‘‘මොකට ද කියල කියන්න ඉතිං අපි පල්ලෙහාට යන්න එපාය...’’ යැයි පැවසූ සචේති ප්‍රතිෂ්ඨගේ දෑත් අතහැර අසුන්ගෙන සිටි අසුනෙන් නැගිට, එම ශාලාවට

මීට පෙර පැමිණ ඇති පුරුදුකාරියක සේ පියගැට පෙළ ආසන්නයට ගමන් කළා ය. කිසිවක් නිශ්චය කරගත නොහී ව්‍යාකුලත්වයට පත්වූ ප්‍රතිෂ්ඨ ද සටහන් පොත ද රැගෙන ඇගේ සෙවණල්ල සේ ඇය පසුපස ඇදිණ.

 

book cover woman stairs back lightසචේති, බිම් මහලට එනතුරු ම නොනැවතී වේගයෙන් පියගැටපෙළ බැස ප්‍රතිෂ්ඨ එනතුරු දෙනෙත් අයා ඉහළ මාලය දෙස බලා සිටියේ හිස ද යම් තරමක් ඉහළට ඔසවාගෙන ම ය. ඒ සමග ම සාමාන්‍ය ගමනෙන් පියගැටපෙළ බැස ආ ප්‍රතිෂ්ඨ ද කිසිදු කතාබහකින් තොරව සචේතනිගේ දෑස් තුළ ලියැවී ඇත්තේ මෙනවා දැයි නිරික්ෂණය කළේ ය. සචේතනී ද ප්‍රතිෂ්ඨගේ දෑස් තුළ ලියැවී ඇත්තේ මොනවා දැකියි කියවා ගැනීමට උත්සාහ කර, එය අසීරු බව වටහාගත්තා ය. ඉක්බිති මුවග මන්දස්මිතයක් සිතුවම් කළ ඇය ‘‘ඉතිං... යං තේ බොන්න,’’ යැයි පවසා තව දුරටත් ප්‍රතිෂ්ටගේ උවන මතම ඇගේ දෑස් අලවාගෙන සිටියා ය.

 

ප්‍රතිෂ්ඨ ද මුවග මන්දස්මිතයක් සිතුවම් කරන අතර ම ‘‘යං ඉතිං... උඩ ඉඳල ආපු විදියට ම යං... ඇයි මේ නතර උණේ...?’’ යැයි විමසී ය.

‘‘යන්න...! ඉතිං අනේ මං දන්නවයැ කැන්ටිම තියෙන තැන...? ඔයාට ඉතිං මෙතන ගෙදර වගේ නෙ... යං...’’

සචේති පැවසුවේ තරමක් සරදම් ස්වරයෙනි.

 

ඇය වෙත කිසිවක් ම නොපැවසූ ප්‍රතිෂ්ඨ ශාලාවේ දොරකඩ අබියසට ගමන් කළේ ‘උඹට ඕන නං වරෙං’ යැයි නොපවසා පවසමිනි. නමුදු ඒ ආවේගයෙන් ම එතැනින් පිටත්වීමට ප්‍රතිෂ්ඨ අසමත් විය.

 

‘‘ආ... ප්‍රතිෂ්ඨ සර් යන්න ද... අද මොකද ආපු ගමන් යන්නෙ...?’’

පිළිගැනීමේ නිලධාරිනියගේ වදන් ප්‍රතිෂ්ඨ සහ ඔහු පසුපසින් පැමිණෙන සචේතනීගේ ගමන අවුරාලූයේ ය.

උවන පුරා පිරිපුන් ස්මිතයක් සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘නෑ මිස්... අපි මේ...’’

‘‘කැන්ටිමට යනව... මං හරිනෙ...’’

පිළිගැනීමේ නිලධාරිනිය, ප්‍රතිෂ්ඨ මුදාහරින්නට සූදානම් වූ වදන් පෙළෙහි ඉතිරි කොටස කිසිදු අපහසුවකින් තොරව මුදා හැරියා ය.

