අරුම පුදුම දොලදුක් ආශාවන් උපන් විහාර මහා දේවිය විසින් තම සිතැඟියාවන් සපුරා ගත්තේය.
ඒ නමුඳු ඇය වෙත එම අමුතු දොලදුක් සපුරා ගැනීම සඳහා වූ කැපවීම ඉටුකරන මිනිසුන්ගේ කතා වත අප අතර නැත. ඉතිහාස පොත රජදරුවන්ට සින්න වූ පොතක් සේ බොහෝ විචාරකයන් ගොඩ නගා ඇති මතයක් වේ. එය සපුරා වැරදි මතයකි. පූර්ව ඉතිහාස රචකයන් එවන් පක්ෂපාතී බවක් තම රචනාවන් වල රඳවා නැත. එය සිදුවන්නේ මෑත කාලීනයන්ගේ ඉතිහාසයේ පසු රචනාවන් හා කියවීම් වලදීය.
ඒ අනුව වැඩවසම් වාදී චින්තනය ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක ඉතිහාසවාදීන් තුල වුවද එවන් හැඟීම් රාජ සම්මත යුගයේ ඉතිහාස රචනා තුල නොවූ බව කිව යුතුය. ඒ සඳහා රජ දරුවන්ගේ චරිතයට දායක වූ සමාජ දරුවන් ගැන ලියා තැබූ විත්තිම උදාහරණ සපයා දී ඇත. වී ඇති දෙය නම් නූතන ඉතිහාස විදග්යන් යනු තම ගුරු කුලයේ කට කථාව පමණක් දන්නා එයම ප්‍රචාරණය කරන සීමාන්තික දැනුමක සිරවූවන් වීමය. මේ සිරගත සීමාව නිසාම ජනහද ඒ සිරගත සීමාවෙන් සීමා විය. ඒ නිසා ජනතාව ජනතාවගේ ඉතිහාසය නොදන්නා රජවරුන් හා සඟුන් වහන්සේලාගේ ඉතිහාසය විතරක් දන්නා ජනතාවක් බවට පත්ව තිබේ. මෙය කෙතරම් ඛේදජනක තත්වයක්ද. එමෙන්ම පොදුවේ ඉතිහාසය ලියා තිබූ මූල රචකයන්ට කර ඇති මහත් අපහාසයක් ද වන්නේ ඉතිහාසය ඒක පාර්ශවීය මෙන්ම රාජ උරුමයක් සේ සනාථ කර ඉගැන්වීමය.
ඉතින් මේ නොදන්නාකමේ ඒකචාරී අධ්‍යාපනය විසින් වසාගත් ඉතිහාසය මැදින් ඇද විවර කළ යුතුය. විහාර මහා දේවියගේ දොල ආශා අතර අරුමය දනවන දොල ආශාව වූයේ එළාර මහ රජුගේ ප්‍රධාන සෙනවියා වූ "නන්ද සාරථී"ගේ හිස සිඳ දමා එම ලේ තැවරුණ අසිපත සෝදා ගත් ජලය එම සිඳ දැමූ හිස මත වාඩිවී පානය කිරීමය. මෙම අමුතු දොල ආශාව සංතර්පණය කර ගැනීම නොකරන්නෙම්, විහාර දේවි බිසවගේ කුස වැඩෙන ගැබ ගබ්සා විය හැකි බව එකල රාජ වෛද්‍යවරුන්ගේ නිගමනය විය. දීර්ඝ කාලයක් දරුවන් නැති සොවින් දිවි ගෙවූ විහාර මහා දේවියගේ ගැබ ඇය ආරක්ෂා කල යුතු විය. එමෙන්ම එම දීර්ඝ කාලයම දරුවන් හදන්න නොහැකි බවට අපහාස විඳි පුරුෂයෙක් වූ රජ කාකවර්ණ තිස්ස රජුටද මේ ගැබ රැක ගත යුතු විය.
අනෙක් අතින් ලංකා පොලවේ උපන් රාජ කුමරෙකුට ලක් කිරුළ දරා ගැනීමේ ප්‍රාර්ථනාවටද මේ ගැබ සුරක්ෂා කල යුතුය. මෙවන් සුවිශේෂතා මැද කුස වැඩිය ගැමුණු කුමරු ගැබ රඳවා ගැනීමට උපන් දොල ආශාවේ අසීරුම දොල ආශාව වූයේ මෙම එළාර රජුගේ සෙන්පතිගේ හිස සිඳ ලේ සෝදා පානය කිරීමය. එය ඉෂ්ඨ කොට දීමට ඉදිරිපත් වන්නේ වේලුය. වේලු හෙවත් වේලු සුමනය. ඔහු යුධ යෝධයෙක් සේ ජනප්‍රියය. ඒත් ස්ත්‍රී ගැබක් ආරක්ෂා කිරීමේ මානව මෙහෙයුමට දායක මානව සංවේදී වූ පුරුෂයෙක් සේ ඔහුට හිමි තැන ගැන අපට මතකයක් නැත. ඔහු ගැන මහාවංශය දීපවංශය දී ඇති විශේෂ ඉතිහාස කථාවේ කියවී ඇති දේ නූතනයන් නොදන්නා තරම්ය. නැතිනම් දන්නා වුවද නොකියන කතාවකි. නැතිනම් එය දන්නේම නැති තරම්ය. එවිට මෙම වේලු හෙවත් වේළු සුමන ගැන සොයා යා යුතු තරම් ගැඹුරක් ඇතිව තිබුනාය.
මෙම වේලු උපන් ගමට ගියේ 1986 තරම් ඈත සමයේය. හිරිමල් වියේදී මට "වේලු සුමන" නම සුළඟක් සේ දැනී තිබුණි. සුමන "වේලු සුමන" වීමේ පද අරුතේ අමුතු දැන්වීමක් පෙනෙන නිසා ඔහු ගැන සෙවීමට තරම් සිතුම් පහල කර තිබුණි. මහැඳුරු කඹුරුපිටියේ වනරතන තෙරිඳු හා බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ තෙරිඳු හා මහැඳුරු වල්පල රාහුල මහතෙරිඳු සමඟ ඒ ගමන යන්න හැකිවිය. එය කෙතරම් භාග්‍යයක් දැයි දැන් දැනෙන්නේ එවන් මහ තෙරිඳුන්ගෙන් හිස්ව වර්තමානයේ ජීවත් වන විටය. ගිරි දනව්වේ "කුළුම්බියංගණ" ගම ගැන මේ මහ තෙරිඳුන් විවාද නගමින් යන රථයේ මම ගියේ සිහින දකිමින්ය. එතැනින් පටන් ගත් වේළු සුමන දකින සිහිනය ජීවිතය වෙලාගෙන තවමත් නොසිදෙන ශාස්ත්‍ර පිපාසිත හැඟුමක්ය. විටෙක එය භාව හැගීම් වලින් මෝදු වන්නේ සිනමා සිතුවමක් සේය. එබැවින් වේළු සුමන දකින සිහින ගංගාවේ කිමිදී කිමිදී ජීවන ලාලාසාවේ වෙලි වෙලී වේලු සමගම ගමන් ගන්න වූයේ ඔහොමය.
වේළු සුමන, දුටු ගැමුණු කුමරු උපදින්න මත්තෙන් උපන්නෙකි. ඔහු දුටුගැමුණු කුමරුගේ අයියා වූ දිඝාභය කුමරු හා හෘද බැදුමෙන් බැදුනු ජවාධිකයෙකි. අධිසාන්ද්‍රණමය පුරුෂයෙකි. තුරඟ වංශිකයෙකි. එසේ මෙසේ කටයුත්තක් නොව ඔහු භාර ගත්තේ වසර 44 ක් ලක් වාසීන් කිසිඳු ප්‍රතික්‍රියාවක් නොදැක් වූ එළාර රජුගේ විජිතයටම ගොස් ඔහුගේ ප්‍රධාන සෙනෙවියාගේ හිස ගෙන ඒමේ අභියෝගයය. වේලු සුමන එය භාර ගෙන ඉතිහාසයේ මුදුනට නැගුනෙකි. එවිට එළාර රජුගේ ප්‍රධාන සෙනෙවියාගේ හිස සිඳගෙන ඒම සමඟ ඔහුට පැවරෙන්නේ විහාර මහා දේවියට ඇතිවු තුන්වන දොල දුකද විසදා ගැනීමේ මෙහෙවරය. එනම් අනුරාධපු තිසා වැව පාමුල නිල් උපුල් කෙතෙන් නීල මානෙල් පුෂ්ප නෙලා ගෙන ඒමය. මේ කරුණු දෙකම එකට ඉටුකරගෙන උදා ඉර බැස යන්නට පෙර මාගමට ආ යුතුය. ඒ සඳහා සුදුස්සා වේළු සුමනම විය. මන්ද ඔහු තුරඟ වංශික අති ධාවන වේග ඇති අධිසාන්ද්‍රීය පුරුෂ වංශිකයෙකි. ඒත් එළාර රජුගේ මහසෙනවි නන්ද සාරථීගේ හිස සිඳ දැමීම සඳහා ඔහුට ලං වන්නේ කෙසේද.
වේළු සුමන ඒ සඳහා පළමුව මිතුරු කර ගන්නේ එළාර මහ රජුගේ බලගතු රාජකීය අශ්වයා වූ වාහන ය. වාහන නමින් නම් ලද රාජ්‍ය රාජකීය අශ්වයා වෙත ඔහු ලංවූයේ කෙසේද. ඒ ලංවීම සිදු කරගනිමින් වාහන අශ්වයාගේ අස් ගොව්වා හා වෙලී බැදෙන්නේ අමුතු බැදීමකි. දැන් මාගේ පිපාසය තවත් ඇවිලී ගියේය.
1998 වසර උදා වූයේය. මහ තෙරිඳු කඹුරුපිටියේ වනරතන හිමි ස්වකීය ජීවන සුසුම් මුදා හරින්නේ මේ වසරේ නොවැම්බරයේය. මනා සිහිණුවනින් උන් වහන්සේ නික්ම යන්නේ වේළු සුමන ගැන තාම සොයනවාදැයි අසමින්ය. මම "එහෙමයි මහානායක හාමුදුරුවනේ"යැයි කීවේය. වන්නියේ තමයි එක රහසක් තිබෙන්නෙ උන් වහන්සේ මුමුණා කීවේය. එසේ නම් හෙලි නොකලේ මන්දැයි මම විමසීය. සොයන්න යන්න ප්‍රභාකරන් ඉඩ නොදේවි.... යැයි උන් වහන්සේ කීවේය. ඒ දෙබස් සිදු වීමෙන් පසු උන් වහන්සේ කිරි හොදි සමඟ බත් පිඩක් වළදා මදක් ඇල වූයේය. පැයක් විතර නින්ද ගිය පසු කුටියයේම අවසන් හුස්ම හෙළා නික්ම වැඩිය මහ තෙරිඳුය.
මම මම සමඟ මුමුණන්නේ තවමත් ඒ වදන් වලය. වන්නියට ගියේ වේලු ගැන තතු සොයා ගෙනය. ඒ වඩා දිගු කතා මන බදින කතාය. ජීව භාව රසාලිප්තයේ ජීවාලංකාරයකි. ලියා තැබිය යුතු දිග කථාවකි. ලියන්න අවැසිය. ලිවිය යුතුය.
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම