රොහාන් එක දිගට ම කියවගෙන ගියේ බස් ස්ටෑන්ඩ් එකේ තෙල් බෙහෙත් විකුණන මිනිහ වගේ.

ඒ මිනිහත් කිසිම නැවතිල්ලක් නැතුව ඔහේ කියවගෙන යනව. හැබැයි එයැයි එහෙම කියවන්නෙ එක තෙල් කුප්පියක් හරි විකුණ ගන්න. රොහාන් මෙච්චර වෙලා කියපු දේවල් අහගෙන හිටියම මට නම් දැනුණෙ අපිව මේ විදියට තේරම් ගන්න පුළුවන් කෙනෙකුත් ඉන්නව නේද කියල. ඇත්තට ම අපිව තේරුම් ගන්න පුළුවන් එක මිනිහෙක් හරි ඉන්න එක මොන තරම් සතුටක් ද..., සැනසීමක් ද...?

*          *          *

රෑ ජෙසිකා අක්කා මුණ ගැහුණ වෙලාවෙ මම මේ කතාව ජෙසිකා අක්කට කිව්වා. ඒ එක්ක ම තවමත් රොහාන්ට සිකියුරිටි ජොබ් එක නොලැබුණ එක ගැන එයා දුකින් ඉන්න බවත් මම ජෙසිකා අක්කට කිව්වා.

‘‘ඔවු කමලා... රොහාන් කියන්නෙ හරි ම අමුතු කොල්ලෙක්. මට ඌ ගැන පැහැදුණේ ඌ දැකපු පළවෙනි දවසෙමයි. උඹට මතක ද එදා...?’’

‘‘මොක්කද අක්කා මට මතක නෙත්තෙ... අපි කාල යෙන ගමන් විනීතා කොල්ලට වීළු කරද්දි අක්කා එයැයිට බෙන්නා...’’

‘‘ඔවු... එදා කොල්ල ඒ විදියට අපි ඉස්සරහ හැසිරුණේ උගේ දුර්වලකමක් නිසා නෙවෙයි. ඌ හැමෝට ම සලකන්නෙ එක විදියට. උඹට මතක ද අර බඩා (ඇක්මන්) කොල්ලව පැත්තකට අඬගහගෙ ගිහින් කනට කරල මක්ක හරි කියපු විදිහ. පස්සෙ දවසක කොල්ල කිව්වෙ... බඩා කියල තියෙන්නෙ අපි ගොන්නු කියල. හැබැයි ඌට අපිත් එක්ක බුදියන්න හොඳයි. මතකනෙ ඊට පස්සෙ දවසක් ඌ විනීතට උණවටුනෙ යන්න කතා කරපු වෙලාවෙ විනීත ඌට බැණල එළවගෙන තිබුණ.’’

 

‘‘ඔවු අක්කෙ... ඒකනං එත්ත. යෙපි ගෙන ඔද්දට ම දෙනෙගෙන නෙ දෙනට අවුරුදු දෙකක ඉතර ඉදං රොහාන් අප්පිව ආසාරේ කරන්නෙ...?’’

ඊට පස්සෙ ජෙසිකා අක්ක කල්පනා කරන්න පටන් ගත්තා. ඒ වෙද්දි රෑ දහයටත් කිට්ටුයි.

‘‘කමලා... ආයෙනං මොකෙක්කත් මේ පැත්තෙ එන එකක් නෑ. අපි යමු ද...?’’

ඉක්මනට යමු කියල කිව්වෙ වෙනදට රෑ එකොළහ පහුවෙලත් අපිව එක්කරගෙන යන්න මොකෙක් හරි එනකං මග බලාගෙන හිටපු ජෙසිකා අක්ක ම යි. ඒ නිසා ම යි මට මෙහෙම අහන්න හිතුණෙ

‘‘ඇයි අක්කා... මොනා හරි ප්‍රස්නයක් ද අක්කා...?’’

ඒත් ජෙසිකා අක්කා එක පාරට ම උත්තරයක් දුන්නෙ නෑ. කිසිම කතාවක් බහක් නැතුව මූද දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳල ‘‘ප්‍රස්න නැත්තතෙ කාට ද බං. එව්වනං ඉතිං කොහොම කොහොම හරි කොරගන්න බැරුවය...’’ කියල ආයෙත් මූද දිහා බලාගත්තා.

