රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී යළිත් වරක් ඉල්ලීමක් කර ඇති අතර ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලින් ණය ගැනීම සඳහා රජය ගිවිසුම්ගත වන පළමු තත්පරයේදීම තමා අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවස්ථා 16 කදී ගනුදෙනු කර ඇති බැවින්, මේ අවස්ථාවේ ඔවුන්ගේ සහාය ගැනීම ගැටලුවක් නොවන බවද ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් පෙන්වා දී ඇත.

ඒ අනුව විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහ උපදේශන සහය ලබා ගැනීමටත්, මූල්‍යමය සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් අද (15) පැවැත්වෙන ආර්ථික සභා රැස්වීමේදී තීරණයක් ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය කර තිබේ.



මේ අතර මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්ග්යොන්ග් රී ඊයේ දිනයේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල හමුවී ඇති අතර අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ.



'' IMF ගිය සැණින් මම ඇමැතිකමෙන් යනවා'' - වාසුදේව



මේ අතර ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීම සඳහා රජය ගිවිසුම්ගත වන පළමු තත්පරයේදීම තමා අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය වන බවත් එසේ ගිවිසුමක් ඇතිකර ගතහොත් සිය අමාත්‍ය ධුරය අතහැර දමනවාද යන්න පිළිබඳව ‘මව්බිම’ පුවත්පත කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු එබව අවධාරණය කර තිබේ.

එවැනි ණයක් ලබා ගැනීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අස්සන් කිරීමට සූදානම් වන බවට තමන්ට පෙරනිමිති දක්නට ලැබෙන බවත් එසේ ගිවිසුමකට යෑමට පෙර රජය යම්තාක් දුරට කොන්දේසි ක්‍රියාත්මක කර ඇති බව පෙනෙන්නට තිබෙන බවද අමාත්‍ය වාසුදේව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවැනි ණය ගැනීමේ ගිවිසුමකට රජය එළඹුණහොත් එම මූල්‍ය අරමුදල රජයට දැඩි කොන්දේසි පනවනු ඇති බව තමන් දන්නා බවද රුපියලේ වටිනාකම අතහැර දැමීම හා වෙළෙඳපොළේ කිසිදු පාලනයක් නොමැතිව වෙළෙඳ භාණ්ඩවල මිල වෙළෙඳපොළේ තීන්දු වෙන්නට ඉඩ ඇරීම වැනි කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් කොන්දේසි බවද අමාත්‍යවරයා පවසයි.




මෙරට රාජ්‍ය දේපළ විකිණීම, සමාජ සුබසාධනය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් අඩුකරන ලෙස නියම කිරීම, එම මූල්‍ය අරමුදල පනවන තවත් කොන්දේසි බවද ඒ තුළින් මෙරට නිදහස් සෞඛ්‍යයට හා නිදහස් අධ්‍යාපනයට ලොකු පහරක් වදින බවද අමාත්‍ය වාසුදේව පවසයි.


එවැනි නියෝග නිකුත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එතැනින් නොනැවතී ඉන්පසුව දේපළවල වටිනාකම අනුව මිල නියම කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවට නියෝග කිරීමට පවා ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවැනි ණය ගැනීමේ ගිවිසුමකට රජය එළඹුණහොත් අනිවාර්යයෙන්ම එම අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එම මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සඳහා හමුවී සාකච්ඡා පැවැත්වීමට වඩා ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති වෙනවාද නැද්ද යන්න පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද එසේ ගිවිසුමක් ඇති කරගතහොත් අන්තර්ජාලය ඔස්සේ ඒ බව දැන ගැනීමට හැකි වන බවද අමාත්‍ය වාසුදේව පවසයි.

මෙම මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සඳහා රජය ගිවිසුමකට ගියහොත් අනිවාර්යයෙන්ම තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට තමා මීට පෙර කළ ප්‍රකාශය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.


නිල නිවාසය සහ වාහන බාරදේ



 ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ගේ පරිහරණය සඳහා රජයෙන් ලබාදී තිබූ නිල නිවාසය සහ වාහන එම  අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වෙත ඊයේ (14දා) බාරදී තිබේ.

අමාත්‍යාංශයේ රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටීම හා කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවීමට තීරණයක් ගෙන ඇති අවස්ථාවක තවදුරටත් එම වරප්‍රසාද  බුක්ති විඳීම යුක්ති සහගත නොවන බවට හැඟී යෑම නිසා එසේ එම රජයේ දේපළ භාරදුන් බව ඔහු මාධ්‍ය වෙත පැවසිය.

තමා අමාත්‍යාංශයේ රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටියද මහජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් සඳහා තවදුරටත් පෙනී සිටින බවද අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා ගත් තීරණයට විරෝධය පාමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සිය අමාත්‍යාංශයේ වැඩකටයුතුවලින් ඉවත් වීමට හා කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා නොයෑමට තීරණය කර තිබේ.

 

Leader Whats app

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්