‘‘ආ... ඔවු ඔවු මිස්... මේ... තේකක් බොන්න යන්න කියල තමයි,’’ යන වදන් කිහිපය මුදාහළේ අමු වෙරළු කා උගුරේ කහට බැඳුණ පසු කතා කරන විලාසයෙනි. එසැණින් ම ‘‘අපි ගිහිං එන්නං මිස්...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ මඳක් පසුපස හැරී බලා, තමා අබියස ම සචේතනී සිටිනා බව දැනගත් වහා ම යළි පිළිගැනීමේ නිලධාරිනියට ස්මිතයකින් සංග්‍රහ කර, ශාලාවේ දොර විවරකරගෙන පිටතට පැමිණියේ ය. සචේතනී ද ඔහු අනුගමනය කළා ය.

ආපණ ශාලාවට පිවිසි විගස ම ‘‘ඔන්න ඔයා එහෙම සල්ලි වියදං කරන්න එපා හරිද...’’ යැයි පැවසූ සචේතනී ප්‍රතිෂ්ඨ පසු කර ගොස් නැවතුණේ ආපණ ශාලාවේ මුදල් අයකැමි අසල ය.

 

unnamed

 

‘‘මොනව හරි කමු නේද... මොනවද ඔයා කන්නෙ...?’’ යැයි සචේතනී විමසුවේ තවමත් ඇය අබියසට නොපැමිණි ප්‍රතිෂ්ඨගෙනි.

තත්පර කිහිපයක් ඇතුළත නිහඬව ම සචේතනී අසලට පැමිණි ප්‍රතිෂ්ඨ ‘‘ම්ම්ම්... මට නං ඔය බනිස් ගෙඩියක් ඇති. ඔයා මොනවද කන්නෙ...?’’ යැයි සචේතනීගෙන් විමසුවේ පුරුද්දට ම පමණි.

‘‘ආ... ප්‍රතිෂ්ඨ සර්... හුඟ දවසකින්....’’

වාතලයට මුසු වූ ඒ වදන් ගලා ආවේ කුමන ඉසව්වකින් ද යන්න ප්‍රතිෂ්ඨ මතු නොව අයකැමි වෙත මුදල් ගෙවමින් සිටි සචේතනී ද පිරික්සී ය; ඒ කාගේ මුවෙන් ගිලිහුණු වදන්දැයි ඇය හඳුනා නොගත්ත ද ප්‍රතිෂ්ඨ නම් හඳුනාගත්තේ ය; ඒ අන් කිසිවකු නොව ආපණ ශාලාවේ හිමිකරු ය.

‘‘ආ... ඔවු අනේ... පහුගිය ටිකේ මං කොළඹ හිටියෙ නෑ...’’ යැයි පවසා අවසන් වන්නටත් පෙර ම ‘‘ඒකනෙ... මමත් සර්ව හුඟ දවසකිං දැක්කෙ නෑ.’’ යැයි පැවසූ හෙතෙම ‘‘මොනවද සර් කන්නෙ...?’’ යැයි විමසී ය.

‘‘අපිට බනිස් දෙකක් දෙන්න,’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසුවේ ඉතාමත් සුහදශීලිව ය.

ආපණ ශාලා හිමිකරු, බනිස් දෙකක් පිඟානක තබා ප්‍රවිෂ්ඨ වෙත පාන අතර ම ‘‘මොනවද සර් බොන්නෙ...,’’ යැයි විමසුවේ ද ප්‍රතිෂ්ඨ ඉතා දීර්ඝ කාලයක සිට ඔහු හඳුන නබවට ඉඟි සපයමිනි. ඒ වන විටත් අයකැමි වෙත මුදල් ගෙවූ සචේතනී සිදුවෙමින් පවතින සියල්ල කෙරෙහි ඇගේ දෙනෙත් යොමු නොකළ ද දෙසවන් සපුරා ම යොමු කර සිටියා ය.

‘‘ටී එකයි කෝපි එකයි... මං හිතන්නෙ ඕඩර් කරා.’’ යැයි පවසා ආපසු හැරෙන විටම ඔහු අසල දැවටෙමින් සිටි සචේතනී ‘‘ඔයා තේ දෙක අරගෙන එන්න. මං මේක අරගෙන යන්නං,’’ යැයි පවසා ප්‍රතිෂ්ඨ අත තිබූ බනිස් සහිත පිඟාන ඉල්ලාගෙන එතැනින් පිටව ගොස් කෙළවරක ම තිබූ අසුනක අසුන් ගත්තා ය.

විනාඩියකටත් වඩා අඩු කාලයක් තුළ තේ කෝප්ප දෙකත් රැගෙන පැමිණි ප්‍රතිෂ්ඨ ද සචේතනීගේ වම්පස අසුනේ අසුන් ගත්තේ ය.

ඒ සමග ම ‘‘මේහ්... ඇත්තට ම ඔයා මෙහේ පදිංචි වෙලා නැති එක විතරයි නේද...?’’ යැයි සචේතනී විමසුවේ මෙතෙක් ලිප මත රත් වෙමින් තිබූ බත් හැළියක වතුර එක පැහැර ම උතුරා යන්නා සේ ය.

 

N05288 10

 

අතට ගත් බනිසයෙන් කෑල්ලක් කඩා එය මුවතුළට හොවාගත් ප්‍රතිෂ්ඨ උවනෙහි විශ්මයාර්ථ සිතුවම් කරගන්නා අතර ම තත්පර කිහිපයක් ම සචේතනීගේ රුව දෙනෙත් තුළට ද හඬ සවන් තුළට ද ඇදගනිමින් නිහඩව සිටියේ ය.

මුව තුළ හොවාගත් බනිස් කැබැල්ල කිහිප වතාවක් ම දත්වලින් ඇඹරූ ප්‍රතිෂ්ඨ එය ගිල දමා ‘‘මට පැහැදිලි නෑ,’’ යැයි පවසා යළි බනිස් කැබැල්ලක් කඩා මුව තුළ හොවාගත්තේ ය.

සචේතනී ද ප්‍රතිෂ්ඨ අනුගමනය කරන අතර ‘‘හපොයි ඔවු... ඔයා ඉතිං පොඩි බබා නෙ...’’ යැයි පැවසුවේ දෙනෙත් අඩවන් කරන අතර ම සරදම් සිනහවක් උවන පුරා සිතුවම් කරගනිමිනි.

‘‘ඇත්තට ම සචේති ඔයා කියන දේ මට පැහැදිලි නෑ.’’

ප්‍රතිෂ්ඨ යළි විමසුවේ ගුරුවරියක ඉගැන්වූ යම් දෙයක් නොතේරුණු ශිෂ්‍යයෙකු යළි එය ම විමසන ලෙසිනි.

මේ වන විට ප්‍රතිෂ්ඨ ඔහු අතට ගත් බනිසය රස විඳ අවසන් කර තිබිණ; එබැවින් සචේතනී වෙත අවධානය යොමු කරන අතර ම කෝපි කොප්පය තමා අසලට ගත්තේ ය.

‘‘නෑ මං කියන්නෙ... මේ... මෙහේ ඉන්න ඔක්කොම ඔයත් එක්ක මාර ෆිට් නෙ...’’ යැයි පවසන අතර ම ඇගේ තේ කෝප්පය ද ඇය අසලට ගෙන ‘‘මේහ්... ඒක නෙවෙයි... කවුද අර ගර්ල්...?’’ යැයි විමසුවේ සිය පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් විමසන ලෙසිනි.

‘හම්ම්ම්... ඔය එන්නෙ මට ඕනෙ තැනට... මට හිතුණ මෙයා කොයි වෙලාවක හරි ඔය වචන ටික මගෙන් අහනව කියල,’

‘‘ගර්ල්...! මොන ගර්ල් ද...?’’

ප්‍රතිෂ්ඨ පෙරළා විමසුවේ මීට හෝරා එකහමාරකට පමණ පෙර සිදුවූ කිසිවක් ම අමතකව ගොස් ඇති ලෙසිනි.

‘‘මොන ගර්ල් ද කියන්නෙ...? ඇයි අනේ අර ඔයා එනකං මග බලාගෙන හිටිය වගේ විස්තර අහපු ගර්ල්. මේ... අර... රුචික ද කවුද කිව්වෙ...’’

සචේතනි විමසුවේ රුචිකාගේ නම අමතකව ගොස් ඇති ලෙසකින් වුව ද ඇය ඒ නම ඉතා පැහැදිලිව ම සිතේ සනිටුහන් කරගෙන ඇති බව ප්‍රතිෂ්ඨට වැටහිණ.

‘‘ආ... ඒ මේ කැලණිය කැම්පස් එකේ ගර්ල් කෙනෙක්. එයා ලයිබ්රි සයන්ස් ඩිප්ලෝමාව කරන කාලෙ ඉඳන් මං දන්නව.’’