 

181567l

කිසිම දවසක කිසිම ප්‍රශ්නයක් ඉස්සරහ මේ විදියට හැසිරෙන්නෙ නැති ජෙසිකා අක්කා මේ වෙලාවෙ ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න බව මට තේරුණා. මට එයාට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒ උදව්ව කරන්න බලාපොරොත්තුවෙන් මම ආයෙත් අක්කාට කතා කළා.

‘‘ඒක ෂරි අක්කා... ඒත් අප්පිට අපේ ප්‍රස්න කතා කරන්න ඇහැකි නේ... මටත් කියන්න බෙරි ප්‍රශ්නයක් ද අක්කා.’’

ඒ වතාවෙ අක්කා එයාගෙ ඔළුව විතරක් නෙවෙයි සම්පූර්ණ ඇඟ ම හරවලා මූදට පස්ස හරවා ගත්තා. මමත් ඒ විදියට ම හැරුණා. එතකොට තමයි මම යාන්තමට දැක්කෙ අක්කාගෙ ඇස්වල කඳුළු තියෙනවා. එයා ඒ කඳුළු හංගාගන්න තමයි අනික් පැත්ත හැරුණෙ.

‘‘අක්කේ...! මොකෝ මේ...!! කවදාවත් නෙතුව...’’

‘‘ඔවු කමලා... පිරිමියෙක් වෙනුවෙන් මගේ ඇස් දෙකෙන් කඳුළු එන්නෙ අවුරුදු විස්සකට විතර පස්සෙ... ඔවු... අවුරුදු විස්සකට විතර පස්සෙ...’’

මට ඒ කතාව අදහා ගන්නත් බැරි වුණා. ඒ කියන්නෙ අක්කට කවුරු හරි පිරිමියෙක් ගැන දුක හිතිල ද... එහෙම නම් ඒ පිරිමියා කවුද... ඒ පිරිමියා ගැන මේ තරම් වද වෙන්නෙ ඇයි...? මේ කිසිම ප්‍රශ්නයකට උත්තර වෙන කවුරුවත් දන්නෙ නෑ. දන්නෙ ජෙසිකා අක්ක ම විතරයි.

‘‘මට්ට තේරෙන් නේ අක්කා...’’

මම එහෙම අහද්දි උඩු ඇන්දෙ දත්වලින් යටි තොල හපාගෙන ඔළුව ඉහළ පහළ හොලවපු ජෙසිකා අක්කා ‘‘ඔවු කමලා... මං මේ කියන දේ වැරදියට ගන්නෙපා. මට රොහාන් ගැන දුකයි කමලා... මං... මං... ලෝක අමාරුවක වැටිල ඉන්නෙ කමලා. මේ වෙලාවෙ රොහාන් මල්ලිට පිටුපාන්නත් බෑ. එහෙමයි කියල මට කරන්න ඇහැක් දේකුත් නෑ කමලා.’’ කියල එයාගෙ ඇස් දෙක දෙපැත්තෙන් බේරෙන කඳුළු අත් දෙකේ දබරැඟිලි නවල පිහිදා ගත්තා.

‘‘ෂරි ෂරි අක්කා... මක්ක ද වෙලා තීනවා කීලා කිව්ව නං... යෙප්පිට කතා කරල මක්කා හරි කොරාණ්ඩ තිබ්බා නේ...’’

ජෙසිකා අක්කා

කමලනී එහෙම කිව්වට පස්සෙ තමයි මගේ හිතට පොඩි හරි සහනයක් දැනුණෙ. ඊට පස්සෙ මම කමලනීට රොහාන්ගෙ ඇත්ත තත්ත්වය කිව්වා. අපරාදෙ කියන්න බෑ ඒකි දිපු උත්තරේ මට ඉහටත් උඩින්.

‘‘අයියෝ අක්කා... ඕක මොක්ක ද අක්කා... එපි රමණි එක්කයි විනිත එක්කයිත් ඩිංගක් කතා කරල මක්ක හරි කරන්න බලමු. වෙඩිම උනොත් මාසයක් එකාමාරක් ඉතර නෙ. එපි එකතු වෙලා රොආන්ට උදව් කරමු. ඊට පස්සෙ එයැයිට ඇහැකි නෙ එයැයිගෙ වෙඩ ටික කොරාගන්න. ඒම නේද අක්කෙ...?’’

කමලා කියන දේ ඇත්ත වුනත් අපේ අනික් දෙන්න මේ වැඩේට කොයි තරම් දුරට උදවු කරයි ද කියන සැකේ මට තිබුණා. විශේෂයෙන් ම විනීතා. නමුත් විනීතා අකමැති වුනත් අපි තුන්දෙනෙක් ම ඉන්න නිසා මාසයක් එකහමාරක් රොහාන්ව බලාගන්න අපි තුන්දෙනාට පුළුවන් නේද කියන විශ්වාසය මට ඇති වුණා.

*          *          *

‘අද කට්ටිය උදේ කෑමට යන්න කලිං මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්නෝන. මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන් නැතුව මට රොහාන්ගෙ මූණ බලන්නත් බෑ. මොකද කොල්ල අපි කවුරු හරි දකින දකින වෙලාවට අහන්නෙ ම ‘අක්කෙ... කොහොමෙයි සිකියුරිටි වැඩේ... තාම හරි ගියේ නැතෙයි’ කියල. හැමදාමත් බොරු කියන්න බැහැනෙ. ඇත්තට ම ප්‍රශ්නෙ තියෙන්නෙ රස්සාවෙ නෙවෙයි නෙ.’

 


‘‘ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ. අපි රොහාන්ව හොටලෙන් අහක් කර ගන්නව නං එයැයිට ඉන්න තැනක් හොයල දෙන්නෝන. ඒ වගේ ම මාසයක් හමාරක් ඇහිදුං පැහැදුං බලාගන්නත් ඕන. මොකෝ කියන්නෙ... උඹලට ඇහැකිය කොල්ලගෙ ඇහිදුං පැහැදුං ටිකට කීය කීය හරි එක්කාසු කරල දෙන්න...?’’

තුන් දෙනාගෙන් කවුරුවත් කතා නොකර ටික වෙලාවක් හිටියෙ අකමැතියි කියන්න වගේ. හැබැයි කමලා නම් උදව් කරනව කියල මට ඊයෙ කිව්ව නෙ. අපි දෙන්නට සැක තිබුණෙ විනීත ගැන නෙ. තුන් දෙනා ම ගොළුවො වගේ ඉද්දි නං මට කමල ගැනත් සැක හිතුණා. හැබැයි මමයි කමලයි කතා කරද්දි විශ්වාසයක් නැහැ කියල හිතපු විනීතා ම තමයි ඉස්සර වෙලා ම කතා කළේ.

‘‘ඕක මොකද්ද ජෙසිකක්කෙ... අපි හතර දෙනා මාසෙට සීය සීය දුන්නත් හාරසියක් එකතු වෙනව නෙ. අනික ඉස්සරවෙලා ම පඩිය ගන්නකං විතර නෙ. මොකෝ ඌ ඉස්සර වෙලා ම පඩිය ගත්තු ගමං අපි උගෙං සල්ලි ඉල්ලනවය... මටනං ඇහැකි. මොකෝ උඹල කියන්නෙ...?’’

 

6051885 HSC00001 7
‘‘මට නං ඇහැකි,’’ කියල රමණි කියනවත් එක්ක ම ‘‘එයි... මට බේ කෙල ඉතුව ද... නේ... මටාත් එහෙකි,’’ කියල ටිකක් හඬ වැඩි කරල කිව්වෙ කමලා. ඊයෙ කමලයි මායි මේ ගැන කතා කෙරුව කියල අපි දෙන්න ම තවම විනීතටයි රමණිටයි කිව්වෙ නෑ. මම ඒ ගැන කියන තුරු කමලා කියන්නෙත් නෑ කියල මට විශ්වාසයි.’’

‘‘දැං ඒක අහවරයි. අපි කොහොමෙයි කොල්ලට ඉන්න තැනක් හොයන්නෙ...?’’

ඒ ප්‍රශ්නෙට පැනල උත්තර දුන්නෙ කමලා.

‘‘ආ... රොආන් කෙමෙති නං මට එහෙකි චීන කොරටුවෙ අපේ මස්සිනාලගෙ දිහා කතා කරල දෙන්න. හෙබයි...’’

‘‘ඇයි ඇයි ‘හෙබයි’ කියල නැවැත්තුවෙ...?’’

පැනපු ගමන් එහෙම ඇහුවෙ විනීතා.

‘‘නේ ඉතිං එතන ගෙවල් දායක දොළාක ම ඉන්නෙ අපේ කටිටිය නෙ... ඒක රොආන්ට හරි යෙයිද දන්නේ නේ...’’

 


‘‘උඹ කියන්නෙ එයැයිල දෙමළෙන් දොඩන හංද නේද...’’

ඒ ප්‍රශ්නයත් විනීතාගෙන්. උත්තරයක් විදියට කමලා කතා නොකර ම ඔළුව වැනුවා.

‘‘පිස්සු ද බං... එහෙම වෙන එකක් නෑ. ඇයි මතක නැද්ද දවසක් රොහාන් කිව්ව ඌ ගෙදරින් තරා වෙලා ගිහින් පංතියෙ දෙමළ යාළුවෙක්ගෙ ගෙදර සතියක් විතර හිටිය කියල. ඉතිං බං පුංචි සංදියෙ එහෙම හිටිය නං දැන් ඉන්න බැරිකමක් නැහැ නෙ...’’

ඉස්සර දවසක රොහාන් කියපු කතාවක් මතක් වුණේ රමණිට. මට නම් ඒ ගැන මතකයක් තිබුණෙ ම නෑ.

‘‘එහෙනං කමල... උඹ මස්සිනත් එක්ක දොඩල වැඩේ පංගාර්තු කරපං. අපි කොයිකටත් මේ ගැන රොහාන්ටත් කියමු; අද ම කියමු.’’

‘‘හොටලෙදි ඔව්ව දොඩන්න බැහැනෙ ජෙසිකක්කෙ. අපි කොල්ලට කියමු හවහට... ඩිංගක් රෑ වෙලා උනත් කමක් නෑ... කොටුවට එන්නෙයි කියල. හවහට මොකෙක්කත් අපි එක්කරගෙන ගියෙ නැහ්නං හතර දෙනා ම එක්කහු වෙලා රොහාන්ට විස්තරේ කියමු. එතකොට කමලලගෙ මස්සිනාලගෙ ගෙදර විස්තරේත් කියන්න ඇහැකි නෙ.’’

රමණිගෙ ඒ යෝජනාවට මමයි අනිත් දෙන්නයි එකඟ වුණා.

*          *          *

MONALI MONALI 20180826 075853 1

හවසට හරි ටිකක් රැ වෙලා හරි කොටුවෙදි හමු වෙමු කියල ජෙසිකා අක්ක කිව්වට මම හිතුවෙ නෑ මගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න කියල. ඇත්තට ම මම හිතුවෙ මොකක් හරි සාජ්ජයක් වෙන්නැති කියල. සාජ්ජයක් නොවුනත් හතර දෙනාම බියර් බෝතල් දෙකකුත් අරගෙන තමයි ඇවිත් හිටියෙ.

‘‘මොකෝ අක්කෙ... පාටියක් ය...?’’

මම එහෙම ඇහුවෙ මම කොටුවෙ ලයිට් හවුස් එක ගාවට යද්දිත් සාජ්ජ දාන දවසවල වගේ ම හතර දෙනා ම බිම වාඩිවෙලා මම එන තුරු බලාගෙන හිටපු නිසා.

‘‘පාටියක්නං තමයි. හැබැයි අපේ නෙවෙයි...’’

කටකාර විනීතා එහෙම කිව්වෙ කපටි හිනාවකුත් එක්ක අනිත් තුන්දෙනාගෙ මුණු දිහා බලාන අතර ම යි. ‘අපේ නොවන’ පාටිය කාගෙද කියල කල්පනා කරන ගමන් ම මමත් එතනින් වාඩි වුණා.

* ඇහිදුං පැහැදුං = කැම බීම

 

ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ 'සුසුම් රස්තියාදුව' -  (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/06/28   

අපලෝකන - පසුගිය කොටස් 

Follow Us

Image
Image
Image
Image
Image
Image