ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර හියුමන් හිමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab)
ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේදී රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වංක ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබමින්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තවත් තීරණාත්මක සාක්ෂි විභාගයක් ඊයේ (19) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පැවැත්විණි.
මෙදින නඩු විභාගයේදී විශේෂ අවධානයක් යොමු වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වැනි විත්තිකරුගේ භූමිකාව සම්බන්ධයෙනි.

ප්‍රශ්නගත ඖෂධ පිළිබඳ සැක මතු වූ අවස්ථාවේදී, පොලිසියට පැමිණිලි කිරීමටත් ප්‍රථම ඒ පිළිබඳව සොයා බලන ලෙස 12 වැනි විත්තිකරු තමාට උපදෙස් ලබා දුන් බව පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන NMRA හි සහකාර ඖෂධ ඇගයීම් නිලධාරිනී නිෂානි ලංකා කරුණාතිලක මහත්මිය විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ පිළිගැනීම මෙහිදී කැපී පෙනුණි. එමෙන්ම, නීතිඥවරුන් සහ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අතර ඇතිවූ උණුසුම් තර්ක විතර්ක හමුවේ අධිකරණයේ මැදිහත්වීමද නඩු විභාගයේ ගමන් මග පිළිබඳ වැදගත් ඉඟි සපයයි.
නඩු විභාගයේ විශේෂ කරුණු සහ තර්ක විතර්ක (Key Highlights & Arguments)
• 12 වැනි විත්තිකරුගේ පූර්ව මැදිහත්වීම:
ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් ඇගයීම් කමිටු සහතික නිකුත් කර ඇත්දැයි සෙවීමට සහ ඉන්දියානු නිෂ්පාදන සමාගම පිළිබඳව සොයා බැලීමට 12 වැනි විත්තිකරු තමාට උපදෙස් දුන් බව සාක්ෂිකාරිය පිළිගත්තාය. ඒ අනුව සොයා බැලීමේදී, අදාළ සමාගම ඉන්දියාවේ එවැනි ඖෂධයක් නිෂ්පාදනය කර නොමැති බව තමා ඔහුට දැනුම් දුන් බවද ඇය පැවසුවාය.
* රේගුවට ඉදිරිපත් කළ ව්‍යාජ ලියවිල්ල:
පළමුවන විත්තිකරු විසින් 2025.06.03 දින ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළ අංක CUS/ICT/STATE/3084 දරන ඖෂධ ඇගයීම් කමිටු සහතිකය NMRA විසින් නිකුත් කළ එකක් නොවන බවත්, එහි ආකෘතිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත් සාක්ෂිකාරිය පැමිණිල්ලේ ප්‍රශ්න කිරීම් හමුවේ තහවුරු කළාය.
* පැමිණිල්ල සහ විත්තිය අතර උණුසුම් වචන හුවමාරුව:
විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය අතර සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න ඇසීමේ සීමාවන් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. "ඔය විදිහට හයියෙන් කතා කරලා විත්තිය බය ගන්වන්න හදන්න එපා," යැයි විත්තියේ නීතිඥවරයා කළ ප්‍රකාශය අධිකරණයේ අවධානයට ලක්විය.
* සාක්ෂිකාරියගේ විෂයපථය පිළිබඳ සීමා කිරීම්:
වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) වගකීම් සම්බන්ධයෙන් 3 වැනි විත්තිකාරියගේ නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පැමිණිල්ල විරෝධය පෑ අතර, සාක්ෂිකාරියගේ විෂයපථයට අයත් නොවන කරුණු විමසීමෙන් වළකින ලෙස සභාපති විනිසුරුවරයා විත්තියට තරයේ අවවාද කළේය.
විශ්ලේෂණාත්මක විග්‍රහය (Analytical Commentary)
මෙම නඩු වාර්තාවේ 19 වැනි දින විභාගය ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥාපනතේ මූලික න්‍යායන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කදිම නිදසුනකි.
