1200 x 80 DMirror

 
 

 
· අවි ගත්තෝ අවියෙන් ම නසිති
· විසෙන් විස නැසීම
· කැලේ ගසක් විනාස කිරීමට කැලේ ගසක් ම භාවිත කිරීම
 
 
යනාදි ආප්තෝපදේශ නිමවා තිබෙනවා ද ස්වයංක්‍රීයව නිමවී තෙබෙනවා ද යන්න නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි වුව ද ඒ සෑම අදහසක් ම ගැඹුරු අරුත් සපයන බව නම් නොරහසකි. එය මිනිස් ජීවියාගේ ජීවත පැවැත්මට මෙන් ම විනාශයට ද එක සේ බලපාන බව ද නොරහසකි.
 
කිසියම් කලා නිර්මාණයක් තුළින් නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න නිශ්චිතව ම දන්නේ අදාළ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය පමණි. 
 
අදාළ නිර්මාණය තුළින් ද යට කී ආප්තෝපදේශ තුළ අඩංගු යටිපෙළ ප්‍රකට කෙරෙන අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය. එමෙන් ම එක් නිර්මාණයක් තුළින් සමාජයේ පවත්නා විවිධ පැතිකඩ සාකච්ඡා කෙරෙන අවස්ථා ද දුලබ ය. 
 
චන්ද්‍රරත්න මාපිටිගමගේ අධ්‍යක්ෂණයක් වන ‘‘සත්‍යා දේවී’’ සිනමා නිර්මාණය ද යට සඳහන් ආප්තෝපදේශ තුළ අඩංගු යටිපෙළ විද්‍යමාන කෙරෙන අතර අප ජීවත්වන සමාජයේ පවත්නා දේශපාලනයේ නිරුවත් පැතිකඩ කිහිපයක් ද ඉතා මැනවින් ඉදිරිපත් කර ඇත.
 
 
 
# හැත්තෑ හතෙන් පසු බිහිවූ මැර දේශපාලනයේ නිරුවත.
 
# හැත්තෑ එක වසරේ සහ 87-89 කාල වකවානුවේ පැන නැගි තරුණ සන්නද්ධ ව්‍යාපාරයේ පසුබිම.
 
# දේශපාලකයන්ගේ මැරයෙකු වීම යනු කොටි වලිගයක් අල්ලාගත්තා බඳු වීම.
 
# ගැහැනියක සහ පිරිමියෙකු අතර පවත්නා අධ්‍යාත්මික බැඳීම සහ හුදු ලිංගික බැඳීම අතර පවත්නා වෙනස.
 
# තරුණ විප්ලවවාදින්ගේ ලිංගික සබඳතා.
 
# ගැහැනු පමණක් නොව පිරිමි ද වඳභාවයෙන් පෙළන බව ස්ඵුට කිරීම.
 
# තමාගේ ශාරීරික දුර්වලතාව හෙළි වූ පසු එබඳු පිරිමි පත්වන මානසික තත්ත්වය.
 
යනාදි සියලු පැතිකඩ සත්‍යා දේවී සිනමා නිර්මාණය තුළින් ප්‍රකට කෙරේ.
 
 
hqdefault 2 
 
යට සදහන් කළ පරිදි නිර්මාණකරුවා මෙම නිර්මාණය තුළින් සමාජ ගත කරන්නට යත්න දරා ඇත්තේ කුමන සමාජ ගැටලුවක් ද යන්න නිශ්චය කළ නොහැකි වුව ද අදාළ සිනමා නිර්මාණය නිවැරැදිව කියවා ගතහැකි ප්‍රේක්ෂක ප්‍රජාවට නිර්මාණකරුවාගේ අභිප්‍රාය කුමක් ද යන්න මැනවින් පසක් කරගත හැකි ය.
 
 
පළමු ප්‍රස්තුතය කෙරෙහි අවධානය යොමු කළ විට නිතැතින් ම සිහියට නැගෙන්නේ 1977 ජූලි මහ මැතිවරණයෙන් ඉක්බිතිව (ඊට පෙර එසේ නොවුණා යැයි මෙයින් ගම්‍ය නොකෙරේ) මෙරට ව්‍යාප්ත වූ මැර දේශපාලන පසුබිම යි; ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දෙනු ලැබූ බයිසිකල් චේන් කල්ලිවල සිට ආර්. ප්‍රේමදාස විසින් සමාජ ගත කළ නිල නොවන සන්නද්ධ කල්ලි ව්‍යාපාරය යි. (දේශපාලකයන් දෙදෙනෙකුගේ නම ප්‍රමුඛ කර ගත්ත ද මේ කිසිදු ව්‍යාපාරයක් හුදු අදාළ පුද්ගලයන්ගේ නිර්මාණ පමණක් ම නොවන බව ද අප වටහාගත යුතු ය. මන් ද අදාළ ක්‍රමය සැකසී ඇත්තේ ඒ ආකාරයට ම වන බැවිනි.) 
 
 
එකල විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මෙන් ම වර්ජනයේ නිරත ප්‍රජාවට පාලක දේශපාලක පාර්ශ්වය විසින් කෙසේ සලකනු ලැබුවේ ද යන්න 80 වැඩවර්ජනය කදිම උදාහරණයකි. කම්කරු අයිතිය කෙලෙසා දැමුවේ කෙසේ ද යන්නට 1987 වසරේ පැවති මැයි රැලිය සහ එහි දි සිදුවුණ මිනිස් ඝාතනය කදිම සාක්ෂියකි.
 
දෙවන ප්‍රස්තුතය කෙරෙහි අවධානය යොමු කරන විට නිතැතින් ම සිහියට නැගෙන්නේ සිය සිසු අයිති මතු නොව සමස්ත සමාජය පුරා ම වෙළී පැවති: සමාජ, ආර්ථික සහ සංස්කෘතික දරිද්‍රතාවට එරෙහිව නැගී සිටි තරුණ ප්‍රජාවට අත්වූ ඉරණම යි. 
 
අදාළ කාල සීමාව තුළ සිදුවූයේ දේශපාලන ඝාතන පමණක් නොවේ. පැවති ආණ්ඩුවට කත් ඇදි: මැරයෝ, ජාවාරම්කාරයෝ මතු නොව දැන උගත්, බුද්ධිමත් යැයි සමාජය විසින් නම් කරන ලද පුද්ගලයෝ ද අදාළ දේශපාලන පසුබිම දඩමිමා කරගනිමින් තම තමන්ගේ පුද්ගලික සතුරු පාර්ශ්ව වෙත ද මර්දනය දියත් කළේ ය. මෙම නිර්මාණයේ එන ගුණපාල නමැති පුද්ගලයාගේ ඝාතනය මෙකී සිද්ධිය පිළිබිඹු කෙරෙන සංකේතයකි.
 
තෙවන ප්‍රස්තුතය කෙරෙහි අවධානය යොමු කරන විට දක්නට ලැබෙන ප්‍රධාන කාරණය නම් කුමන වකවානුවක වුව ද පවතින ආණ්ඩුවේ පවැත්ම වෙනුවෙන් මැරවර කටයුතුවල යෙදෙන පුද්ගලයන් කෙදිනක හෝ අදාළ පාර්ශ්වය විසින් ම බිලිගන්නා බවයි. මෙහි ප්‍රධාන චරිතය වන විල්බට් (ජීවන් කුමාරතුංග) මුහුණ පාන්නේ එබඳු ඛේද ජනක ඉරණමකට ය. ඔහුගේ චරිතය තුළ පවත්නා තවත් පැතිකඩ කිහිපයක් මතුවට ද සාකච්ඡා කෙරේ.
 
hqdefault 3
 
කාන්තාවන් මෙන් ම පුරුෂයෝ ද අදාළ පාර්ශ්ව එකිනෙකා කෙරෙහි බැඳි සිටින්නේ හුදු ලිංගික අවශ්‍යතාව හේතුවෙන් ම පමණක් නොවන බව සිවුවන ප්‍රස්තුතය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී දක්නට හැකි ය. 
 
ඊට කදිම උදාහරණය සපයන්නේ විල්බට් ඇසුරු කරණ කාන්තාවන් සිවු දෙනා ය. විල්බට් අදාළ කාන්තාවන් සිවු දෙනා සමග ලිංගික ඇසුරක් පවත්වන්නේ ඇයි ද යන්නට ඔහු දෙන සරල සහ පහසු ම පිළිතුර වන්නේ සිය බිරිඳගේ වඳභාවය යි; සිය බිරිඳගෙන් ලබාගත නොහැකි වූ දරු සම්පත් අදාළ කාන්තාවන් සිවුදෙනාගෙන් ලබාගත් බවයි. 
 
නමුදු එය හුදෙක් නිදහසට කරුණක් ම පමණි. මන්ද විල්බට් යනු දරුවන්ට ආදරය දක්වන පුද්ගලයෙක් වන අතර ම අනෙක් පසින් දැඩි ස්ත්‍රි ලෝලියෙකු වීම ය.  
 
විල්බට් එසේ පැවසුව ද, ක්‍රියා කළ ද, ඔහු ලිංගික සබඳතා පවත්වන කාන්තාවන් සිවු දෙනාගේ ම ප්‍රමුඛ අරමුණ වූයේ කුමක් ද? අදාළ කාන්තාවන් සිවු දෙනා එසේ විල්බට් රැවටීමට ලක් කරන්නේ ඇයි ද යන්න විමසා බලන විට එය ද පවතින සමාජ, ආර්ථික සහ දේශපාලන ක්‍රමයේ ම වරදකි. 
 
නිර්මාණකරුවා මේ සියලු යථා තත්ත්ව ඉදිරිපත් කරන්නේ මතුපිට දක්නට ලැබෙන රූපරාමු තුළින් නොව යටිපෙළෙනි. මතුපිට දක්නට ලැබෙන රුපරාමු කෙරෙහි පමණක් අවධානය යොමු කළ හොත් දක්නට ලැබෙන්නේ සල්ලාල පිරිමියෙකු සහ ඔහුගේ ගොදුරු බවට පත්වෙන කාන්තාවන් සිවුදෙනෙකි.
 
sathya 
 
පස්වන ප්‍රස්තුතය කෙරෙහි අවධානය යොමු කළ විට දක්නට ලැබෙන්නේ මෙරට තරුණ විප්ලවාදින්ගේ යථා ස්වරුප කිහිපයකි. 
 
එනම් අදාළ පුද්ගලයන් සමාජ අසාධාරණය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ ද ඔවුන් ද ඇට, මස්, ලේ, නහරවලින් සුසැදි, දේශපාලන අරමුණු වෙනුවෙන් කෙතරම් කැප වුව ද, සිය ලිංගික අවශ්‍යතා සපුරාගැනීම සඳහා කිසියම් අවස්ථාවක් උදා වූ මොහොතේ එය අතපසු නොකරන යථාර්ථය යි.
 
 නිර්මාණයේ ප්‍රධාන කාන්තා චරිතය වන චන්ද්‍රලතා (ගීතා කුමාරසිංහ) විප්ලවීය සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයා - සත්‍යපාල වෙඩිසිංහ හෙවත් සත්‍යජිත් වලිසුන්දර (රංජන් රාමනායක) සමග පවත්වන ලිංගික සබඳතාව ඊට කදිම නිදසුනකි.
 
හයවන ප්‍රස්තුතය ද පස්වන ප්‍රස්තුතයේ ම දිගුවකි. එනම් වසර ගණනාවක් පුරා: විල්බට්, චන්ද්‍රලතා මතු නොව ඔවුන් වටා සිටි ගැහැනු පිරිමි සියලු දෙනා ම දරා සිටි මතයක් නොසිතූ මොහොතක, නොසිතූ ලෙස පුපුරා යාම ය. ඒ එතෙක් වඳ කාන්තාවක ලෙස සමාජයේ අපහාස, අපහාස මෙන් ම අවමානයට ලක්වූ චන්ද්‍රලතා වඳ කාන්තාවක නොවන බව තහවුරු වීම ය.
 
chandra 
 
හත්වන ප්‍රස්තුතය වෙත අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ සිය බිරිඳ වඳ යැයි සිතා: ඇයට අපහාස, අපහාස සහ අවමන් කරමින් තම ජාගර ආශා සන්තර්පණය කරගනු වස් රට සිවු කොනේ කාන්තාවන් සිවු දෙනෙකු සමග ලිංගික සබඳතා පැවැත්වූ විල්බට්ගේ යථා තත්ත්වය තහවුරු වූ පසු (මෙම තත්ත්වය බහුතරයක් පිරිමින්ට අදාළ ය) ඔහු පත්වන අපහසුතාව යි; එබඳු පිරිමි මුහුණ දෙන සැබැ ගැටලුවයි. මෙහි දී වර නැගෙන දෙබසක් තුළින් එය කදිමට විද්‍යමාන වන්නේ ය.
 
විප්ලවවාදි තරුණයා සහ විල්බට්ගේ බිරිඳ අතර පැවති ලිංගික සබඳතාව හේතුවෙන් චන්ද්‍රලතා ගැබ්ගැනීමෙන් ඉක්බිති විල්බට් සිය බිරිඳට මෙසේ පවසයි.
 
‘‘එහෙනම් පත්තිනි අම්ම වේසියෙක් වුණා...?’’
 
චන්ද්‍රාවතී එයට පිළිවදන් දෙන්නී මෙලෙසිනි.
 
‘‘නෑ... වඳ ගෑනියෙක් අම්ම කෙනෙක් උණා’’
 
සිනමා නිර්මාණයේ එන සියලු දෙබස් අතර වඩාත් අවධානය යොමු කළ යුත්තේ යුත්තේ මෙම දෙබස තුළ පවත්නා යටි පෙළ වෙත ය.
 
 මන් ද චන්ද්‍රලතාට ‘‘වේසි’’ යැයි ආමන්ත්‍රණය කිරීමට විල්බට්ට කිසිදු අයිතියක් නොමැත. එහෙත් ‘‘වේසි’’ යන්නට පර්යාය පදයක් හෝ එහි පුරුෂ ලිංග පදයක් සමාජය තුළ නොපවතින බැවින් සැමදා ම සිටින්නේ ‘‘වේසියන්’’ පමණි. 
 
කාන්තාවන් කිහිප දෙනෙකු සමග ලිංගික සබඳතා පවත්වන පිරිමින් ආමන්ත්‍රණය කරන්නේ කෙසේ ද යන්න පවා අපි කිසිවකු නොදනී.  
 
 
සමස්ත නිර්මාණය ම එක මිටකට කැටි කර ගත් විට එහි වඩාත් ගැඹුරු සහ යථාර්ථවාදී ප්‍රස්තුතය විය යුත්තේ ද යට කී දෙබස වටා පවත්නා සමාජ සබඳතාව යි: එහි යථා ස්වභාවය යි. මන් ද පුරුෂ මූලික සමාජය තුළ පුරුෂයාට සිය විවාහක බිරිඳ හැර වෙනත් කාන්තාවක හෝ කාන්තාවන් කිහිප දෙනෙකු සමග වුව ද ලිංගික සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට ඇති ඉඩ කඩ බහුල ය. නමුදු කාන්තාවකට ඒ සඳහා ඇති අවකාශය සහ අයිතිය සමාජයේ පවත්නා සංස්කෘතිය සහ සදාචාරය නමැති පවුරෙන් වටකර අවුරා ඇත. එකී පවුර බිඳ දමා පුරුෂයාගේ යථා ස්වභාවය ප්‍රකට කරන්නට සමත්වන කාන්තාව කෙරෙහි අවධානය යොමු වන්නේ යට කී පරිදි ‘‘වේසි’’ යන අරුතෙනි. එහෙත් සත්‍යය එය නොවේ ය යන්න ‘‘සත්‍යා දේවී’’ කදිමට පසක් කර දෙන්නී ය      
 
 
 
 
‘‘සත්‍යා දේවී’’ නිර්මාණය සඳහා දායක වූවෝ
 
රංගනය:- ජීවන් කුමාරතුංග (විල්බට්), ගීතා කුමාර සිංහ (චන්ද්‍රාවතී), ඩබ්ලියු. ජයසිරි (ජිනදාස මුදලාලි), රංජන් රාමනායක (සත්‍යපාල වෙඩිසිංහ හෙවත් සත්‍යජිත් වලිසුන්දර), සුරේනි සෙනරත් (සුමනාවතී), මියුරි සමරසිංහ, ගෝතමි පතිරාජ, විශාකා සිරිවර්ධන.
 
සංගීතය:- ජගත් වික්‍රමසිංහ
 
නිෂ්පාදනය:- සුසාන් ප්‍රනාන්දු
 
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය:- චන්ද්‍රරත්න මාපිටිගම
 
 
 
jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත) 
නිදහස් ලේඛක 
2021/09/05
 
 
 
 
ජයසිරිගේ සිනමා විචාර කිහිපයක් :
 
 
 
 
 
 
 
 

 
 
THE LEADER TV 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 
බැසිල්ගේ ආර්ථික පුනරාගමනය එන්නේ : අපේ ඊළඟ ආත්මේ | මොණරවිලගේ ලියමන 1 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58