ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට

අදාළ විධිවිධාන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබී තිබේ.

අදාළ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (මාර්තු 20 වැනිදා) රාත්‍රියේ නිවේදනය කළේය.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහු පාර්ශවික සංවිධාන වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් වන්නේ රජය සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට උත්සාහ කරන බැවින් බවයි.

විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් පළවෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹිණි.

ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක මෙම වැඩසටහන මගින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති ආරක්ෂා කරගනිමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි !


මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා  ජනාධිපති වික්‍රමසිංහ හෙට දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් හෙට උදෑසන 08.00ට පැවැත්වීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති වික්‍රමසිංහ සිය ස්තුතිය පළ කර තිබේ.

ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද භාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාර භාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවය.


ජනාධිපති වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

“ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි."

"මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය. අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.”


(මුලාශ්‍රය - BBC සිංහල සේවය)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්