1. සාපරාධී චේතනාව (Mens Rea) ඛණ්ඩනය කිරීමේ විත්ති පාර්ශ්වයේ උත්සාහය:
12 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නවල මූලික අරමුණ වී ඇත්තේ තම සේවාදායකයාට මෙම වංචාව සම්බන්ධයෙන් 'සාපරාධී චේතනාවක්' (Guilty Mind) නොතිබූ බව අධිකරණයට පෙන්වා දීමයි. අපරාධ නීතියේදී වරදක් ඔප්පු කිරීමට ක්‍රියාව (Actus Reus) මෙන්ම චේතනාවද (Mens Rea) ඔප්පු කළ යුතුය. ඖෂධ පිළිබඳ සැක මතු වූ වහාම ඒ ගැන සොයා බැලීමට විත්තිකරු උපදෙස් දීම, වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ රඳවා ගන්නා ලෙස දැනුම් දීම සහ CID යට පැමිණිලි කිරීමට පියවර ගැනීම යන කරුණු හරහා, ඔහු සද්භාවයෙන් (In good faith) ක්‍රියා කර ඇති බව තහවුරු කිරීමට විත්තිය ප්‍රබල උත්සාහයක් දරන බව පෙනේ.
2. සාක්ෂි ආඥාපනත සහ හරස් ප්‍රශ්න ඇසීමේ සීමාව (Scope of Cross-Examination):
තුන්වන විත්තිකාරියගේ නීතිඥවරයා NMRA නිලධාරිනියගෙන් වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි පිළිබඳව විමසූ අවස්ථාවේදී අධිකරණය මැදිහත් වීම සාක්ෂි නීතියේ වැදගත් සිද්ධාන්තයක් මතක් කර දෙයි. සාක්ෂි ආඥාපනතට අනුව, සාක්ෂිකරුවෙකුගෙන් විමසිය හැක්කේ ඔවුන්ගේ සෘජු දැනුම, අත්දැකීම් හෝ ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වයට (Expertise) අදාළ කරුණු පමණි. වෙනත් ආයතනයක (MSD) ක්‍රියාපටිපාටි පිළිබඳව අනුමාන කර පිළිතුරු දීමට සාක්ෂිකාරියට නෛතික හැකියාවක් නොමැති බැවින්, විනිසුරු මඩුල්ලේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වේ.
3. ලේඛනමය සාක්ෂි (Documentary Evidence) වල ප්‍රබලතාව:
පැමිණිල්ල විසින් මතු කළ ව්‍යාජ රේගු සහතික ලියවිල්ල (CUS/ICT/STATE/3084) නඩුවේ ඉතා ප්‍රබල භෞතික සාක්ෂියක් වනු ඇත. රාජ්‍ය ලාංඡනය හෝ රාජ්‍ය ආයතනයක ආකෘතියක් ව්‍යාජ ලෙස සකස් කර රජයේ මුදල් ලබා ගැනීම, පොදු දේපල පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ වංචාව සහ කූට ලේඛන සකස් කිරීම යන බරපතල අපරාධ ගණයට වැටේ. සාක්ෂිකාරිය විසින් එකී ලේඛනය තම ආයතනයේ ආකෘතියක් නොවන බව තහවුරු කිරීම පැමිණිල්ලේ නඩු නිමිත්ත තවදුරටත් ශක්තිමත් කරන්නකි.
[මෙම නඩුව තවදුරටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බැවින්, සියලුම විත්තිකරුවන් වරදකරුවන් බවට නිසි අධිකරණයකින් තීන්දු කරන තුරු නීතිය ඉදිරියේ නිර්දෝෂී පුද්ගලයන් ලෙස සැලකේ].
නඩු වාර්තාව
19/02/2026

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ආනයනය කළ හියුමන් හිමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ් ( Human Immunoglobulin and Rituximab) යන ඖෂධ දෙක ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ යම් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදී පොලිසියට පැමිණිලි කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු වගකිවයුතු ආයතන වලින් නිසි සොයා බැලීමක් කරන ලෙසට එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12වන චූදිත තමාට උපදෙස් ලබා දුන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ සහකාර ඖෂධ ඇගයීම් නිලධාරිනි නිෂානි ලංකා කරුණාතිලක මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් ඊයේ (19) ප්‍රකාශ කළාය.
එකී ඖෂධ ආනයනය කිරීම සඳහා ඖෂධ ඇගයීම් කමිටුව විසින් සහතික නිකුත් කර ඇතිදැයි සොයා බලන ලෙසටත් ඒවා නිෂ්පාදනය කළ බව කියන ඉන්දියානු සමාගමෙන් සොයාබලන ලෙසටත් දොළොස්වන චූදිත ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වූ තමා ඒ පිළිබඳව සොයා බැලීමක් කලේ යැයිද දොළොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවසුවාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14ට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවැත්විණි.
නීතිඥ චමින්ද අතුකෝරාල සාක්‍ෂිකාරිය අමතමින් ;
''ඔබට අවබෝධයක් තිබෙනවා නේද ප්‍රශ්නගත පෙර මා කිවූ, ඖෂධ දෙක ගැන. ඔබ එම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කීපයක්ම දුන්නා කියලා මූලික සාක්ෂි මෙහෙයවීමේදී ඔබ කීවා නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබගෙන් ප්‍රකාශ සටහන් කරන විට ඒ පිළිබඳව ඔබට කියන්න ඇති කියලා මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි
විත්තියේ නීතිඥවරයා ;
අද විත්තිකූඩුවේ සිටින දොළොස්වන විත්තිකරු තමයි ඔබට උපදෙස් දුන්නේ ප්‍රශ්නගත එකී ඖෂධ ගැන සොයා බලන්න කියලා.
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනී ඔහු කළ දැනුම් දීම අනුව මම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කතා කරලා බලලා එතුමාට කීවා එම ඖෂධ දෙකට අදාලව ඖෂධ ඇගයීම් කමිටු වාර්තා ලබාදී නොමැති බව. ඒවා ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍ර ලැබී නොමැති බවත් මා ඔහුට කීවා. නිෂ්පාදිත සමාගම ගැන සොයා බලන ලෙසට ඔහු ලබා දුන් උපදෙස් අනුව මා ඒ පිළිබඳව සොයා බලා එවැනි ඖෂධයක් ඉන්දියාවේ සමාගමෙන් නිෂ්පාදනය කර නොමැති බවත් මා එතුමාට කීවා.
විත්තියේ නීතිඥවරයා ;
ඖෂධ නියාමන අධිකාරියට යම් ඖෂධයක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන විට ඒ සඳහා යම් රැඳවුම් ගාස්තුවක් ගෙවීමට අවශ්‍යයි නේ. එකී ගාස්තුව ගෙවා ඇති බවට ඔබ සොයා බැලීමක් කළාද? එය සොයා බලන්න ඕනා මුදල් අංශයෙන් කියා ඔබ ඔහුට කීවාද?
සාක්ෂිකාරිය ;
මට ඒ ගැන දැනීමක් නෑ.
විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල ;
දොළොස්වන චූදිත යටතේ සේවය කළ පරිපාලන නිලධාරිනී. මනෝජා ප්‍රියංගනී මහත්මිය මගින් ඒ පිළිබඳව 2023.10.03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔබට දැනීමක් ඇති කියලා මා යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ;
ඒ පිළිබඳව මට දැනීමක් නෑ.
විත්තියේ නීතිඥ ;
දොළොස්වන චූදිත එකී ඖෂධ වර්ග දෙක නිකුත් නොකර වෛද්‍ය සැපයුම් අංශයේ රඳවා තබා ගැනීමට වෛද්‍ය සැපයූම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට 2023.09.02 වැනිදා නියෝග කොට තිබූ බව ඔබ දන්නවා ඇතැයි මා යෝජනා කරනවා. ඔබ ඒ ලිපිය දැකලා තියෙනවද?
සාක්ෂිකාරිය ;
ඒ ගැන මම දන්නේ නෑ. එම ලිපිය මම දැකලා නෑ.
