රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යවහරණය කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මේ දිනවල ක්‍රියාත්මක වන නඩු විභාගය, හුදෙක් එක් දූෂණ චෝදනාවකට එහා ගිය මෙරට සෞඛ්‍ය පරිපාලන පද්ධතියේ ඛේදවාචකය මනාව නිරූපණය කරන්නකි.
ඊයේ (23) අධිකරණය හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ඖෂධ නියාමන අංශ ප්‍රධානී සහ ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපතිනිය ලබාදුන් සාක්ෂි තුළින් නිරාවරණය වන්නේ, මෙරට පුරවැසියන්ගේ ජීවිත රඳා පවතින ආයතන පද්ධතියක පවතින අතිශය දුර්වල සහ වගකීම් විරහිත පරිපාලන ව්‍යුහයයි.
ඖෂධ නියාමනයේ මිථ්‍යාව සහ ප්‍රායෝගික යථාර්ථය
ඖෂධ නියාමන අධිකාරියේ මූලිකම වගකීම වන්නේ මෙරටට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීමයි. එහෙත්, අධිකරණයේදී විත්තියේ නීතිඥ අසේල සේරසිංහ නැගූ ප්‍රශ්නයකට සාක්ෂිකාරිය දුන් පිළිතුර සෞඛ්‍ය පද්ධතියේ හදවතටම එල්ල කරන මරු පහරකි.
නීතිඥ අසේල සේරසිංහ:
"ලංකාවට ඖෂධ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන් ආනයනය කිරීමට අපේක්ෂා කරන ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳව කොහොමද ඔබ අධිකාරිය මගින් පරීක්ෂා කරන්නේ?"
සාක්ෂිකාරිය:
"එලෙස ආනයනය කිරීමට ඉල්ලුම් කළ ඖෂධ වර්ග අතරින් බොහෝවිට හරි අඩක ප්‍රමාණයක් වගේ තමයි රසායනාගාර වෙත යොමු කර ඒවායේ ප්‍රමිතිය නැත්නම් ගුණාත්මක භාවය පිළිබඳව සොයා බලන්නේ. එහෙම පරීක්ෂා කරන්න අවශ්‍ය රසායනාගාර පහසුකම් ඖෂධ නියාමන අධිකාරියට නෑ... ඖෂධ ආනයනකරු ඒවා නිෂ්පාදනය කරන රටේ නිෂ්පාදිත සමාගමෙන් ඉදිරිපත් කරන රසායනාගාර වාර්තා ඇතුළු ලේඛන මත තමයි ඒවා ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ."
මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? මෙරටට ගෙන්වන ඖෂධවලින් අතිමහත් බහුතරයක් අපගේම වූ ස්වාධීන පරීක්ෂාවකට ලක් නොවන බවයි. ලේඛන මත පමණක් පදනම් වී තීරණ ගැනීම යනු ජනතා ජීවිත සමඟ සූදුවක නිරත වීමකි. එය තවදුරටත් තහවුරු වූයේ නීතිඥවරයා එන්නත්වල ස්වභාවය ගැන නැගූ පැනයෙනි.
විත්තියේ නීතිඥ:
"බොහෝ එන්නත් වර්ග දියර වර්ග ලෙසනේ ආනයනය කරන්නේ. ඒවා රසායනාගාර මගින් නිසි පරීක්ෂණයකට ලක් නොකළොත් එම දියර වර්ගයේ අඩංගු කුමන එන්නත් වර්ගයද කියලා සනාථ කරගන්නේ කොහොමද?"
සාක්ෂිකාරිය:
"බොහෝ එන්නත් වර්ග සුදු පැහැති දියර. ඒවා රසායනාගාර පරීක්ෂණයක් නොකළොත් අඳුර ගන්න බෑ."
පසුගාමී තීරණ සහ මහජන පීඩාව
මෙම ලිහිල් ක්‍රමවේදයේ ප්‍රතිඵල අතිශය භයානක බව හරස් ප්‍රශ්න ඇසීමේදී මනාව දිගහැරුණි. 2025 වසර තුළදී පමණක් ඖෂධ නියාමන අධිකාරියේ නිසි අනුමැතිය ලබාගෙන ආනයනය කළ ඖෂධ අතරින් 79ක් ද, මේ වසරේ (2026) ජනවාරි සිට පෙබරවාරි දක්වා තවත් ඖෂධ 5ක් ද භාවිතයෙන් ඉවත් කර ඇති බව සාක්ෂිකාරිය අධිකරණය හමුවේ පිළිගත්තාය.
මෙම සංඛ්‍යාලේඛන හුදෙක් ඉලක්කම් නොවේ; ඒවායින් නියෝජනය වන්නේ අසාත්මිකතාවන්ට, සංකූලතාවලට සහ ඇතැම්විට ජීවිත හානිවලට පවා ලක්වූ අසරණ රෝගීන්ය. එසේ තිබියදීත්, රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අමානුෂික බව සහ අසංවේදී බව පහත සංවාදයෙන් මනාව පිළිඹිබු වේ:
විත්තියේ නීතිඥ:
"...එකී සංකූලතාවලින් ඇස් අන්ධ වූ පිරිස් හා තවත් විවිධ සංකූලතා ඇති පිරිස් ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව නඩු පවරා තිබෙනවාද? එවැනි නඩු පැවරුම් නිසා ඔබ අධිකාරියේ යමෙකු හෝ අත්අඩංගුවට පත්වීමක් සිදුවී තිබෙනවාද?"
සාක්ෂිකාරිය:
"එහෙම මතකයක් නම් නෑ."
නෛතික ප්‍රතිපාදන සහ රාජ්‍ය නිලධාරියාගේ භූමිකාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ සම්පත් සහ බලය යනු මහජනතාව වෙනුවෙන් දරන 'පොදු භාරයකි' (Public Trust Doctrine). රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුත්තේ මෙම භාරකාරත්වය සුරක්ෂිත වන පරිදිය. ආයතන සංග්‍රහය (Establishments Code) මගින් ද රාජ්‍ය නිලධාරියෙකුගේ අවංකභාවය සහ වගකීම දැඩිව අවධාරණය කරයි.
නමුත් ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ නිලධාරිනියගේ කාර්යාල කළමනාකරණය සහ ලේඛන සුරක්ෂිතතාව පිළිබඳ මූලික පදනමම බිඳ වැටී ඇති බව අධිකරණයේදී හෙළි විය.
විත්තියේ නීතිඥ:
"ඔබ සේවය කළ ඖෂධ ඇගයීම් කමිටුව මගින් ලබාදෙන සහතික ටයිප් කළේ කවුද? කුමන අංශයක පරිගණකයකින්ද කියලා ඔබ දැනුවත්ද...?"
සාක්ෂිකාරිය:
"මට ඒ ගැන හරියටම කියන්න බෑ."
විත්තියේ නීතිඥ:
"අංශ ප්‍රධානියා ලෙස ඔබට ඒ ගැන දැනුමක් නෑ කියන්නේ ඔබ වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට මා යෝජනා කරනවා."
සාක්ෂිකාරිය:
"නෑ, මම කියන්නේ දැන් මට ඒ ගැන මතක නෑ කියන එකයි. මට ඒ ගැන හරි අවබෝධයක් නෑ."
රුපියල් කෝටි 14ක් වැනි දැවැන්ත මහජන මුදලක් වියදම් කිරීමේදී, මූල්‍ය රෙගුලාසි (FR) යටතේ දැඩි වගකීමක් නිලධාරීන්ට පැවරේ. ප්‍රමිතිය තහවුරු කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් හෝ අදාළ සහතික නිකුත් කිරීමේ මූලික වගකීමක් නොමැතිව කටයුතු කිරීම මුදල් රෙගුලාසිවල මූලික හරයට සම්පූර්ණයෙන්ම පටහැනි වේ.
නිගමනය:
අධිකරණය හමුවේ විභාග වන නඩුවේ අවසන් තීන්දුව කුමක් වුවත්, මෙම සාක්ෂි මගින් සමස්ත සමාජයටම ලබා දෙන පණිවිඩය අතිශය බරපතළය. එය නම්, අපගේ සෞඛ්‍ය පද්ධතිය තුළ තීරණ ගැනීමේදී විද්‍යාත්මක පදනමකට වඩා 'ලේඛනගත සම්ප්‍රදායන්' සහ 'වගකීම් මඟහැරීම' රජයන බවයි.
පවතින නීති සහ රෙගුලාසි නිලධාරීන්ගේ ආරක්ෂාවට පමණක් නොව, මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් සක්‍රීයව යොදාගත යුතු කාලය එළඹ ඇත. එසේ නොමැති වුවහොත්, "මට මතක නෑ" සහ "පහසුකම් නෑ" යන පිළිතුරු මත තවත් අහිංසක ජීවිත ගණනාවක් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ නිහඬවම වැළලී යනු ඇත.
[මෙම නඩුව තවදුරටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බැවින්, සියලුම විත්තිකරුවන් වරදකරුවන් බවට නිසි අධිකරණයකින් තීන්දු කරන තුරු නීතිය ඉදිරියේ නිර්දෝෂී පුද්ගලයන් ලෙස සැලකේ].
නඩු වාර්තාව
23/02/2026
එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා නිල බලයෙන්ම ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපති ධුරය දැරූ බවත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ඉදිරිපත් කරන අයදුම් පත් ලියාපදිංචි කිරීමේදී ඔවුන් ඉදිරිපත් කරන ඖෂධ අතරින් ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරය වෙත යොමු කිරීමක් කරනුයේ භාගයක පමණ කොටසක් වන්නේ යැයි ඖෂධවේදනියක වන අකිලා කුමාරි ඒකනායක මහත්මිය විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (23) පැවසුවාය .
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පැමිණිල්ලේ 33වන සාක්‍ෂිකාරිය ලෙස නම් කර තිබූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, ඖෂධවේදනියක ලෙස කටයුතු කරන එම මහත්මිය ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පළමු දිනට සාක්ෂි ලබා දුන්නාය.
ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා හා ඊට අදාල ඇමනුම් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය එම සාක්ෂිකාරිය මගින් පැමිණිල්ලේ සාක්ෂි ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.
අනතුරුව දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ අසේල සේරසිංහ ;
ඔබතුමිය සෑහෙන කාලයක් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා කීවනේ. ඔබම තමයි නිල බලයෙන්, ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපති ධුරයේ කටයුතු කළෙත් කියා මා යෝජනා කළොත් ඔබ එය පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ;
එහෙමයි ස්වාමීනී. ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අය තමයි ඖෂධ ඇගයීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙත්.
නීතිඥ අසේල සේරසිංහ;
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලංකාවට ඖෂධ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන් ආනයනය කිරීමට අපේක්ෂා කරන ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳව කොහොමද ඔබ අධිකාරිය මගින් පරීක්ෂා කරන්නේ කියලා කියලා මම යෝජනාවක් ලෙස ඇසුවොත් ඔබට ඒ ගැන දැනුමක් තිබෙනවාද කියලා..
සාක්ෂිකාරිය ;
එලෙස ආනයනය කිරීමට ඉල්ලුම් කළ ඖෂධ වර්ග අතරින් බොහෝවිට හරි අඩක ප්‍රමාණයක් වගේ තමයි රසායනාගාර වෙත යොමු කර ඒවායේ ප්‍රමිතිය නැත්නම් ගුණාත්මක භාවය පිළිබඳව සොයා බලන්නේ. එහෙම පරීක්ෂා කරන්න අවශ්‍ය රසායනාගාර පහසුකම් ඖෂධ නියාමන අධිකාරියට නෑ. විශේෂයෙන් ඖෂධ ඇගයීම් කමිටුව ඉල්ලීමක් කළොත් එතනදි යෝජනාවක් ආවොත් තමයි රසායනාගාර වෙත යවන්නේ. එහෙම නැතිනම් ඖෂධ ආනයනකරු ඒවා නිෂ්පාදනය කරන රටේ නිෂ්පාදිත සමාගමෙන් ඉදිරිපත් කරන රසායනාගාර වාර්තා ඇතුළු ලේඛන මත තමයි ඒවා ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ.
විත්තියේ නීතිඥවරයා ;
මේ වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මුල් සතිය දක්වා ඔබලා එලෙස ආනයනය කිරීමට අවසර ලබා දුන් ඖෂධ පහක් භාවිතයෙන් ඉවත් කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවත්වාගෙන යන වෙබ් අඩවියේ පළවී තිබූ බවට මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ;
එහෙමයි ස්වාමීනී. එහෙම මතකයි.
විත්තියේ නීතිඥ ;
2025 වසර තුළදී පමණක් ඖෂධ නියාමන අධිකාරියේ නිසි අනුමැතිය ලබාගෙන රටට ආනයනය කළ ඖෂධ අතරින් 79 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ආනයනය කළ එම ඖෂධ වර්ග 79 න් එකක් විදේශ රටකින් පරිත්‍යාග ලෙස ලැබුණ එකක් බවත් තවත් එක් ඖෂධයක් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ආනයනය කළ ඖෂධයක් බවටත් මම යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ;
එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥවරයා ;
බොහෝ එන්නත් වර්ග දියර වර්ග ලෙසනේ ආනයනය කරන්නේ. ඒවා රසායනාගාර මගින් නිසි පරීක්ෂණයකට ලක් නොකළොත් එම දියර වර්ගයේ අඩංගු කුමන එන්නත් වර්ගයද කියලා සනාථ කරගන්නේ කොහොමද? එලෙස පරීක්‍ෂා කිරීමේ වගකීම තිබෙන්නේ නිසි බලධාරියා වන ඖෂධ නියාමන අංශයට කියලා මා යෝජනා කළොත්?
සාක්ෂිකාරිය ;
බොහෝ එන්නත් වර්ග සුදු පැහැති දියර ඒවා රසායනාගාර පරීක්ෂණයක් නොකළොත් අඳුර ගන්න බෑ.

විත්තියේ නීතිඥවරයා ;
පසුගිය කාලය තුළ විවිධ සංකූලතා ඇති වූ ඖෂධ වර්ග එන්නත් වර්ග ඔබගේ ඖෂධ නියාමන අංශයේ අනුමැතියට යටත්වනේ ගෙන්වා ඇත්තේ. එහෙමනම් එකී සංකූලතා වලින් ඇස් අන්ධ වූ පිරිස් හා තවත් විවිධ සංකූලතා ඇති පිරිස් ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව නඩු පවරා තිබෙනවාද? එවැනි නඩු පැවරුම් නිසා ඔබ අධිකාරියේ යමෙකු හෝ අත්අඩංගුවට පත්වීමක් සිදුවී තිබෙනවාද?
සාක්ෂිකාරිය;
විත්තියේ නීතිඥ;
ඔබ සේවය කළ ඖෂධ ඇගයීම් කමිටුව මගින් ලබාදෙන සහතික ටයිප් කලේ කවුද ? කුමන අංශයක පරිගණකයකින්ද කියලා ඔබ දැනුවත්ද කියලා මා යෝජනා කළොත්?
සාක්ෂිකාරිය;
මට ඒ ගැන හරියටම කියන්න බෑ.
විත්තියේ නීතිඥ;
අංශ ප්‍රධානියා ලෙස ඔබට ඒ ගැන දැනුමක් නෑ කියන්නේ ඔබ වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට මා යෝජනා කරනවා?
සාක්ෂිකාරිය;
නෑ මම කියන්නේ දැන් මට ඒ ගැන මතක නෑ කියන එකයි. මට ඒ ගැන හරි අවබෝධයක් නෑ.

නම වන විත්තිකාර හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ද සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවේය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් සිදු නොකළ අතර පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න ඇසීම සඳහා අද (24) යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එම සාක්ෂිකාරියට විනිසුරු මඩුල්ල අවවාද කළේය.
පැමිණිල්ලේ 29 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ මුදල් අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩල පාර්ලිමේන්තු කටයුතු හා මානව සම්පත් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතාට අද (24) පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමටද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