ප්‍රතිෂ්ඨ පිළිවදන් සැපවූයේ සචේතනීගේ පැනය එතරම් මායිම් නොකරමිනි. එහෙත් එම පිළිතුරෙන් ඇය සැහීමකට පත්වු බවක් දක්නට නොලැබිණ. ඇය දෙවන පියවර ද තැබුවා ය.

‘‘හම්ම්ම්... මට නං පෙනුණෙ එයා කැම්පස් එකට එන්නත් කළිං ඔයා දන්නව වගේ.’’

සචේතනී පැවසුවේ උපහාසාත්මක ස්මිතයක් උවනෙහි සිතුවම් කරගනිමිනි. ඒ සිතුවමේ උඩු පෙළ අරුත මෙන් ම එහි යටි පෙළ අරුත ද ඉතා පැහැදිලිව මෙන් ම සීරුවෙන් කියවාගන්නට ප්‍රතිෂ්ඨට හැකි විය.

‘‘ඔවු... සමහර විට මේ... ආත්ම ගාණකට ඉස්සර ඉඳන් දන්නවත් ඇති.’’

ප්‍රතිෂ්ඨ එවර පිළිවදන් සැපවූයේ ඔහුගේ සිත තුළ ද පැනයක් සඟවා ගනිමිනි.

 

විසල් කළ දෙනෙතින් විහිදෙන කාන්තිමත්භාවයෙන් ප්‍රතිෂ්ඨගේ උවනආ ලෝකමත් කළ සචේතනී සිහින් කිංකිණි සිනාවක් පෑවේ ඔවුන් දෙදෙනාට පමණක් ඇසෙන සේ ය.

 

‘‘ඒ කියන්නෙ ඔයා ඉහත ආත්මය යි මතු ආත්මය යි පිළිගන්නව...! එහෙම ද?’’

එවර ප්‍රතිෂ්ඨගේ උවන පුරා ම අඳුරු පැහැ වලාවක් දිස් විය. එය එතරම් සුබ ලකුණක් නොවන බව වටහාගත් සචේතනී ‘‘ඇයි මේ...?’’ යැයි විමසුවේ ඇගේ වමත ප්‍රතිෂ්ඨගේ දකුණත මත තබමිනි.

‘‘නෑ නෑ... මං මේ කල්පනා කරේ... ගෑනු මොකක් හරි දේක එක කෙළවරක් දැක්ක ම ඒකෙ අනිත් කෙළවර කොහෙද තියෙන්නෙ කියල හොයාගන්නකං ඉන්නෙ පුදුම නොඉවසිල්ලකිං නෙ...’’

ඔහුගේ වදන් සචේතනීගේ හදවත තුළට කිඳා බැස්සේ සිහින් එන්නත් කටුවක් සිරුරට ඇතුළු කරන විට දැනෙන තරමේ සිහින් වේදනාවක් ගෙන දෙමිනි. එහෙත් ඒ වේදනාව දරාගැනීමට තරම් මානසික ශක්තියක් ඇය සතුව නොතිබිණ.

‘‘ඔයා කියන්නෙ මං... මං... මේ... අනුංගෙ ඕපදුප හොයනව වගේ දැනෙනව කියල ද...? අනේ නෑ ප්‍රතිෂ්ඨ... එහෙම එකක් නෙවෙයි. මට දැනුණ ඒ ගර්ල් ඔයාට හුඟක් හිතවත් කියල. ඒකයි මං එහෙම ඇහුවෙ...’’

 

සචේතනී වෙත එල්ල කළ වදන් ප්‍රහාරය නිසි එල්ලය බලා ගමන් කර ඇති බව ප්‍රතිෂ්ඨට වැටහිණ. දැන් ඔහුගේ සුදානම් වන්නේ සූකරයාගේ මාංශ සූකරයාගේ ම සිරුර මත තබා කැපීම සඳහා ය.

 

‘‘හරි... මං ඔයාගෙං මෙහෙම අහන්නං කො... අපි දෙන්න මුණ ගැහිල කොච්චර කල් ද...?’’

ප්‍රතිෂ්ඨගේ පැනය සචේතනී විමතියට පත් කරන්නට සමත් විය. ඇගේ උවනේ ඒ විමතිය ඉතා පැහැදිලිව ම සිතුවම් වී තිබිණ.

‘‘අපි ද...? අපි... අපි හම්බ උණේ ඉතිං ඊයෙ නෙ... ඇයි... ඇයි ඔයා එහෙම ඇහුවෙ...?’’

ක්ෂණයකින් සචේතනීගේ උවන පුරා ම ප්‍රශ්නාර්ථ සලකුණු  ගොන්නක් සිතුවම් වී තිබෙන ආකාරය දෙස ප්‍රතිෂ්ඨ නෙත් යොමා සිටියේ හෘද අභ්‍යන්තරයේ පැන නැගි ප්‍රහර්ෂයකින් වුව ද ඒ බව ඇයට හැඟෙන්නට ඇති ඉඩකඩ අවුරා ලන්නට හෙතෙම සමත් විය; ඔහු යළි සචේතනී විමසී ය.

‘‘හරි... දැන් මෙතෙන්නට ආපු වෙලාවෙ ඉඳල මේ ආයතනේ මං අඳුරන අය මාත් එක්ක කතා කරපු විදිය යි, ඒ අය ඔයා දිහා බලපු විදිය යි ඔයා දකින්න ඇති නෙ... ඔයාට ඇහෙන්න ඇති නෙ...?’’

ප්‍රතිෂ්ඨ, ඔහුගේ මුවෙන් මුදා හළේ පැන යුගලක් වුව ද සචේතනිට එය දැනුණේ ඇගේ මනසේ ලියැවී තිබෙන පැන අතරට තවත් පැණ සියයක් පමණ එක් කළා සේ ය.

‘‘හපොයි ඔවු... මොකද මං නොදැක්කෙ... මං හොඳට බලාගෙන හිටියෙ... එවුං හරියට මායි ඔයයි දිහා බැලුවෙ...’’

 

සචේතනී එක පැහැර මුවෙන් මුදාහළ වදන් වැල එක පැහැර ම නවතාලුවා ය; නවතා ආකර්ෂණීය කෝල බැල්මකින් ප්‍රතිෂ්ඨගේ සිරුර නහවාලූවා ය. ප්‍රතිෂ්ඨට ද ඔහුගේ උවන පුරා ඇඳි කෝල සිතුවම මකා දමන්නට නොහැකි විය.

 

‘‘ඇයි නැවැත්තුවෙ...? ඉතිරි ටිකත් කියන්න...’’

ප්‍රතිෂ්ඨට අවැසි වී තිබුණේ ඇය තමා වෙත එල්ල කළ සරදම් රැහැනෙන් ම ඇය ද වෙළා දැමීම ය; වෙළා ඇය සිර කිරීම ය. එවිට ඇයට තව දුරටත් රුචිකා පිළිබද හෝ වෙනත් කිසිවකු පිළිබඳ ඔහුගෙන් අයුතු පැන විමසිය නොහැකි ය.

‘‘නෑ නෑ... දැං අපි ඒ කතාව නවත්තමු... කියන්නකො... ඔයා දැං හොයාගත්තෙ ඔය පොත් ටිකේ නම් විතර ද... ඊළඟට අපි මොකද කරන්නෙ...?’’

දැඩි උපහාස ස්වරුපයක් උවනෙහි සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘මං හිතන්නෙ... ඔයා අහපු ප්‍රශ්ණෙට පිළිතුරු ලැබෙන්නැති කියල... එහෙම නේද...?’’ යැයි විමසී ය.

‘‘හරි හරී... දැං ඒක ඉවරයි. මං ආයෙ ඒ වගේ මෝඩ ප්‍රශ්න අහන් නෑ. හරි නෙ... දැං හොඳ ළමය වගේ කියන්නකො අපි ඊළඟට මොකද කරන්නෙ කියල...?’’

‘‘ම්ම්ම්... ඊළඟට කරන්නෙ ද...? ඊළගට කරන්නෙ ඊළඟට කරන්න ඕන දේ...’’

ප්‍රතිෂ්ඨ, ඉතා සැහැල්ලු සිනාවක් උවනේ සිතුවම් කරගනිමින් ම පැවසී ය.

‘‘හරි හරි ළමයො... ඊළඟට කරන්න ඕනෙ ඊළඟට කරන්න ඕන දේ කියල මං දන්නව. මං අහන්නේ ඒ මොකද්ද කියල.’’

