(ප්‍රේම් ගේ 'ප්‍රේම පුරාණය' අද (අගෝස්තු 25) එළිදකී)


ජනරංජන :
තමන්ම ලියන චරිතකතාවල වැඩියෙන් තියෙන්නේ කයිවාරු සහ පුරසාරම්. සමහර දේවල් උවමනාවෙන්ම වසං කරනවා.. ඔබේ "ප්‍රේම පුරාණය" අයිතිවෙන්නේ මොන ඝනයට ද?

ප්‍රේම් :

මගේ ජිවිතයේ තියෙන හුඟක් සිදුවීම් මිනිහෙකුට වෙන්න බැරි අසාමාන්‍ය දේවල්. ඒක ගැහැට කරදර මැද්දේ ආ ගමනක්. ඒ ගැන දන්න මගේ මිත්‍රයෝ හුඟාක් කාලයක් ඉඳලා කිව්වා මේක පොතකට ලියන්න කියලා.. ඒ ඉල්ලීම මම අවුරුදු 30 ක් තිස්සේ සූක්ෂම විදිහට මගහරිමින් හිටියා .මගේ ජීවිත කතාව කවුරුහරි පූර්වාදර්ශයකට ගත්තොත් එහෙම විශාල අමාරුවකට හා අපහසුතාවයකට ලක්වෙන නිසායි ලියන්න හුඟක් දුරට මගහැරියේ. නමුත් බොහෝ දෙනා කිව්වේ මේ කතාවේ තියන උත්සාහවන්ත කමයි. ධෛර්යවන්තකමයි. ප්‍රශ්නයකදී අධිෂ්ඨානශීලීව නැගී සිටින්නේ කොහොමද? කියන එකයි ඇතුලේ විශාල කතන්තරයක් තියෙනවා. ඒක වැදගත් කියලා. ඒත් මම මගහරිමින් හිටියා. ඒ අතර මට හදිසි හදවත් සැත්කමකට මුහුණ දෙන්න සිදුවුණා. එහිදී ජිවිතේ කවදාවත් ලැබෙන්නේ නැති අමුත්තන්ගේ තොර හුදෙකලා විවේක කාලයක් ලැබුනා.

මගේ සමීපතම මිතුරු කුලරත්න ආරියවංශ කළ ඉල්ලීමක් මත හිතුනා නිකන් ඉන්න වෙලාවෙ මේක සටහන් කරන්න ඕනෑය කියලා. මගේ ජීවිතයේ නීත්‍යානුකූල සහ සදාචාරාත්මක එළි දක්වන්න පුළුවන් සීමාව ඇතුළෙ සියල්ල එළිදරව් කරලා තියෙනවා. ඉන් බැහැර දේවලුත් තියෙනවා. ඒවා සමාජයට වැදගත් නැහැ. සමහර දේවල් මගේ එක්කම සදාතනිකව ම රහස් හැටියට තියෙන දේවල්. 

Frame නොකළ ප්‍රේම්ගේ ලෝකය: ප්‍රේම් ගේ 'ප්‍රේම පුරාණය' අගෝ. 25 එළිදකී
ජනරංජන :
මගේ සිත් ගත් කොටස තමයි, පත්තර කලාව ගැන ඔබේ දායකත්වය. හරියටම කිව්වොත් පත්තරයක රූපය ඒ කියන්නේ පිටු සැලසුම් ගැන ඔබ දක්වා තිබෙන විශේෂත්වය. ඒක ඒ විෂය ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට වැදගත් මතකයක්. 

ප්‍රේම් :
මගේ අධ්‍යාපනය තිබුණේ විද්‍යා අංශයෙන්. සාහිත්‍ය අතිරේක විෂයක් හැටියට තිබුණා. සාහිත්‍යය උගන්වපු ගුරුවරයා කොටලා පොවලා කවලා ඇඟට සාහිත්‍යය ජීරණය කළ නිසා ඒ තිබුණු උනන්දුව මත මම ඉගෙනගන්න ගමන්ම පත්තර වලට ලියන්න පටන් ගත්තා. මට පොඩි දේශපාලන උණත් සහ වාමාංශික නැඹුරුවක් තිබුණා ඒ දවස්වල ඉඳලම. ඉතින් මම ලියන්න ගත්තෙ දේශපාලන පත්තර වලට. එයින් ප්‍රධානම එක තමයි "ඇත්ත" පත්තරය. ඇත්තේ මගේ ලිපියක් දෙකක් පල වෙනවමයි සතියකට. ඒවා පවතින ආණ්ඩුව සහ ජනතා විරෝධී ආයතන විවේචනයට  ලක් කළ, දරුණු කර්කශ මට්ටමේ ලිපි. 

උසස් පෙළ සමත් වීමෙන් පස්සේ ජීවිතයේ ඉදිරි අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න කඩයිමේදී මම අධ්‍යාපනය පැත්ත ඉවත දාලා අනෙක් පැත්තට හැරෙනවා. ඒකත් එක්ක තමයි පත්තර වලට සම්බන්ධ වෙන්නේ. ඇත්ත පත්තරේට ගියාම මට රස්සාව හම්බවෙනවා. එතනදි ලේඛකයෙක් හැටියටත්, චිත්‍ර ශිල්පියෙක් හැටියටත් වැඩ කරනවා. ඒක පත්තර වල පිටු සැලසුම් ගැන එච්චර උනන්දුවක් තිබුණ කාලයක් නෙවෙයි. ඒවා ඔක්කොම කළේ බාසුන්නැහේ. මුද්‍රණාලයේ හිටි හෙඩ් බාස් තමයි කොටුවක් ඇතුලේ ඊයම් අකුරු ටික පුරවලා දැම්මේ. පත්තරේ හෙඩිම කට හා ලිපියට අදාල වෙනස් අකුරු ඒ කියන්නේ විචිත්‍ර කරන අකුරු තිබුණේ නැහැ එතකොට. ලංකාවේ ඒවැඩේට අනුගාමී වෙච්ච එක්කෙනෙක් තමයි මොටාගෙදර වනිගරත්න. ඔහු තමයි පත්තර වල විචිත්‍ර කරණයේ මූලිකයා. ඔහුත් මේ පත්තරේ වැඩ කරා. ඒ වැඩ දකිනකොට ඒ පිළිබදවත් මට උනන්දුවක් ඇති වුණා. 

atta
නරංජන :
මට මතක විදියට ඇත්ත පත්තරේ ප්‍රධාන සිරස්තලය සඳහා අකුරු ඇන්දෙත් මොටාගෙදර.

ප්‍රේම් :

10451846 1405563469773248 5901860649484692155 nචිත්‍ර ශිල්පි මොටාගෙදරletterpress තාක්ෂණය අනුව ඒ කාලයේ තිබුණේ අකුරු ඇඳලා බ්ලොක් එකක් කපන එකයි. නමුත් මොටාගෙදර අකුරු සෙට් හැදුවා. මුද්‍රණ අකුරු වල තියෙන හැම අකුරකටම එයා අතින් ඇඳලා ලී අකුරු හැදුවා. එතකොට මුද්‍රණ ශිල්පියාට තියෙන්නෙ අකුරු ටික එකතු කරලා හෙඩිම හදාගන්නයි. මොටාගෙදර මේ සඳහා ඉතා විශාල පරිශ්‍රමයක් දැරුවා. කියත් මිටි කපන කටු යොදාගෙන එයා නිදහසේ ඉන්න වෙලාවට අකුරු කැපුවා. ඒක "මෝටා ටයිප් " අකුර හැටියට  ඒ දවස්වල දන්න කියන අය අතරෙ භාවිතා වුණා. අද මොටාගෙදර ගේ මූලික අකුරු මෝස්තරය පරිගණකය දක්වා ඇවිල්ල තියෙනවා. මම බොහොම නිර්ව්‍යාජව කියනවා මේ ක්ෂේත්‍රයේ මොටාගෙදර කියන්නේ විශ්වකර්මයෙක් කියලා. 

