ශ්‍රී ලංකාවේ ඉහලම නාවික නිලය දරන නිලධාරියා බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බව පිළිගනිමින් ඇමරිකා එක්සත් ජනපදය ඔහුට සහ ඔහුගේ බිරිඳට සංචාර තහනමක් පනවා ඇත.



දැනට වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයේ සේවය කරන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ දෙදෙනාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ඇමෙරිකානු රාජ්‍ය අප්‍රේල් 26 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“වසන්ත කරන්නාගොඩ බරපතල ලෙස මානව හිමිකමක් උල්ලංඝනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන විමර්ශන මගින් ලේඛනගත කොට ඇති චෝදනා බරපතල සහ විශ්වසනීය වේ,” යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ බ්ලින්කන් එම නිවේදනයේ පවසා තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාරයා ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති ලෙස රාජකාරි කරන සමයේ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමට සම්බන්ධ බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පිළිගැනීමයි.

 

වසන්ත කරන්නාගොඩ ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිව සිටි 2008-2009 කාල වකවානුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් ඇතුළු පිරිමි 11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක ප්‍රධාන චුදිතයකු වෙයි. 

 

රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවන්ට අනුව පැහැර ගත්තවුන් සිරකොටගෙන සිටි ත්‍රිකුණාමලයේ ගන්සයිට් භූගත සිර මැදිරි සංකීර්ණය මෙන්ම, කොළඹ චෛත්‍ය පාරේ පිහිටි 'පිට්ටු බම්බුව' නම් රැඳවුම් කඳවුරද නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකය විසින් පවත්වාගෙන ගොස් තිබෙන්නේ එවක නාවික හමුදාපතිවරයාව සිටි වසන්ත කරන්නාගොඩ දැනුවත්වය.

"නාවික හමුදා මුලස්ථානයේ නීති විරෝධි සිර මැදිරි පවත්වාගෙන යාමට ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමට පමණක් අවසරයක් හා බලයක් නොමැති බවද, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව හා ඔහුගේ අවසරය මත සිදුකරන ලද්දක් බවටද සාධාරණ සැකයක් මතුවේ," අධිකරණයට ඉදිරිපත් කෙරුණු වාර්තාවල දැක්වේ.

මෙම නඩුවේ අනිකුත් චුදිතයන් වන්නේ නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය පූකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කොමදෝරු දසනායක කංකානම්ලාගේ පියසේන දසනායක, විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී, ප්‍රධාන සුළු නිලධාරි මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහය.

යුද්ධයේ අවසාන වකවානුවේ කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ්, ඇන්ටනි කස්තුරි ආරච්චි, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, කනකරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ඔවුන්ට එරෙහි චෝදනා අතර වෙයි.

චූදිතයන් සියල්ලෝම ඇප පිට නිදහස්ව සිටිති. ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට එරෙහිවත් එක්සත් ජනපදය විසින් 2021 දී සංචාර තහනමක් පනවා තිබේ.

 

අදාළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක් කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිට් කඳවුරේදීත් මරා දමා ඇති බවය.

 

එම බිහිසුණු අපරාධය පිළිබඳව සත්‍යය හා යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් 2018 දී ප්‍රකාශයට පත් කළ ගවේෂණ වාර්තාව මෙතනින් කියවන්න:


සබැඳි ලිපි :

අමතකව ගිය වධබිමේ ලේ වැකි: ත්‍රීකුණාමලයේ ගන්සයිට් භූගත වධකාගාරය

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image