ප්‍රතිෂ්ඨ මෙන් ම ඉතා සැහැල්ලුවෙන් සචේතනී ද විමසුවා ය.

‘‘හරි... මං ඒක කියන්නංකො... අපි දැං යමු ද...? තව විනාඩි පහක් දහයක් යද්දි මෙතන සෙනඟ පිරෙනව; දහයෙ ටී ටයිම් එකට. ඊට පස්සෙ මට වෙන්නෙ ඒ කට්ටියගෙ ප්‍රශ්නවලටත් උත්තර දීල ඊටත් පස්සෙ ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න. එවුංගෙ ප්‍රශ්නවලට නං ඔය මොන මොනව හරි කියතැකි. ඒත් ඔයාට එහෙම බෑනෙ...’’

‘‘අපොයි ඔවු... මං දැක්කනෙ... දැං අර කීප දෙනෙකුට ම ඇඟේ පතේ නොගෑවිලා ම බොරු කියපු විදිය. ඒ විදියට බැලුවොත් නං තව කට්ටිය එද්දි මෙතන හිටියොත් ඔයාට තවත් පවු පිරේවි. ඒ විතරක් නෙවෙයි... ඒ පවුවලින් කොටසක් මගේ එකවුන්ට් එකටත් වැටේවි.’’

සචේතනි පැවසුවේ ඇගේ ශ්වේත වර්ණැති දසන් මතින් විහිදෙන ආලෝකයෙන් ප්‍රතිෂ්ඨගේ උවනත නහවමිනි.

ඊට පිළිතුරු ලෙස මන්දස්මිතයකින් සචේතනිට සංග්‍රහ කළ ප්‍රතිෂ්ඨ අසුන් ගෙන සිටි අසුනෙන් නැගිට එය මේසය යටට තල්ලු කළේ ය; සචේතනි ද එය ම අනුමගනය කළා ය.

71LNrJP GZL. AC SY741 ආපසු ලේඛනාගාරය වෙත පියනගන ප්‍රතිෂ්ඨ සහ සචේතනී දකින ඕනෑම පුද්ගලයෙකු ඔවුන් දෙදෙනා පෙම්වතුන් හෝ අනියම් පෙම්වතුන් යැයි සැක කරනු නියත ය. ඒ ඔවුන්ගේ වරදක් නොව තරුණ හෝ තරුණ විය ඉක්මවූ පුරුෂයකු සහ කාන්තාවක ඉතා කුළුපගව හැසිරෙන විට එදෙස වපරැසින් බලන්නට හුරු පුරුදුව සිටින සමාජයේ වරදිනි. මන්ද මේ මොහොතේ පවා ඔවුන් ගමන් කරන්නේ එකිනෙකාට ඉතා ම සමීපව ය. ඔවුනොවුන් අතිනත පටලා නොගෙන ගමන් කළ ද දෙදෙනාගේ උරිස් එකිනෙක ස්පර්ශ වන්නේ රූස්ස ශාක යුගලක අතු දෙකක් එම ශාක දෙකට ද නොදැනෙන ලෙස එකිනෙකට ස්පර්ශ වන ආකාරයෙනි. පිටත සිට නරඹන්නෙකුට එම දසුන ඉතා පැහැදිලිව දක්නට හැකි ය.

‘ම්ම්ම්... දැන් තමයි අර ප්‍රශ්නෙ අහන්න හොඳ ම අවස්ථාව... කෙළින් ම අහනව ද... එහෙම නැත්නං... නෑ... ආයෙ මොකටද වටේ යන්නෙ... කෙළිංම අහන්න ඕනෙ...’

පෙර දින සවසත්, අද උදෑසනත් ප්‍රතිෂ්ඨ දුටු දසුන් කිහිපයක් පිළිබඳව සචේතනීගෙන් විමසිය යුත්තේ කෙසේ ද යන පැනයට ඔහු විසින් ම විසඳුමක් සොයාගත්තේ ය.

ඉවර නෑ...

 

 



Trans+National New Left MagazineOpiuma Left'හිතුවක්කාර වරා මල' දැන් පාඨක ඔබ  අබියස- ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/05/03


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් 


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...




 
 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app

 

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා