියවිලා තිබුණෙ තිබුණෙ වෙන දෙයක්. හරියට ම කියනවා නම් ‘මං මක්කයි අක්කෙ අමුතුවෙන් ඔයැයිල ගැන හිතන්නෙ...? මං ඔයැයිල ගැන දන්නව නෙ,’ වගේ වචන ටිකක්.
‘‘ඒ කිව්වෙ ද... නේ මං ආන්නෙ අපි කා හරි එක්ක මේම ඉද්දි... මං කියන්නෙ මේ මුළු ටවුම ම අපි ගෙන දන්නෙකේ ඔයැයි අපි කා එක්ක හරි මේම ඉන්නෙක; හොටලෙට යනේන කෙනෙක් ඔයැයිව දෙක්කොත් කියල හිතෙන්නෙ නෙද්ද...?’’
රොහාන් ඒ ප්‍රශ්නෙට එක පාරට ම උත්තර දුන්නෙ නෑ. තත්පර කීපයක් මගේ මූණ දිහා බලාගෙන ඉඳල, කට පොඩ්ඩක් ඇද කරල හිනා වෙලා ආයෙ මූද දිහා බලාගත්ත. ඒකෙන් කියවුණේ ‘අනේ එවුන්ට බම්බු ගහගන්න කියන්න අක්කෙ’ වගේ අදහසක්. එයා ආපහු මගේ මූණ දිහා බලල කියපු දේ ඒක එහෙම ම යි කියල ඔප්පු කරා.
‘‘අක්කෙ... මං වැඩ කරන හොටලෙ ඇරල තියෙන්නෙ එතනට මිනිස්සු කන්න බොන්න එන නිසා. මාළු කඩේ මිනිහ මාළු විකුණන්නෙ, මස් කඩේ මිනිහ මස් විකුණන්නෙ, එළවළු කඩේ මිනිහ එළවළු විකුණන්නෙ, බාර් එකේ අරක්කු විකුණන්නෙ ඒ හැම දෙයක් ම ගන්න මිනිස්සු එන හින්ද නෙ... මිනිස්සු එහෙම එන්නෙ එයාලට ඒව ඕනෙ හින්ද නෙ... වැඩි එකක් තියා මිනී පෙට්ටි සාප්පුකාරයා මිනි පෙට්ටි විකුණන්නෙත් ඒව මිනිස්සුන්ට ඕන නිසා; ඒවා ගන්න මිනිස්සු එන නිසා. තව මෙහෙම හිතන්නකො... ඔය ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල වගේ ම ඩිස්පෙන්සරිවල ඉන්න දොස්තරල බෙහෙත් විකුණන්නෙ, ලෙඩ්ඩු බලනවට සල්ලි ගන්නෙ... ඒ කරන්නෙත් මිනිස්සුන්ට එයයැයිලගෙ ලෙඩ ගැන දැනගන්න ඕන හිංද නෙ; ලෙඩවලට බෙහෙත් ගන්න ඕන හිංද නෙ. ඉතිං ඔයැයිල කරන්නෙත් ඒක. ඔයැයිල පාරෙ ඉන්න මිනිස්සු බලෙන් උස්සගෙන යන්නෑ නෙ. ඔයැයිල ඕන වෙන කට්ටිය... කට්ටිය කියන්නෙ පිරිමි... ඔයැයිල එක්කරගෙන ගිහින් එයැයිලගෙ වැඩේ කරගෙන ඔයැයිලට සල්ලි දෙනෝ. ඉතිං ඒකයි මං මෙච්චර වෙලා කියපු ඒවගෙයි තියෙන වෙනස මොකද්ද අක්කෙ... පිරිමින්ට ඕනෑ එපාකං තියෙනවා. ඒ ඕනෑ එපාකං ඉස්ට කරන්න ඔයැයිල ඉන්නවා. ඉතිං වැඩිම උනොත් අපි දෙන්න දකින එවුන් හිතයි මමත් ඔයැයි එක්ක කොහාට හරි යන්න ආපු එකෙක් කියල. මට නං ඒකට කමක් නැ අක්කෙ. මායි ඔයැයි දන්නවනෙ අපි කවුද කියල.’’
රොහාන් එක දිගට ම කියවගෙන ගියේ බස් ස්ටෑන්ඩ් එකේ තෙල් බෙහෙත් විකුණන මිනිහ වගේ. ඒ මිනිහත් කිසිම නැවතිල්ලක් නැතුව ඔහේ කියවගෙන යනව. හැබැයි එයැයි එහෙම කියවන්නෙ එක තෙල් කුප්පියක් හරි විකුණ ගන්න. රොහාන් මෙච්චර වෙලා කියපු දේවල් අහගෙන හිටියම මට නම් දැනුණෙ අපිව මේ විදියට තේරම් ගන්න පුළුවන් කෙනෙකුත් ඉන්නව නේද කියල. ඇත්තට ම අපිව තේරුම් ගන්න පුළුවන් එක මිනිහෙක් හරි ඉන්න එක මොන තරම් සතුටක් ද..., සැනසීමක් ද...?
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක