මන්ද ලංකාවේ දේශපාලනය සමාජය, සදාචාරය යන සංකල්ප සියල්ල තනා ගෙන ඇත්තේ බටහිර විරෝධී කතානුසාරයෙන්ය. මෙම කරුණ මතක සිහියට කැඳවුයේ වේලු සුමන නම් තීරකයාගේ කතාවට ද මෙය බලපාන නිසාය. එම නිසා ඔහුගේ භූමිකාව එළාර - දුටු ගැමුණු යුද්ධයෙන් එපිට ද මෙපිට ද කැඳවා ගත යුතු කතාවකි. ඒ කතාවත සොයා ගෙන ඔකඳ වැල්ලෙන් කිරින්ද වැල්ලට ද කිරින්ද වැල්ලෙන් යළි පොතුවිල් වැල්ලට ද ආවේ එබැවිනි.
ලංකා වංශ කතාවේ ජාන සුසැඳිය ගැන එබී බලමින් යා යුතුය. එලෙස ජාන ජාලයේ ඇවිදන් යන විට හමුවන මනරම් විත්තියක් වේ. ඒ විත්තිය නම් තුරඟ වංශිකයන්ගේ කතාවය. අශ්වයන් නිසා ලෝකය ලියා ඇත්තේ දිග කතාවක්ය. ඒ කතාවට බැඳෙන ලංකා පුත්‍රයන්ගේ ජානයට ලංකාවේ ලද නාමය තුරඟ වංශිකයන් යන්න ය. එය වෙළඹ වංශය නමින් ස්ත්‍රී වාචික ද වී සමාන ධ්වනිත දෙකකින් පැතිර ගොස් තිබේ. එවිට තුරඟ වංශය සේම වෙළඹ වංශය සේ මෙම නම් දෙක ස්ත්‍රී වාචික හා පුරුෂ වාචික ධ්වනිතයෙන් නාමකරණ වුයේ ඇයි ද. මෙම විමසුම ඇති කරන්නේ රාසාලිප්ත හැඟුම්ය. මෙම හැඟුම් කරුණු දිගේ ගිය පර්යේෂණය විසින් යළිත් මාගේ අබිමුඛ වනුයේ වේලු සුමනය. වේලු සුමනට මත්තෙන් පණ්ඩුකාභය කුමරුට පෙම් බැඳි හා සබැඳි බහු අරගල යුවතිය "චේති" නම් වෙළඹියය.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ තීරක දේශපාලන සංධිස්ථාන දෙක වන්නේ පණ්ඩුකාභය නිරිඳුන්ගේ බහුවර්ණ උදානය හා දුටුගැමුණු නිරඳුන්ගේ ජාතික උදානයයි. මේ දෙක මැද තුරඟයින් හා වෙළඹන් ස්ථානගත වන්නේ පුදුම සහගත ලෙසය. අශ්වයා ගමනාගමනය යුද්ධය හා බලය මෙන්ම විලාසිතාව සහ මනෝරාජිකත්වය මෙන්ම ශෘංගාරාත්මක රාගභාවීය සංකේතයක් ය. එය දේශ දීප, ජාති ආගම් අභිභවා ගිය පොදු මානවීය භාවයකි. සිද්ධාර්ථ කුමරුගේ කන්ථක අශ්වයාගේ සිට ලාංකීක ජන විඥාණයේ එන සියලු මානව වීරයන්ගේ ජීවන ලලාසාවේ තබා රැක රචනා කරන්නේ මේ භාවයය. එමෙන්ම තුරඟා සඳකඩ පහනේ ද දේශයේ අන්‍යනතා ධජවලට සිංහයා අලියා සමඟ සම පෙළ ගෞරව ලබයි. මේ සියල්ල පෙන්නන්නේ තුරඟයන් මත ජාන ගත වු තුරඟ වංශිකයන්ගේ පැතීරීමය.