විත්තියේ නීතිඥවරයා ;
ඔබ වර්තමානයේ සේවය කරන ඖෂධ ඇගයීම් අංශයේ රාජකාරි භාර ගන්නා අවස්ථාවේ දී එකී අංශයට අදාළ කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා එකී කටයුතුවලට අදාල ලිපිගොනු ලේඛන අධ්‍යයනය කළ බව සාක්ෂි දෙමින් කීවානේ. ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා ඔබ දැකලා ඇතිනේ? මෙම ලේඛනය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් සහ ඒ සමඟ අමුණා තිබූ මෙමෝ සටහන් පත්‍රයක් කියලා ඔබට හඳුනාගන්න පුළුවන්ද ? 12 වී 1 ලෙස ලකුණු කර තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් කියලා ඔබ පිළිගන්නවාද ?
(විත්තියේ නීතිඥවරයා අධිකරණ භාෂණ පරීක්ෂකවරිය මගින් අංක 6 ගොනුවේ 126 (O) ලෙස ලකුණු කර තිබූ ලේඛණය සාක්ෂිකාරියට ඉදිරිපත් කරයි)
විත්තියේ නීතිඥවරයා ;
එම ලේඛනය ඔබගේ කේත අංකය ඇතුලත් කර යොමු කළ ප්‍රතිග්‍රාහක ලිපියක් නේද? එහි අත්සන් කර තිබෙන්නේ එම සමයේ දොළොස්වන චූදිත විදේශගතව සිටීම නිසා ඔහුගේ රාජකාරී ආවරණය කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් ප්‍රියදර්ශන මහතා බව ඔබ පිළිගන්නවාද ? ඔබ විෂය පිළිබඳ හැදෑරූ වෘත්තීයවේදිනියක් ඔබ දන්නවා ඇතිනේ! විෂයට අදාළ තාක්ෂණික වචන. පෙරකියුටින් ගුඩ්ස් ලෙසින් හඳුන්වන්නේ මොනවාද ? මම එලෙස ඇසුවොත් එමගින් හඳුන්වන්නේ ඖෂධ වෛද්‍ය උපකරණ දේවල් කියලා ඔබ පිළිගන්නවාද ?
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි සමහර ඖෂධ වර්ගත් එම ඝනයට අයත් වෙනවා.
විත්තියේ නීතිඥවරයා ;
2022.09.16 පැවැති අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව හා එයට අමුණා තිබූ මෙමෝ පත්‍රය තමයි 12 වි 1 ලෙස ලකුණු කර ඇත්තේ කියන එක ඔබට පිළිගන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි

විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල ;
මේ සංශෝධිත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවෙන් ජයිකා ව්‍යාපෘතිය හා ආසියානු සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු හදිසි ප්‍රසම්පාදන ක්‍රමවේද යටතේ ඖෂධ ආනයනය කිරීමට අදාළව නේද සඳහන් කර තිබෙන්නේ. එවැනි ඖෂධ ගෙන්වීමේදී ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව පරීක්ෂා කිරීමේ ක්‍රමවේද තියෙනවා කියා මා යෝජනා කළොත් ඔබ ඒක පිළිගන්නවාද ?
සාක්ෂිකාරිය ;
ඔව් අදටත් ඒ ක්‍රමවේද තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම ;
මට ඒ හරස් ප්‍රශ්න ගැන නිවැරදි කිරීමක් කරන්න තිබෙනවා. දොළොස්වන චූදිතගේ නීතිඥ මහතා ඇසුවා ඔහු ඉදිරිපත් කළ අධ්‍යක්ෂ මණ්ඩල සටහන් හා මෙමෝ පත්‍රය ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද? ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වෙන ආකාරය පිළිබඳව? ඔබ එම රැස්වීම් වලට ගිහින් තියෙනවාද? එවැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සාකච්ඡා වලට ලැබෙන්නේ ඊමේල් මාර්ගයෙන් කියලනේ ඔබ පෙර සාක්ෂි දුන්නේ ඊමේල් ලැබෙන තුරු ඔබ දන්නේ නෑනේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළේ වෙන සාකච්ඡා පිළිබඳව? එවැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් යාවත්කාලීන කිරීම් ගැන ඔබ දැනුවත්ද ?
සාක්ෂිකාරිය ;
මම ඒ බව දැනගත්තේ ඊමේල් පණිවිඩ ලැබුණට පසුවයි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;
ඔබගෙන් දොළොස්වන විත්තිකරුගේ නීතිඥ මහතා ඇසුවා ප්‍රශ්නගත ඖෂධ නිෂ්පාදනය කර ඇති ඉන්දියානු සමාගම ගැන සොයා බලන්න කියලා දොළොස්වන විත්තිකරු ඔබට උපදෙස් දුන්නා කියන කාරණය ගැන. ඒ වගේම එම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ් කියන ඖෂධ දෙක රඳවා තබා ගැනීමට එම විත්තිකරු උපදෙස් ලබාදීමක් ගැනත් ඇසුවා. ඔය ලිපි දෙක ගැන කතා කරන්න ඔබට අවබෝධයක් තිබෙනවාද ? ඖෂධ සුරක්ෂිත කමිටුව විසින් කළ යුතු රාජකාරී කටයුතු ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද ?
සාක්ෂිකාරිය ;
නැහැ ස්වාමීනී
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ;
දොලොස්වන විත්තිකරු මනෝජා නමැති පරිපාලන නිලධාරිනිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව දන්නවාද කියලත් විත්තියේ නීතිඥ මහතා ඇසුවා. ප්‍රශ්නගත ඖෂධ දෙක ගැන 2023.10 මස ඖෂධ සුරක්ෂිත කමිටුව මගින් උපදෙස් ලබාදීමක් ගැන ඔබට අවබෝධයක් තිබුණාද ?
නීතිඥ චමින්ද අතුකෝරාල ;
මම සුරක්ෂිත කමිටුවක් ගැන මෙම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවේ නෑ. ඒ නිසා පැමිණිල්ලට බෑ මම අහපු නැති කරුණක් ගැන සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න අසන්න.
අධිකරණය ;
එම කරුණු ගැන නිසි ක්‍රමවේදයට අසන්න මේ විදියට අහන්න එපා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
නෑ ස්වාමිනි! විත්තියෙන් මේ සාක්ෂිකාරියගෙන් විවිධ කරුණු ගැන හරස් ප්‍රශ්න ඇසුවා. එකී කරුණු වලට පිවිසීමටයි මම එම ප්‍රශ්නය ගැන සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්නයක් ඇසුවේ.
විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල;
දැන් ගරු අධිකරණය ඒ ගැන නියෝගයක් දීලයි තියෙන්නේ. අධිකරණය දුන් නියෝග අනුව කටයුතු කරනවා මිස එකී නියෝගය ගැන නැවත විග්‍රහ කරන්න පැමිණිල්ලට බැහැ. අධිකරණය ලබාදෙන නියෝග වලට අපි කවුරුත් අවනත වෙන්න ඕනා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ,විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා දෙසට හැරී ඔබතුමා ඔබතුමාගේ සීමාව ඉක්මවා යනවා. මම විනිසුරු මඩුල්ලට ඒ ගැන පහදාදීමටයි හැදුවේ.

නීතිඥ චමින්ද අතුකෝරාල ;
ඔය විදිහට හයියෙන් කතා කරලා විත්තිය බය ගන්වන්න හදන්න එපා. ඔහොම හයියෙන් කතා කරන්න ගිහින් මහාධිකරණයේදී සිද්ධ වුන දේ මතකයිනේ?
පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කර ඇති පළමුවන විත්තිකරු විසින් 2025.06.03 දින ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළැයි කියන අංක CUS/ ICT/STATE/3084 දරන ඖෂධ ඇගයීම් කමිටු සහතිකය ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ සහතිකයක් නොවන බවත් එම සහතිකයේ ආකෘතියද ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන සහතික වල ආකෘතිය අනුව සකස් කර නොමැති බවත් එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය නැගූ නැවත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පැවසුවාය.
තුන්වන විත්තිකාර වෛද්‍ය සැපයූම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂිකා පීස් දේවශාන්තිනී සොලමන්ස් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා එහිදී එම සාක්ෂිකාරියගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න නගමින් ඖෂධ නියාමන අධිකාරියේ වගකීම වනුයේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් ඖෂධ මිලදී ගැනීමට වගබලා ගැනීම නොවන්නේ දැයි විමසා සිටියේය.
එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ වගකීම වනුයේ රටට අවශ්‍ය ඖෂධ තොග පවත්වාගෙන යාම හා බෙදාහැරීම නොවන්නේ දැයි විත්තියේ නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර තමන්ට ඒ පිළිබඳව දැනීමක් නොමැති බව සාක්ෂිකාරිය එම පැනයට පිළිතුරු දෙමින් පැවසුවාය. විත්තියේ නීතිඥවරයා එම සාක්ෂිකාරියගෙන් ඇයට අදාළ නොවන විෂයක් පිළිබඳව හරස් ප්‍රශ්න සම්බන්ධයෙන් නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය විරුද්ධත්වය දැක්වූ අතර සාක්ෂිකාරියගේ විෂයපථයට අයත් නොවන කරුණු ගැන සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න නොඅසන ලෙසට සභාපති විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට අවවාද කළේය.
පුරා දින අටක් තිස්සේ සිදු කළ එම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම ඉන් අවසන් කළ අතර ලබන 23 වැනිදා දක්වා සාක්‍ෂි විභාගය කල් තැබූ විනිසුරු මඩුල්ල පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ 33වන සාක්ෂිකාරිය වන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඖෂධ වේදනියක ලෙස රාජකාරි කරන අමිලා කුමාරි ඒකනායක මහත්මියට හා පැමිණිල්ලේ 52වන සාක්ෂිකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී අයන්ත සඳරුවන් අභයවික්‍රම මහතාට සිතාසි යැවිමට නියෝග කළේය.
සබැඳි ලිපි :
ඉමියුනොග්ලොබියුලින් නඩුව : විත්තිය සහ පැමිණිල්ල අතර ඇතිවූ 'අයියෝ' ගැටුම
ජාතික ඖෂධ නියාමන පනත කඩතුරාවක් කරගත් ඛේදවාචකය: ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය
ඖෂධ මාෆියාවට පාර කැපූ 'විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය' එළියට ! - NMRA නිලධාරිනියගෙන් අධිකරණය හමුවේ තීරණාත්මක හෙළිදරව්වක්
ඖෂධයේ ‘උප්පැන්න සහතිකය’ අතුරුදහන් ද? : ඉමියුනොග්ලොබියුලින් නඩුවේ තීරණාත්මක සාක්ෂිය සහ නීතියේ විවරණය
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: ඉන්දියානු ණය මුදල සහ භාණ්ඩාගාරයේ 'අමතක වීම': ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ හුදකලා චෝදනාව පුපුරා යයි ද?
එන්නත් නඩුවෙන් මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ! - රාජ්‍ය මූල්‍ය පාලනය, පරිපාලන වගවීම සහ 'නොකියවූ' ගිවිසුම්...
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: පරිපාලනමය පහසුව සහ විත්තිකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය අතර ඝට්ටනයක්?
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !
විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි
ඉමියුනොග්ලොබියුලින් නඩුව උණුසුම් වෙයි: නීතිමය බාධා මැද විත්තියෙන් දැඩි ප්‍රහාරයක්
වසර 10ක් පුරා 'බාල ඖෂධ' තිබුණත් CID ගියේ අදයි! - ප්‍රසම්පාදන ලොක්කන්ගේ "තෝරා බේරා දඬුවම් දීමේ" ප්‍රතිපත්තිය එන්නත් නඩුවෙන් හෙළිවේ
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සැඟවුණු පැතිකඩ සහ 'නිලධාරිවාදී අමතකවීම්'