මං එක දිගට එක දෙයක එල්බ ගත්ත මිනිහෙක් නෙවෙයි. මම බොහෝ දේවල් අල්ල ගන්නවාට වඩා වේගයෙන් අතහරිනවා. ඒ අතාරින්නේ තවත් දෙයක් අල්ලගෙන නෙවෙයි. ඒ නිසා මගේ ජීවිතේ ඒ කාලයේ ගෙවුනෙ බොහිමියානු කෙනෙක් වාගේ නිකං නන්නත්තාර ජීවිතයක් හැටියට. සමහර දේවල් අතහැරියාට පස්සේ  මම ගොඩක් දුක් වින්දා තව දෙයක් අල්ල ගන්නකං. ඔය අතරේ 1978 විතර ලංකාවට කැසට් කර්මාන්තය එනවා. තරංගා ලේබලය යටතේ විජය රාමනායක තමයි කැසට් ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඒකේ කැසට් කවර නිර්මාණය කරන්න පැවරෙන්නේ මට. කැසට් කවරයේ නම,  ශිල්පියාගේ නම යෙදීම, ඡායාරූප සංස්කරණය සහ වර්ණ ගැන්වීම ආදී සියලු දේවල් අපිට හරි ආධුනිකයි.  ඒ වෙනකොට ලංකාවේ වර්ණ මුද්‍රණය පටන් අරගෙන තිබුණේ නැහැ. සියල්ල සිදුවුණේ සිංගප්පූරුවේ. මම මුද්‍රණ අකුරු භාවිතා කළේ සින්දු title ටිකටයි, ශිල්පීන්ගේ නම් වලටයි විතරයි.  අනික් සියළුම දේවල් අතින් අකුරු ඇන්දා. මේ හැම නිර්මාණයකටම එකකට එකක් වෙනස් අකුරු නිර්මාණ ඕනෑ වෙනවා.  ඒ අනුව මගේ අතින් විශාල විවිධ හැඩතල වල අකුරු නිර්මාණය වුණා. ඊට පස්සේ මම පටන් ගත්ත සිනමා පත්තර වලටත් මගේ විචිත්‍ර ම ය අකුරු භාවිතා කරන්න උනන්දු වුණා, ඒ අකුරු වලට මිනිසුන්ගේ ආකර්ෂණයක් ඉල්ලීමක් තිබුන නිසා. 

ජනරංජන :
අකුරු ඇඳීම වෙනම හැකියාවක්. හැමෝටම ඒක කරන්න බැහැ. ඒ හුරුව කොහෙන්ද එන්නේ? 

Frame නොකළ ප්‍රේම්ගේ ලෝකය: ප්‍රේම් ගේ 'ප්‍රේම පුරාණය' අගෝ. 25 එළිදකී

ප්‍රේම් :
ඒක අහම්බයක් වෙන්න ඕනෑ. මම කුඩා කාලේ ඔය මූලික අත්වැල සපයන්න ඇත්තේ මගේ අම්මා. අම්මාගේ අකුරු ඉතාම ලස්සනයි. එයාට හැඩට ලියන්න පුළුවන්. ඒ දවස් වල ලංකාදීප පත්තරේ තිබුනා ලස්සන අත් අකුරු තරගය කියලා එකක්. එතකොට මහානාම දිසානායක ද කොහෙදයි කර්තෘ.  අම්මගේ ආභාෂයට මගෙත් අකුරු ලස්සනයි. මම පහේ පන්තියේ අධ්‍යාපනය ලබන කොට අම්මා මගේ අකුරු පිටපතක් ලංකාදීපෙට යැව්වා. ඒ තරඟයෙන් මම දෙවෙනියාට ආවා. මට හම්බවුණා පාකර් පනස්දෙක උල්පත් පෑනක්. ඒ කාලයේ හොඳම තෑග්ගක් ඒක. ඒ කාලේ sunlight ආවේ ලොකු පකිස් පෙට්ටිවල. එකේ ගහලා තියෙන සන්ලයිට් අකුරු මම වෙන කොල වල අඳිනවා. ඔය විදිහට අකුරු අඳින්න ඉගෙන ගත්තා. ගුරුවරයෙක් හිටියේ නෑනේ, මොකක් හරි ඔළුවට අරගෙන ඒක අනුගමනය කරනවා. 

ජනරංජන :
රසඳුන හා විචිත්‍ර නමින් ඔබ කළ කලා පුවත්පත්වල කැපී පෙනුණු ලක්ෂණයක් උනේ ඒවායේ පිටු සැළසුමේ තිබුණු ඉහළ ප්‍රමිතිය. ඒක ගැන අවධානය යොමු වන්නේ කොහොමද? 

ප්‍රේම් :
රසඳුන වුණත් පිටු සැලසුම් කලාවෙ පොඩි වෙනස්කමක් කළා. ඒ ගැන ආන්දෝලනය කුත් ඇති වුණා මේ ක්ෂේත්‍රය තුළ. ලිපියක් පිටුවේ යොදන කොට පාඨකයාගේ ඇහැ ඇදලා ගන්න ආකර්ෂණීයව යොදන්න මට හිතුනා. පිටුවෙන් පිටුවට මම හිතුවක්කාර වැඩ කළා. ඒවා පැවතුණු සම්ප්‍රදායන් අනුව නොවෙයි ඊට එරෙහි වුණ දේවල්. 

එතකොට ආචාර්ය සරත් අමුණුගම හිටියේ පැරීසියේ. එයා එහෙදි මේ පත්තරයක් දැකලා උත්තේජනය වෙලා මට ආරාධනා කළා පත්තරයක් කරන්න. මං පසුබාලා ඉන්නකොට, නැවතත් කියලා තමයි විචිත්‍ර පත්තරය පටන් ගත්නේ. විචිත්‍ර පත්තරේ දී  රසඳුන ටත් එහා ගිහින් පිටු සැලසුම් කරන්න පටන් ගත්තා. ඒ දවස් වල කලා පත්තර වල සිරිත, කලා ශිල්පියකුගේ ඡායාරූපයක් මුල් පිටුවට දානවා නම් , මේ අහවලා කියලා නම දාන එක විතරයි. මම ඊට එහා ගිහින්  ශිල්පියාට අදාල පොඩි කවරයේ කතාවකුත් දැම්මා. 

ඇමරිකන් ජෝති සහ ලංකා එල්විස් සමාන්තර ජන පතාකයෝ - (දිලීප අබේසේකර)ජෝතිපාල කියන ගායකයාට ඒ කාලයේ සමාජයේ තිබුණේ ඉතාම අවර ගණයේ සැලකීමක්. ඔහු උසස් සමාජයට වැද්ද ගන්න සුදුසු නැති පුද්ගලයෙකු හැටියටයි සැලකුවේ. නමුත් ජෝතිපාල මිය ගිය වෙලාවේ මම ජෝතිපාල වෙනුවෙන් විශේෂ උපහාර කලාපයක් කළා. කොළඹ කනත්ත දෙදරවන තරමට විශාල පිරිසක් ජෝතිපාලගෙ මරණයට ආවා. මෙතැනදී තමයි අපේ රටේ මිනිසුන්ගේ ඇස් පොඩ්ඩක් ඇරුනේ. ආචාර්ය සරත් අමුණුගම මේ සිද්ධිය අළලා විචිත්‍ර පත්තරයට ලිපියක් ලිව්වා. " බිඳවැටුණ සංස්කෘතික බල කණුව" කියලා. ජෝතිපාලගෙ දායකත්වය හරහා ලංකාවේ බිහි වෙමින් පවතින නව සංස්කෘතියක් පිළිබඳව උපකල්පනය කරමින් ඒක ලිව්වේ. මේ ලිපිය විචාරයට හා විවේචනයට ලක්වුණා. ආචාර්ය සරත්චන්ද්‍ර,  සුනිල් විජේසිරිවර්ධන, සයිමන් නවගත්තේගම,  අජිත් සමරනායක යනාදී  විශාල පිරිසක්  මේකට පක්ෂව සහ විපක්ෂව ලිපි ලිව්වා. මේ පොඩි පත්තරෙන් පටන් ගත්ත කතාව ජාතික තලයේ ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත් වල සංවාදයක් බවට පත්වුණා. ඒක හරහා තමයි ජෝතිපාල සංස්කෘතික වීරයෙක් විදියට මිනිසුන්ගේ හදවත් තුල බෞතිස්ම කෙරුණේ. ඊට පස්සේ තමයි කොළඹ හතේ මිනිසුන්ටත් ජෝතිපාලගේ එල්පී රෙකෝඩ් ගෙදර කරකවන්න සිද්ද උනේ. අද ජෝතිපාල නැතුව බැරි කෙනෙක් වෙලා තියෙනවා ලංකාවෙ හැමෝටම. නමුත් ජෝතිපාලට සංස්කෘතිමය වශයෙන් ඒ වටිනාකම ලැබුණේ විචිත්‍ර පත්තරය හරහා. ඒක ඒ වෙලාවේ අපට කරන්න පුළුවන් වෙච්ච ලොකු විප්ලවයක්. 

ඒ කාලයේ විචිත්‍ර, පත්තරයක් කඩෙන් ගත්ත ම වෙන කාටවත් බලන්න දෙන්නේ වත් නැතුව ආරක්ෂා කරලා එකතු කරන තරමේ ඇල්මක් ආශාවක් අපට තිබුණා. ඒකට පිටු සැලසුම් වගේම කළු සුදු වර්ණවල ගැලපීමත් හේතු වුණා. 

මම හිතන්නේ ගොඩක් අයට අහුවෙන්නේ නැති දෙයක් තමයි මේ කළු සුදු වර්ණ දෙක අතර නිර්මාණ ශිල්පියෙක් සැරිසරන්නේ කොහොමද කියන එක. 

තාක්ෂණික වශයෙන් සහ ආර්ථික වශයෙන් අපහසුකම් තියන වෙලාවට ශිල්පියෙක් තමන්ට තියෙන පහසුකම් සීමාවේ තමන්ගේ නිර්මාණය කරන්න දැනගන්න ඕන. අඩුම පහසුකම් යටතේ වැඩිම කලඑළියක් නිර්මාණය හරහා ගන්නේ කොහොමද යන එක තමයි නිර්මාණ ශිල්පියෙකුගේ තියෙන විචක්ෂණභාවය හා කුසලතාව. නිර්මාණයක් කියන්නේ පවතින දේට වඩා වෙනත් දෙයක්. කළු වාරණයේ තියෙනවා අපිට වෙන්කර ගන්න පුළුවන් වර්ණ පදාසයන් දහයක් විතර. කළු කියන්නේ එක වර්ණයක් ය විතරක් කියලා හිතුවොත් අපිට එයින් එහා නිර්මාණයකට ගෙනියන්න බැහැ. වර්ණය ඇතුලෙ තියෙන විභේදනය තේරුම් ගන්න පුළුවන් නම් අපිට ඒක ඇතුළේ  සෙල්ලම් කරන්න පුළුවන්. ඒක නිර්මාණ ශිල්පියාගේ පරිණතභාවයක් එක්ක ඇතිවන දෙයක්. 


ජනරංජන :
ඔබ ජෝතිපාල ගැන කිව්වනේ, ඊළඟට විචිත්‍ර පත්තරෙන් විශාල ආන්දෝලනයක් කෙරුනේ තරුණ නිළියකව සිටි රමණි බර්තෝලමියුස් ගේ හදිසි මරනයේදී, මට මතකයි ඊට අදාළ විචිත්‍ර කලාපයේ කවරයෙ සම්පූර්ණයෙන්ම තිබුණේ රමණීය ගේ මුහුණේ ටයිට් closeup හෙවත් ඉතාම සමීප වර්ණ ඡායාරූපයක්. 

ප්‍රේම් :
රමණි ගේ මරණය හරිම ආන්දෝලනාත්මක එකක්. ඇය මෙලොව හැර යන මොහොතේ මං ඇතුළු අපි කට්ටිය බලා හිටියා ඊට මෙහායින් වීදුරු කවුළුවකින්. මේ කම්පනය එක්කම එදා රෑ මම රමණි ගැන ලිපියක් ලිව්වා පිටු දෙකක. " දසත සුවඳ වත් කර මුකුලිත පියුම" නමින්, ලිපියේ තිබුණු කරුණු කාරණා ඉතාම සංවේදීයි. මමත් හරිම හැඟීම් බරවයි ලිපිය ලිව්වේ. මේකට හරියන ඡායාරූප විශාල ප්‍රමාණයක් අපි ළඟ තිබුණේ නැහැ. නමුත් රැලෙක්ස් රණසිංහ වෙන වැඩකට ගත්තු ඡායාරූපයක් තිබුණා. මට ඕනෑ කලා රමණි ගේ මරණයත් එක්ක කම්පා වෙච්ච මිනිස්සුන්ට රමණී ජීවමානව තමන් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් ඇති කරන්න. ඒකට තමයි ඉතාම සමීප මුහුණේ ඡායාරූපයක් සංස්කරණය කරලා පළ කළේ. අපිට සිද්ද වුනා ඒ පත්තරේ තුන් සැරයක් මුද්‍රණය කරන්න. 

ජනරංජන :
ඔබේ පත්තර කලාව තුළ ඡායාරූප ගැන සෑහෙන අවධානයක් දක්වනවා. 

ප්‍රේම් :
මම වැඩක් කරනවා කියලා ආරංචියට බොහොම දෙනෙක් මට සහයෝගය දක්වන්න ස්වෙච්ඡාවෙන් එළඹුණා. වෘත්තීමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් නොවෙයි. හොඳ නිර්මාණයකට එකතු වෙනවා කියන හැඟීමෙන් . රැලෙක්ස් අඩුම තාක්ෂණික මේවලම් පාවිච්චි කරලා වැඩිම නිර්මාණශීලීත්වයක් ප්‍රකට කළ ශිල්පියෙක්. විශාල කැමරා හෝ ආලෝක උපකරණ එයා පාවිච්චි කළේ නෑ. ස්වාභාවික ආලෝකයෙන් තමයි බොහෝවිට නිරිමාණ කළේ. එයාගෙ පරණ එකතු වේ තිබිච්ච ඡායාරූප මම පාවිච්චි කරන්න ඉල්ලා ගත්තා. සමහර අවස්ථාවලදී අලුතෙන් පත්තරේට ඡායාරූප ගැනීමටත් දායක වුණා. රැලෙක්ස් කියන්නේ තමන්ට ඡායාරූප ගන්න තත්පරෙන් සීයෙන් පංගු ප්‍රමාණයක් තිබුණම ඇති කියලා. ඒ තරම් වේගයෙන් ඡායාරූපයක් සංරචනය කරන්න එයාට පුදුම ඉවක් තියෙනවා. රැලෙක්ස්ට අමතරව පීයූඩී පෙරේරා, අතුල මහවලගේ , තිලක් රත්නායක ඇතුළු ශිල්පීන් . මගේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණා. 

Frame නොකළ ප්‍රේම්ගේ ලෝකය: ප්‍රේම් ගේ 'ප්‍රේම පුරාණය' අගෝ. 25 එළිදකී
ජනරංජන :
ඔබේ දායකත්වය ලංකාවේ පත්තර කලා ඉතිහාසයේ පදාසයක් නියෝජනය කරනවා කියලයි මම හිතන්නේ. ඒ වැඩේ කළ ඔබට ඉතිහාසයේ හිමි උන තැන ගැන අද තක්සේරුව මොකක්ද?

ප්‍රේම් :

මගේ වෘත්තිමය දේවල් සම්බන්ධයෙන් අවසාන ඉලක්කයක් දක්වා යන්න මට ඕනෑ කමක් තිබුණේ නැහැ. ඇත්තටම මම වැඩ කළේ මගේ තාවකාලික අවශ්‍යතාවන් සඳහා පමණයි. එක එක ක්ෂේත්‍ර වල වෘත්තීන් රාශියක් මම අතහරින්නේ ඒකයි. මම ගුරු වෘත්තියට ගිහිල්ලා පීරියඩ් තුනක් උගන්වලා ගෙදර එනවා. මගේ ජීවන චරිතය කවුරු හරි ආදර්ශයට ගත්තොත් ඒ මනුස්සයාට දෙවියන්ගේ පිහිටයි. මගේ ගේ විකුණලා යන්න දිහාවක් නැති ව මම මහ පාරට බහිනවා. මිනිසුන්ට පඩි ගෙවලා මගේ අතේ රුපියල් දෙකක් තියාගෙන පයින් ගෙදර ආවා කෙනෙක් මම. ගෙදර යන්න බස් එකට සල්ලි නැහැ. ඒවා කවදාවත් පූර්වාදර්ශයට ගන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ විදිහට දීර්ඝ සැලසුම් ඇතිව මම ජීවිතේ කිසි දෙයක් කරලා නැහැ. 

මම ලංකාවේ හැම පත්තරයකම වගේ වැඩ කරලා ඉවත් වුණේ නැතිනම්, අද මම වෘත්තීය ලේඛකයෙක් හරි වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් හරි වෙනවා. නැත්නම් පැන්ෂන් ගිය ගුරුවරයෙක් වෙනවා. ඉතින් මගේ ජීවිතේ එතැනින්ම නතර වෙනවා නේ. ඒ අත්හැරීම තුළ තමයි මේ දක්වා පවතින ජීවිතයට මට එන්න හම්බ වෙන්නේ. මිනිසුන්ගෙන් ලැබෙන උත්තේජන හරහා, ඒකෙන් මං මුලා වෙලා, මන්මත් වෙලා ඒවායේ දිගටම මම යන්නෙත් නැහැ. 

ඒ විදියට බොහොම නිර්මානාත්මක දේවල් තියෙනවා. මගේ අතරමග කඩා වැටිච්ච. හැබැයි ඉතින් මම වෙනත් දෙයකින් මතුවෙනවා. 

ජනරංජන :
ඒ කියන්නේ ඔය පත්තර වැඩෙත්. 

ප්‍රේම් :
"ඔව් ඔව් එදා එදා වේල ටුවර්ස් " 

ජනරංජන :
අදත් ජීවිත දර්ශනය ඒකමද 

ප්‍රේම් :
මං දැන් ජීවිතේ අත්හරින්න සූදානම් වෙලා ඉන්න මනුස්සයෙක් නේ. ඒ නිසා දැන් සෙල්ලම් කරන්න බැහැ. ඉන්න තැන පරිස්සමෙන් ඉන්න දෙයක් කරගෙන ඉන්නවා හැරෙන්න. මම විවිධ දේවල් අත් හැරලා දැම්මට පස්සේ ස්ථාවරභාවයට පත් උනා නේ. මට තව ජය ගන්න දෙයක් නැහැ. වෘත්තීමය වශයෙනුත් පවුල් පසුබිම පැත්තෙනුත් හැම පැත්තෙන්ම මම තෘප්තිමත්. දැන් අපි ලොකුම අත්හැරීමත් කරන්න ලගින් ඉන්න නිසා, හිතුවක්කාර වැඩ නොකර පොඩ්ඩක් තැන්පත් වෙලා ඉන්නවා. 

4 3 35
හෘදය සැත්කම නොවුනානම් මේ පොත කවදාවත් එළියට එන්නේ නැහැ සැත්කමකට පස්සේ රෝගියෙක් සාත්තු සේවකයා හෝ අනිත් අය කියන දේ අහන්න කීකරු වෙනවා සහ අසරණ වෙනවා. තමන්ගේ තියෙන පෞරුෂය බිඳිලා පිටින් තියෙන ඕනෑම දෙයකට යටත් වෙන්න සිද්ධවෙනවා. මටත් සිදු වුණේ ඒකයි. මම අවුරුදු තිහක් තිස්සේ උපක්‍රමශීලීව අත්හරිමින් සිටි දේ කුලරත්න ආරියවංශ සූක්ෂම විදිහට මාව දැලේ දාගෙන මේ වැඩේ කරගත්තා. ඒක පිළිබඳව මම සතුටු වෙනවා. මේක තුළ තියෙන්නේ මනුස්සයෙකුගේ ජීවිතයේ  මුහුණ දෙන්න වෙන කටුක අත්දැකීම් සහ ජයග්‍රහණ, මෝඩකම්, අපරික්ෂාකාරීකම් පාප මිත්‍ර සේවනය ආදිය හරහා මිනිහෙකුට සිදුවෙන ගැහැට. මම සීඅයිඩී එකට එකට දහ සැරයක් විතර ගිහිල්ලා තියෙනවා. නාදුනන තුවක්කුකරුවන් මාව මරණය දක්වා ගෙනිහිල්ලා තියනවා. ජීවිතයේ දුෂ්කරතාව කදී අත් හරින්නේ  නැතිව ඒකට මුහුණ දීලා ජය ගන්නෙ කොහොමද කියන ආත්ම ශක්තිය, අධිෂ්ඨානශීලී ත්වය මේ පොතෙන් කවුරුහරි ගත්තොත් සෑහෙනවා එච්චරයි.

(සටහන - කේ.ඩබ්ලිව්. ජනරංජන)


(උපුටා ගැනීම - අනිද්දා පුවත්පතින් ..)

Anida

සබැඳි ලිපි :
Frame නොකළ ප්‍රේම්ගේ ලෝකය: ප්‍රේම් ගේ 'ප්‍රේම පුරාණය' අගෝ. 25 එළිදකී



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image