එවිට වර්තමානයේ යාන වාහන මෝටර් රථ සේ එකළ අශ්වයා සමඟ පැතිර යන්නේ මෙහි උරුමකරුවන් වු යවන ශ්‍රීක මැසිඩෝනියා ආර්යයන්ය. යවනයන් ලංකාවේ ජාන පද්ධතිය වෙත ආරෝපණය වු විට ඔවුන්ට ලැබෙන දේශීය නාමය තුරඟන්, වෙළඹයන් යන්න ය. මේ තුරඟන්ගේ සිරුර රිද්මයානුකූල අලංකාරය හා ක්‍රීඩාශීලි සිරුරෙහි මන බන්ධනීය බව නිසා ඔවුන් කැපී පෙනේ. එමෙන්ම තුරඟයන් අශ්වයන් නිසා සමාජ හැඟුම්කරණ අධිනිශ්චය වේ. එහි අනෙක් පස ලෙස ඔවුන් රාජ්‍යයයේහි තීරකයන් වේ. යවනයන්ගේ මේ ආගමනය මෙසේ වන විට ඔවුන් වෙළඹන් සේ ස්ත්‍රී වාචික අර්ථයේ වෙනම ස්ථාන ගත වන්නේ පුරුෂ රිද්මවාදයේ අනෙක් පාර්ශවය ලෙසය. එත් එය වෙනත් ජාන වංශ අතර නොවන තත්ත්වයකි. සිංහ වංශිකයන් සිංහ වංශය ලෙස වෙනම ස්ත්‍රී අනන්‍යතාවයක් දරා නැත. එය නාග, දේව ,රාක්ෂ සේම ගොවි, කරා , දුරා, සාලි, පදු ආදී කුල දක්වා කතාවකි.
එසේ නම් තුරඟ වංශය හා වෙළඹ වංශය ලෙස මෙම වංශය ද්වීරාගී භාෂා අරුතක් සේ දිශා ගත කළේ මන්ද. එය දිගු කතාවකි. ඉතිහාසය යනු එක තතුවැකියකින් බලා නිර්මාණය කර අවසන් කළ හැකි විෂයයක් නොවේ. එය තතු විත්ති ප්‍රභවයන් විසින් තවත් බෙහෝ තැන් වලට අප රැගෙන යන විෂයය. ඉතින් මම තුරඟ වංශය සොයා ගිය ගමනට වෙළඹ වංශය ඈදුනේ ඒකය. කොහොමත් වේලු සුමන නිසා ද සුරනිමල නිසා ද පුරුෂ අජානයින් සොයා යන්න හේතුවක් මතුව තිබුණි. ඒ අතර, චේති වෙළඹිය නිසා එය ස්ත්‍රී රූපයකින් ද්වීසරාඟිව තිබු ඥාණ භාව පර්යේෂණයෙකි.
අශ්වයන්, ආනයනය වන්නේ යවන මැසිඩෝනියා වෙළඳ නාවිකයන් හරහාය. යවනයන්ගේ දේශපාලනයත් ලංකාවේ අනුරාධපුර යුගයේ සිට පැවති අතර, අශ්වයන් ආනයනය වන්නේ යවන පුරුෂ ස්ත්‍රීන්ගේ ආගමනය සමඟය. ලාංකීක රාජ්‍ය ප්‍රවාහයෙහි විසිතුරුවේ මුලට යවනයන් යා වන්නේ මේ විදියටය. ඔවුන්ට බැඳෙන ලංකා නුරාවේ රාග බැඳීම් සමඟ ඔවුනගේ ජාන වංශය තුරඟ හා වෙළඹ වශයෙන් උත්ප්‍රේරණය වේ. ලංකා ජන සමාජයට උත්තරාරෝපිත වු තුරඟ කතාව වේලු සුමන ළඟට ඇවිත් නතර කර තබන්නේ මන්ද. භාරතයන්ගෙන් පැවත එන වංශ කතාව දිගටම ලියා තබා උත්කර්ශයට නංවා ගත් දේශීය චින්තකයන් අපරදිග බැදීම මකා දැම්මේ මන්ද. ලියමි. ලියාතබමි. වේලුගෙන් පැවත එන්නේ ඒ දිග කතාවමය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී