ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කිරීම මගින් රටේ ආරක්ෂාව පිරිහෙන බවත්,

එමගින් ආරක්ෂක අංශ සාමාජිකයන් දුර්මුඛ විය හැකි බවත් පවසමින් එවැනි නෛතික ක්‍රියා මාර්ගයන් ගැනීම නතර කර දමන්නැයි කලෙක පටන් කෙරෙන්නා වු ඉල්ලීමක් තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් බුද්ධි අංශ සාමාජිකයන් ඉලක්ක කර ' ව්‍යාජ චෝදනා නගමින් ' ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරෙන්නේ යැයි චෝදනා කරන ඇතැමුන් දේශපාලන බලාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ කවර තත්ත්වයක් යටතේවත් ආරක්ෂ අංශ සාමාජිකයන්ට එරෙහිව කවර හෝ පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ නොතබන ලෙසට ය.

 

ජනාධිපතිගේ අහිංසක 'CDS'

අපරාධ චෝදනා ලත් ආරක්ෂක අංශ සාමාජිකයන් අධිකරණය හමුවට පමුණුවීම 'රණවිරු දඩයමක්' ලෙස හුවා දක්වන බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ පිරිස් දැඩිව පවසන්නේ, ආරක්ෂක අංශ සාමාජිකයන් කටයුතු කරන්නේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බැවින් එවැනි ක්‍රියාවන් ‘අපරාධ’ ලෙස හැඳින්වීම වැරදි බව ය. සියලු මහජන නියෝජිතයන් හා රටේ විධායක ජනාධිපතිවරයා දරන මතය වන්නේ කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයෙක් කවර තත්ත්වයක් යටතේ හෝ අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් නොකිරීම ය.

Ravindra Navy

විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු සමයේ හමුදා බුද්ධි අංශ මැදිහත්වීම මත සිදු කෙරුණු පුද්ගල ඝාතන, පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ අතුරුදහන් කිරීම්වලට අදාළව දැනට සිදු කෙරෙමින් තිබෙන පරීක්ෂණවල පැහැදිලි සාක්ෂි මත එම අපරාධ සඳහා වගකිව යුතුව ඇති බුද්ධි අංශ සාමාජිකයන් හඳුනාගෙන සිටියද එවැනි පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බලපෑම් කරනු ලැබ ඇති බව 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' හෙවත් 'JDS' සංවිධානය විසින් වාර්තා කරනු ලැබුවේ වරක් දෙවරක් නොවේ.

බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාදාමයන් ද දැඩිව විවේචනය කරන ජනාධිපතිවරයා, අවස්ථා කිහිපයකදී ප්‍රසිද්ධියේම පවසා සිටියේ කිසිදු පදනමකින් තොරව 'රණවිරුවන්ට' එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරන්නට කටයුතු කරමින් සිටින බව ය.

ජනාධිපතිවරයාගේ මේ මැදිහත්වීම නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයන් කිහිප විටක්ම ව්‍යර්ත විය. වරක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (CDS) හඳුන්වන ලද්දේ කිසිදු වරදක් නොකළ 'අහිංසකයෙකු' ලෙස ය.

ඉන් නොනැවතුණු ජනාධිපති සිරිසේන එම පරීක්ෂණ මෙහෙයවන සීඅයිඩීයේ සංවිධානාත්මක මංකොල්ලකෑම් විමර්ශන අංශය බාර ස්ථානාධිපති, පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා එම දෙපාර්තමේන්තුවෙන් මාරුකර හරින ලෙසට පොලිස්පතිවරයා හරහා සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට බලපෑම් කරන්නට විය. ජනාධිපතිවරයා තමන්ට එවැනි නියෝගයක් කළේ යැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ‘පාස්කු දින ප්‍රහාරය’ පිළිබඳ තොරතුරු සොයා බලන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තේය.

එවැනි පසුබිමක අපරාධ චෝදනා ලත් බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව දැනට සිදු කෙරෙමින් තිබෙන පරීක්ෂණත් ඉදිරි අධිකරණ ක්‍රියාදාමයනුත් පවතින දේශපාලන ව්‍යාකූලත්වය මෙන්ම, ‘රණවිරුවන් ආරක්ෂා කිරීමේ’ සටන් පාඨය ළෙලවීමට පටන්ගෙන ඇති ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීම මත ඇණ හිටිය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ සැක පළ කරති.

පුද්ගල පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් සහ මනුෂ්‍ය ඝාතන වැනි බරපතල අපරාධ සිදුකර ඇති ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව එම අපරාධ සම්බන්ධයෙන් සීඅයිඩීය විසින් නීතිපතිවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත අධිචෝදනා පිළිබඳ තොරතුරු කිහිපයක් JDS වෙත ලැබී ඇත.

දැන ගන්නට ලැබෙන පරිදි, ඇතැම් විට ඉදිරියේදි මෙහි ඇතැම් චෝදනා සංශෝධනය වීමට ඉඩ ඇතිමුත් මූලික චෝදනා වෙනස් නොවේ. දැනට සකස් කෙරෙමින් තිබෙන චෝදනා පත්‍ර හෙළිදරවු කිරීමේ මූලිකම අරමුණ, එම නඩු පැවරුම්වලට එරෙහිව නැගෙන විරෝධතා හමුවේ දේශපාලන බලාධිකාරිය විසින් සියලු චෝදනා හකුලා ගන්නා ලෙසට පොලිස් ප්‍රධානීන්ට නියෝග කරනු ලැබීමේ අවදානමක් මේ වන විට මතුව තිබීම ය. අපරාධ පරීක්ෂණ විමර්ශකයන් සැක මතු කරන්නේ, විශේෂයෙන්ම ඉදිරි මැතිවරණ සමයට පෙර මෙම නඩු පැවරීමට නොහැකි වුවහොත් තත්ත්වය එසේ වනු ඇති බවට ය.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන වශයෙන්ම අධි චෝදනා ගොනු කරනු ලැබීමට කටයුතු යොදා ඇත්තේ, 2008 - 2009 කාලය අතරතුර කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් රහසිගත වධ කඳවුරුවල රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා පසුව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලෙස නම් කොට ඇති නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටි නිලධාරීන් පිරිසකට එරෙහිව ය.

ඒ හැරුණු විට ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම යන සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ බුද්ධි අංශ සහ හමුදා සාමාජිකයන් විශාල පිරිසකට එරෙහිවත් ඉදිරියේදි චෝදනා ගොනු කිරීමට නියමිතව ඇත.

 Gunside Trinko

වාර්තා වන පරිදි මේ තාක් ඔවුන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කොට නඩු පැවරීමට අපහසු වී ඇත්තේ එම සැකකාර නිලධාරීන් අනුයුක්තව සිටි හමුදා රෙජිමේන්තු ප්‍රධානීන් සහ යුද හමුදා ප්‍රධානීන්ගෙන් ද, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ද එම පරීක්ෂණ සඳහා නිසි සහයෝගයක් නොලැබෙන නිසා ය.

මෙම බාධා කිරීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම අධිකරණයේ අවධානයට යොමු කළ අතර ඒ තත්ත්වය සලකා බැලු මහේස්ත්‍රාත් අධිකරණය විසින් කිහිප විටක්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සියලුම ලේකම්වරුන්ටත් යුද හා නාවික හමුදාපතිවරුන්ටත් නියෝග කරනු ලැබුවේ අවශ්‍ය තොරතුරු සපයමින් පරීක්ෂණ සඳහා සහයෝගය ලබා දෙන ලෙසය. නමුත් ආරක්ෂක ලේකම්වරුන් හෝ හමුදාපතිවරුන් හෝ තවමත් එම නියෝගයන්ට අවනත වන බවක් පෙනෙන්නට නොමැත.

එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ජේඩීඑස් හා කියා සිටියේ අදාළ අපරාධ සම්බන්ධයෙන් සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්ගත කිරීමෙන් පසුව ඇප පිට නිදහස් කෙරුණු බුද්ධි අංශ සාමාජිකයන්ට මෙන්ම තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධි චෝදනා ගොනු කිරීමට කටයුතු යොදා ඇති බවය.

එම නිලධාරියා පැවසූයේ මෙසේ ගොනු කර ඇති චෝදනා සැකකරුවන්ට එරෙහි අවසන් චෝදනා නොවන අතර, නීතිපතිවරයාගේ අධීක්ෂණයට යොමු කළ පසු ඇතැම් විට නව චෝදනා ගොනු කිරීමට හෝ පවතින චෝදනා සංශෝධනය වීමට හෝ ඉඩ ඇති බවයි.

 

රණවිරු පැටිකිරිය

ඒ අනුව අධි චෝදනා ගොනු කිරීමට නියමිත බුද්ධි අංශ සාමාජිකයන් සහ ඔවුන්ට එරෙහි චෝදනාවන් කිහිපයක් මෙසේය.

1. හිටපු ලුතිනන් කොමදෝරු නිලන්ත සම්පත් මුණසිංහ

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික අධි සහායක ලෙස කටයුතු කරමින් සිටියදී, කරන්නාගොඩ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD - Colombo Crime division) කරන ලද පැමිණිල්ලක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 ජූනි 18 වැනිදා අත්අඩංගුවට ගනු ලබන මොහු රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමෙන් පසු ඇප පිට නිදහස් කරනු ලැබුණි. නැවත ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID -Terrorism Investigation Division) විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ 2015 මාර්තු 13 වැනිදා ය. ඒ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙනි. තෙමසක් රැඳවුම් නියෝග යටතේ සිටි මොහු පසුව නිදහස් කෙරෙන්නේ ඉදිරිපත් වන සාක්ෂිවල පරස්පරතාවන් හේතුවෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මංකොල්ලකෑම් විමර්ශන අංශය විසින් සම්පත් මුණසිංහ 2018 ජූනි 09 වැනිදා නැවත වතාවක් අත්අඩංගුවට ගනු ලැබෙන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට අවසර ලබා දෙන ලෙස දීර්ඝ කාලයක් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමෙන් පසුවය. ඒ කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවන් මත ය.

මුල් අවස්ථාවල අධිකරණය විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එකම චෝදනාවට දෙවරක් අත්අඩංගුවට ගත නොහැකිය යන නෛතික තර්කය මත වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු එම මතය බැහැර කරමින් කියා සිටියේ සම්පත් මුණසිංහ නැමැත්තා මෙයට පෙර මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන නොමැති බව ය.

පළමු අවස්ථාවේදි සම්පත් මුණසිංහට එරෙහිව එල්ල කෙරෙන චෝදනාව වන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කිරීම, ජීව උණ්ඩ ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකි. නමුත් පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාළ පරීක්ෂණ යටතේ මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවසර ඉල්ලා සිටින්නේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 296 වගන්තියට අනුව ය. එනම් මිනීමැරුම් චෝදනාව යටතේය. කෙසේ නමුත් 2019 පෙබරවාරි 26 වැනිදා අත්අඩංගුවට ගැනෙන සම්පත් මුණසිංහ මාස කිහිපයක් රීමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටීමෙන් අනතුරුව යළිත් වරක් ඇප පිට නිදහස් කෙරුණි.

සම්පත් මුණසිංහ පුද්ගල පැහැර ගැනීම් සිදුකළ කණ්ඩායම් මෙහෙයවා ඇති බවත් ඇතැම් පුද්ගලයන් පැහැරගැනීම සඳහා පෞද්ගලිකවම සහභාගිවී ඇති බවත් ඔහු හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ සමග තිබුණු සමීප සබඳතාව මත මෙන්ම ඔහුගේ අනුදැනුම සහිතව මෙම අපරාධ සිදුකර ඇති බවට කරුණු හෙළිදරවු වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියා සිටිති.

Sumith ranasingheසම්පත් මුණසිංහට එරෙහිව ගොනු කිරීමට නියමිතව ඇති අධි චෝදනාවන්ට, කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් විටින් විට පුද්ගලයන් එකොලොස් දෙනෙක් පැහැරගෙන යාම, එවැනි අපරාධ සිදුකළ නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයේ කණ්ඩායම් මෙහෙයවීම, පැහැරගෙන එන පුද්ගලයන්ව වධ කඳවුරුවල රහසිගතව රඳවාගෙන සිටීමට ආධාර අනුබල සැපයීම, එසේ පැහැරගත්තවුන් වධ බන්ධනයන්ට ලක් කිරීම සහ එසේ කිරීමට ආධාර අනුබල සැපයීම මෙන් ම එසේ පැහැරගෙන පැමිණි පුද්ගලයන්ව ඝාතනය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල සැපයීම යන කාරණා ඇතුළත්ය. මෙම චෝදනා සනාථ කිරීමට හැකි සාක්ෂි තමන් සතුව ඇතැයි සීඅයිඩීය සඳහන් කරයි.

2. ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ

මොහු හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට මෙන්ම නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කොමදෝරු ඩීකේපී දසනායකට ද අතිශය සමීප නිලධාරියෙකි. ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යායතන පරිශ්‍රයේ කෙලවරක (Naval and Maritime Academy - NAMA) රහසිගත ලෙස පිහිටුවා තිබුණු භූගත වධ කඳවුරක් වන ‘ගන්සයිට්’ කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත. අපරාධ පරීක්ෂණ විමර්ශකයන් විසින් අධිකරණ හමුවට ඉදිරිපත් කොට ඇති වැඩිදුර වාර්තාවන්වල (බී - වාර්තා) දැක්වෙන පරිදි නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයේ සාමාජිකයන් විසින් විටින් විට පැහැරගෙන එනු ලබන පුද්ගලයන් ගන්සයිට් වෙත රැගෙන ආ පසු ඔවුන් වධ බන්ධනයන්ට ලක් කිරීමත් ඝාතනය කිරීමත් මොහුගේ අනුදැනුම මත සිදුව තිබේ.

ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ 2008 -2009 අතර කාලයේදී නැගෙනහිර දිශාව බාර නාවික හමුදා බුද්ධි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර ඔහුට විශේෂ බුද්ධි ඒකකයේ සහ ගන්සයිට් කඳවුරු පරිශ්‍රයේ අණදෙන නිලධාරියා ලෙස වගකීම් පැවරී ඇත්තේ එම නිලයට අමතරවය. පුද්ගලයන් එකොළොස් දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ චෝදනා යටතේ සීඅයිඩීය විසින් මොහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2017 මාර්තු 22 වැනිදා ය. පැහැරගෙන එන පුද්ගලයන් සතු මෝටර් රථ, යතුරු පැදි ආදියේ අංක වෙනස් කොට ඒවා කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි කරන ස්ථානවලට විකිණීමේ ජාවාරමක් ද මොහු ඇතුළු පිරිස පවත්වාගෙන ගොස් ඇත.

එපමණක්ද නොව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති කස්තුරිආරච්චිලාගේ ජෝන් රීඩ් සතුව තිබුණු වෑන් රථයේ ඇන්ජිම ගලවා වෙනත් වාහනයකට සවි කොට එය කුලී පදනම මත නාවික හමුදාවටම ලබා දී ඇති බවත් පසුව එම වෑන් රථය මිනිසුන් පැහැර ගැනීමට යොදාගත් සුදු වෑන් රථයක් බවට පත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරී ඇති බී වාර්තාවන්හි දැක්වෙයි.

ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත අධි චෝදනාවන් කිහිපයක් වන්නේ, අලි අන්වර් නැමැත්තාව පැහැරගෙන පැමිණ කොළඹ ‘පිට්ටු බම්බුව’ නම් ස්ථානයේත් පසුව ත්‍රිකුණාමලය ‘ගන්සයිට්’ භූගත සිර කඳවුරේත් සඟවාගෙන සිටීම, කප්පම් මුදල් ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලයන් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ එසේ කුමන්ත්‍රණය කොට පැහැර ගැනීම, එසේ පැහැරගෙන පැමිණෙන පුද්ගලයන් තමන් බාරයට ගෙන ගන්සයිට් භූගත සිර කඳවුරේ සිරකර තබා ගෙන සිට වධ බන්ධනයන්ට ලක් කිරීම මෙන්ම එසේ කිරීමට ආධාර අනුබල දීම, පුද්ගලයන් එකොළොස් දෙනෙක් ඝාතනය කරවීම සහ පසුව එම පුද්ගලයන්ගේ සිරුරු විනාශ කිරීමට ආධාර, අනුබල මෙන්ම අණ ලබා දීමත්ය.

කෙසේ නමුත් මේ වන විට ඇප පිට නිදහස්ව සිටින මොහුව නැවත සේවයේ පිහිටුවමින් කොමදෝරු නිලයට උසස් කොට 2018 නොවැම්බර් මස 19 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ‘අධ්‍යක්ෂක මෙහෙයුම්’ (ගොඩබිම්) නිලධාරියා ලෙස සේවයෙහි පිහිටුවා ඇත. නමුත් සැබවින්ම මොහුව අනුයුක්ත කොට තිබෙන්නේ නාවික හමුදා බුද්ධි අංශයටය. ඒ හිටපු නාවික හමුදාපතිවරයෙක් වු අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ නියෝගයකට අනුව ය.

මෙම අපරාධයේ ප්‍රධානතම සාක්ෂිකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු ක්‍රිෂාන් චින්තක වෙලගෙදර විසින් 2018 දෙසැම්බර් 06 දාතමින් ජාතික මානව හිමිකම් කොම්සම් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ සුමිත් රණසිංහ අධ්‍යක්ෂක මෙහෙයුම් නිලයේ රැඳි සිටිමින් බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ කාර්යයේ නිරතව සිටින බව ය.

Dasnayaka

එසේම එම කාර්යය සඳහා ඔහුට සන්නද්ධ සෙබළුන්ගේ ආරක්ෂාව ද සහිතව නිල මැදිරියක් ද සපයා දී ඇති බවත් ඔහු යටතේ පුද්ගල අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ, ඇප පිට නිදහස්ව සිටින නාවික සෙබළුන් පිරිසක් ද සේවය කරන බවත් එම ලිපියේ සඳහන්ය. සාක්ෂිකරුවකු වන තමාගේ ජීවිතයට එමගින් බරපතල තර්ජනයක් මතුව ඇති බවත් ක්‍රිෂාන් වෙලගෙදර ඔහුගේ ලිපිය මගින් අවධාරණය කරනු ලබයි.

3. කොමදෝරු දසනායක කන්කානම්ලාගේ පියසේන දසනායක (ඩීකේපී දසනායක)

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන්ව පැහැරගෙනවිත් ඔවුන්ව රහසිගත කඳවුරුවල සිරකොට තබා ගෙන සිට පසුව ඝාතනය කිරීමට අණ දෙමින් එම අපරාධ සඳහා දායක වු සෙසු පිරිස් මෙහෙයවනු ලැබ තිබෙන්නේ මෙම ඩීකේපී දසනායක විසිනි. අද්මිරාල් කරන්නාගොඩ නාවික හමුදාපති ධූරය දරණ සමයේ නාවික හමුදා නිල බුද්ධි අංශයට පරිබාහිරව රහසිගත ලෙස ස්ථාපිත කොට තිබුණු නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ ද කොමදෝරු දසනායක ය. ඒ, ඒ වන විටත් ඔහු දරමින් සිටි නිල තනතුර වන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට අමතරවය.

එම විශේෂිත බුද්ධි ඒකකය සෘජුවම අද්මිරාල් කරන්නාගොඩට වග කියනු ලැබුවක් වන අතර එම ඒකකය විසින් සිදු කරන ලද අපරාධ සියල්ල අද්මිරාල් කරන්නාගොඩ විසින් ද දැන සිට ඇති බව අධිකරණය හමුවට ඉදිරිපත්ව ඇති වාර්තාවල දැක්වෙයි. එපමණක්ද නොව, කොළඹ නාවික නෞකා පරාක්‍රම ආයතන (SLNS Parakrama) පරිශ්‍රයේ පිහිටි ‘පිට්ටු බම්බුව’ සහ ත්‍රිකුණාමලය ‘ගන්සයිට්’ නැමති කඳවුරු මොහුගේ සෘජු අධික්ෂණයටත්, අණ දීමටත් යටත්ව පාලනය කෙරි ඇති බව ද එම වාර්තාවන්වල වැඩිදුරටත් දැක්වෙයි.

කොමදෝරු දසනායකට එරෙහිව ගොනු කිරීමට නියමිත අධි චෝදනාවන් කිහිපයක් වන්නේ, ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ යටතේ කප්පම් කණ්ඩායම් පිහිටුවා කප්පම් මුදල් ලබා ගැනීමට මිනිසුන් පැහැරගෙන ඒම, එම කණ්ඩායම්වලට අණදීම, පුද්ගල පැහැර ගැනීම් සිදුකිරීම, එසේ පැහැරගෙන එන පුද්ගලයන්ව රහසිගත කඳවුරුවල සිරකර තැබීම, අමලන් ලියෝන් සහ රොෂාන් ලියෝන් පැහැර ගැනීමට සෘජුවම සම්බන්ධවීම, පැහැරගෙන පැමිණෙන පුද්ගලයන් වධහිංසාවන්ට ලක් කිරීම, පැහැරගෙන පැමිණෙන පුද්ගලයන්ගේ රථවාහන සිය පෞද්ගලික පරිහරණය සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලබා ගැනීම, පැහැරගෙන පැමිණි පුද්ගලයන් ඝාතනය කිරීමට අණදීම සහ එසේ ඝාතනය කරනු ලැබුවන්ගේ මළ සිරුරු විනාශ කර දැමිමට කටයුතු සැලැස්වීම ආදිය වේ.

ඩීකේපි දසනායක මේ වන විට ඇප පිට නිදහස්ව සිටින අතර එසේ නිදහස් වීමෙන් අනතුරුව ඔහුව ද නාවික හමුදාවේ සේවය සඳහා නැවත බඳවා ගෙන ඇත. ජේඩීඑස් වෙත වාර්තා වී ඇති පරිදි ඩීකේපී දසනායක වර්තමානයේ සේවය කරනු ලබන්නේ කොළඹ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රධාන සුබ සාධන නිලධාරියා ලෙස ය. කප්පම් සඳහා මිනිසුන් පැහැරගෙනවිත් එහි රැඳවීමටත්, වධ බන්ධන පැමිණවීමටත් අණදුන් ප්‍රධානතම පුද්ගලයා ඇප පිට නිදහස්ව පැමිණි පසු එහිම සේවයට යෙදවීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිය.

අපරාධ විෂයයෙහි ප්‍රවීන නීතිඥයින් පවසන්නේ, ඉහළ නිලයක් දරණ අපරාධ චූදිත පුද්ගලයෙකු එම අපරාධ සිදුකර ඇති බව පැවසෙන ස්ථානයෙහි ම නැවත සේවයෙහි පිහිටුවීම මගින් සාක්ෂි විනාශ කිරීමටත් ඔහුට එරෙහිව සාක්ෂි ලබා දීමට නියමිත පහළ නිලයන් තර්ජනය කොට බිය වැද්දීමටත් හැකියාවක් පවතින බව ය. එපමණක්ද නොව ඔහුට එරෙහිව ඇති අපරාධ චෝදනාවන් නොසලකා හරිමින් ඉදිරියේදි රියාර් අද්මිරාල් ධූරයට උසස් කිරීමට නියමිත බව ද දැන ගන්නට ඇත. ඒ දේශපාලන බලාධිකාරිත්වයේත් නාවික හමුදාවේ ඉහළ නිලයන්ගේත් මැදිහත්වීම මත ය.

4. ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් කුමාර හෙට්ටිආරච්චි

ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ මෙන්ම මොහුද කොමදෝරු ඩීකේපී දසනායකට ඉතාම සමීප නිලධාරියෙකි. ඩීකේපී දසනායක විශේෂ බුද්ධි අංශය මෙහෙයවන සමයේ නැගෙනහිර ප්‍රදේශය, විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ විශේෂ බුද්ධි කටයුතු සුමිත් රණසිංහ යටතට පත්කර තිබු අයුරින්ම, විශේෂ බුද්ධි ඒකකයේ කොළඹ ඒකකයේ වගකීම බාරදී තිබුණේ හෙට්ටිආරච්චි වෙතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර අවස්ථාවකදී අධිකරණය හමුවට වාර්තා කරනු ලැබුවේ ‘පිට්ටු බම්බුව’ නම් රහසිගත කඳවුර ඩීකේපී දසනායකගේ අණදීමට යටත්ව එහි අධීක්ෂණය සහ පාලනය සිදුකෙරී ඇත්තේ ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි විසින් බවයි. පුද්ගයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණවලදි ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ද එම අපරාධයට වගකිව යුතු බව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ වී ගියේ ඔහු සිටි ස්ථානයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ විමර්ශකයන් අසමත් වු බැවිනි.

පසුව අධිකරණය හමුවේ හෙළිදරවු වූයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, රහසිගතව ඔහුව නාවික හමුදා මුලස්ථානයේම සඟවා තබා ගෙන සිට ඇති බව ය. එසේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින්ම ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසනු ලැබ, කොමදෝරු හෙට්ටිආරච්චිව රහසිගතව විදෙස්ගත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරෙක පැවසීය. කෙසේ නමුත් ඉකුත් වසරේ, එනම් 2018 අගෝස්තු 14 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්වන කොමදෝරු හෙට්ටිආරච්චි මේ වන විටත් පසුවන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේය.

Chandana Prasadඅද්මිරාල් විජේගුණරත්න විසින් ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි නාවික හමුදා මුලස්ථානයේ සඟවා ගනු ලැබ සිටි බවට සීඅයිඩීය හමුවේ සාක්ෂි ලබා දුන් හිටපු ලුතිනන් කොමදෝරු ලක්සිරි ගලගමගේට පහරදී මරණීය තර්ජන කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පසුව ඇප පිට නිදහස් කෙරුණි.

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ද පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු අයෙකි. මොහු ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර හරිනු ලැබුණේ, ඒ සම්බන්ධව සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිංහල කතා කරන ජූරි සභාවක් විසින් මධ්‍යම රාත්‍රියේදී දෙන ලද නඩු තීන්දුවකින් පසුවය. එම තීන්දුවට එරෙහිව පසුව අභියාචනයක් ඉදිරිපත් කෙරුණද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ සැකකරුවන් සිටින ස්ථානයක් පිළිබඳව සොයා ගැනීමට නොහැකි බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට එරෙහිව ඉදිරිපත් කරනු ලැබීමට නියමිත අධිචෝදනා කිහිපයක් වන්නේ, කප්පම් මුදල් ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙක් පැහැර ගැනීම, පැහැරගෙන එන අයව ‘පිට්ටු බම්බුව’ නම් රහසිගත වධ කඳවුරේ සිරකර තැබීම, රැඳවියන් වධ බන්ධනයන්ට ලක් කිරීම, කප්පම් ලබා ගැනීම, විවිධ අපරාධ සිදුකළ කණ්ඩායම්වලට නායකත්වය සැපයීම, එවැනි අපරාධවලට ආධාර අනුබල සැපයීම හා අණදීම, පැහැරගෙන පැමිණි පුද්ගලයන්ව ඝාතනය කරවීම සහ කොමදෝරු දසනායකගේ අණ දීමට යටත්ව පිට්ටු බම්බුව නම් කඳවුර මෙහෙයවීම ආදිය වේ.

5. නාවික නැවි තිලකරත්න ලක්ෂ්මන් උදයකුමාර

මොහු සම්පත් මුණසිංහ යටතේ කටයුතු කර ඇති අතර රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරම් රාමලිංගම්, මොහොමඩ් සහිඩ්, ජමාල්ඩීන් ඩිලාන් නැමති පස්දෙනා දෙහිවල ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයේ සාමාජිකයකුව සිටි අයෙකි. ඔවුන්ව පැහැරගෙන පැමිණ කොමදෝරු හෙට්ටිආරච්චිගේ භාරයට පත් කිරීමෙන් පසු, එම රැඳවියන් මුර කිරීම භාර දී ඇත්තේ මෙම නාවික නැවි ලක්ෂ්මන් උදයකුමාරට ය.

ඒ අනුව පුද්ගලයන් පස් දෙනෙක් පැහැරගෙන පැමිණ සිරකර තබා ගැනීම, වධ බන්ධනයන්ට ලක් කිරීම, විවිධ අවස්ථාවල කප්පම් ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලයන් පැහැරගෙන පැමිණ කොමදෝරු හෙට්ටිආරච්චි බාරයට පත් කිරීම, එසේ පැහැරගෙන එන පුද්ගලයන් අතුරුදහන් කිරීම යන චෝදනා මොහුට එරෙහිව එල්ල කෙරී ඇත.

නාවික නැවි උදයකුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණද පසුව ඇප මත නිදහස් කෙරුණි.

6. නාවික නැවි කාරියවසම් ගමහේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසූරිය

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් 2017 අප්‍රේල් 21 වැනිදා මොහු අත්අඩංගුවට ගනු ලබන අතර, මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.

නාවික නැවි වික්‍රමසූරියට එරෙහිව ඇති චෝදනා වන්නේ, අලි අන්වර් නැමැත්තා පැහැර ගැනීම, දෙහිවල ප්‍රදේශයේදි රාජීව් නාගනාදන් ඇතුළු පස් දෙනෙක් පැහැර ගැනීම, කස්තුරිආරච්චිගේ ජෝන් රීඩ් සහ කස්තුරිආරච්චිගේ ඇන්ටන් යන පිය පුතු දෙදෙනාව පැහැර ගැනීම, අමලන් ලියෝන් සහ රෝෂාන් ලියෝන් යන පිය පුතු දෙදෙනාව පැහැර ගැනීම, පැහැරගෙන එන පුද්ගලයන් රහසිගත කඳවුරු තුළ රඳවා තබා ගෙන සිටීම, වධ බන්ධනයන්ට ලක් කිරීම, පැහැර ගෙන එන පුද්ගලයන් ඝාතනය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල සැපයීමය.

7. නාවික නැවි තම්මිට ඉහළගෙදර ධර්මදාස

මොහු අත්අඩංගවට ගනු ලබන්නේ ද 2017 අප්‍රේල් 21 වැනිදා ය.

නාවික නැවි වික්‍රමසූරිය සහ තවත් අය සමග මොහුද රාජීව් නාගනාදන් ඇතුළු පිරිස පැහැර ගැනීම සඳහා සහභාගී වී ඇති අතර, දෙහිවලදී පැහැර ගැනුණු රාජීව් නාගනාදන්ගේ කළු පැහැති ‘ඉන්ඩිගෝ’ වර්ගයට අයත් මෝටර් රථය ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහට ලබා දී තිබෙන්නේ ද මොහු විසිනි. එම මෝටර් රථය කැබැලි කර මුහුදේ ගිල්වන ලෙස එවක බුද්ධි අධ්‍යක්ෂක කපිතාන් ආනන්ද ගුරුගේ විසින් අණ කෙරී ඇති බවත් සුමිත් රණසිංහගේ නියෝගය පිට එම රථය මුහුදේ ගිල්වන බවට ව්‍යාජ ලෙස පෙන්නා ඡායාරූප ගෙන, එම ඡායාරූප කපිතාන් ආනන්ද ගුරුගේට පෙන්වා ඇති අතර සැබැවින්ම එම මෝටර් රථය කොමදෝරු ඩීකේපි දසනායකට එවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ හෙළිදරව් කළේය. ලුතිනන් කොමදෝරු ක්‍රිෂාන් චින්තක වෙලගෙදර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති ප්‍රකාශයන්ට අනුව එම මෝටර් රථය පසුව කොමදෝරු දසනායක විසින් සිය බිරිඳගේ උපන්දිය සඳහා තෑග්ගක් වශයෙන් ලබා දී ඇත.

මොහුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනා වන්නේ, කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගැනීම, රඳවා තබාගෙන සිටීම හා එම රැඳවියන් වධ බන්ධනයන්ට ලක් කිරීම ය.

Sumith Ranasinghe 

8. නාවික නැවි රාජපක්ෂ පතිරණගේ කිත්සිරි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මංකොල්ලකෑම් පිළිබඳ විමර්ශන අංශය විසින් 2017 ජූනි 19 වැනිදා අත්අඩංගුවට ගනු ලබන නාවික නැවි රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කොමදෝරු ඩීකේපී දසනායක මෙන්ම ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි යටතේ ද කටයුතු කොට ඇති අතර ඔවුන් දෙදෙනාගේම නියෝගයන්ට අනුව පුද්ගල පැහැර ගැනීම් සිදුකර ඇති බව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරී ඇති වාර්තා සඳහන් කරයි.

අලි අන්වර්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, ජෝන් රීඩ් සහ රාජිව් නාගනාදන් ඇතුළු සිසුන් පස්දෙනා පැහැර ගැනුණු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇති මොහුට එරෙහිව පුද්ගල පැහැර ගැනීම් ඇතුළු චෝදනාවන් ගණනාවක් එල්ල කෙරි ඇත.

9. පාලක ප්‍රධාන සුළු නිලධාරී, මුතුවාහැන්දිගේ අරුණ තුෂාර මෙන්ඩිස්

මොහු ද ඩීකේපි දසනායක යටතේ කටයුතු කර ඇති අතර පසුව ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහ යටතේ විශේෂ රාජකාරි සඳහා ත්‍රිකුණාමලය ගන්සයිට් භූගත කඳවුරට අනුයුක්ත කොට තිබේ. ඒ කොමදෝරු දසනායකගේම නියෝගයක් මත ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති වැඩිදුර වාර්තාවන්ට අනුව ගන්සයිට් කඳවුරේ සඟවාගෙන සිටි පුද්ගලයන් එකොළොස් දෙනා ඝාතනය කිරීමෙන් පසු මළ සිරුරු පොලිතින් කවරවල ඔතා මුහුදට රැගෙන ගොස් දමා ඇත්තේ මොහු ඇතුළු පිරිසකි.

Krishan Welagedara

ලුතිනන් කොමදෝරු ක්‍රිෂාන් වෙලගෙදර විසින් සීඅයිඩීය හමුවේ කර ඇති ප්‍රකාශයට අනුව ඒ බැව් සනාථ කෙරෙන්නේය. ඔහු විසින් ලබා දී තිබෙන එම ප්‍රකාශයට අනුව තමන් එක් අවස්ථාවක එම රැඳවියන් රඳවා සිටි සිරමැදිරි පරිශ්‍රයට ගිය බවත් එසේ යන විට ඉහත සැකකරු ඇතුළු පිරිසක් මළ සිරුරු කිහිපයක් පොලිතින් කවරවල ඔතමින් කැබ් රථයකට පටවනු දුටු බවත් පසුව ඒ අසල සිටි තමන්ට හිතවත් සෙබළුන් කිහිප දෙනෙක් "සර්, ඊයේ රෑ උන්ට ගහලා දැම්මා" යනුවෙන් කියා සිටි බවත් ප්‍රකාශ කොට තිබේ.

මෙම සාක්ෂි මත පදනම්ව පාලක සුළු නිලධාරි අරුණ තුෂාර මෙන්ඩිස් නැමැත්තාට එරෙහිව ද මනුෂ්‍ය ඝාතන සිදුකිරීම, මළ සිරුරු සැඟවීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ නඩු පැවරීමට නියමිතය.

10. ඉඹුලාන ලියනගේ චමින්ද කුමාර නොහොත් අන්නච්චි

නාවික හමුදා විශේෂ බුද්ධි අංශයේ කණ්ඩායම් විසින් පැහැරගෙන පැමිණෙන ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිකයන් රහසිගත වධ කඳවුරුවල සිරකල පසුව කොමදෝරු දසනායකගේත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ සුමිත් රණසිංහගේත් නියෝග මත එම රැඳවියන්ගේ දෙමාපියන් සහ ඥාතීන්ට දුරකතන මගින් කතා කොට කප්පම් මුදල් ඉල්ලා ඇති ප්‍රධාන පුද්ගලයෙක් වන්නේ චමින්ද කුමාර නොහොත් අන්නච්චිය. ඒ, පුද්ගල පැහැරගැනීම් සඳහා සම්බන්ධ වීමට අමතරවය.

ඇතැම් අවස්ථාවල ඔහු ම රැඳවියන්ගේ දෙමාපියන්ට, ඥාතීන්ට කතා කොට කප්පම් මුදල් ඉල්ලා තිබේ. මොහු විවිධ නම්වලින්, එකිනෙකට වෙනස් දුරකතන අංක සහිත සිම්කාඩ්පත් උපයෝගි කරගෙන කප්පම් මුදල් ඉල්ලා තිබේ. චමින්ද කුමාර විසින් භාවිතාකර ඇති දුරකතන සිම්පත් යොදාගෙන කොමදෝරු දසනායකද විවිධ පුද්ගලයන්ට කතා කොට කප්පම් මුදල් ඉල්ලා තිබෙන බව අධිකරණය හමුවට වාර්තා කෙරී ඇත.

සිය පුත්‍රයා සහ සැමියා, එනම් කස්තුරිආරච්චිගේ ජෝන් රීඩ් සහ කස්තුරිආරච්චිගේ ඇන්ටනි යන දෙදෙනාව නාවික හමුදාවෙන් පැහැරගෙන ගිය පසුව ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට නම් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අවශ්‍ය බව පවසමින් කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයේදි ලක්ෂ 5ක මුදලක් තමාගෙන් ලබා ගත්තේ චමින්ද කුමාර නොහොත් අන්නච්චි විසින් බව පැවසූ සැම්සුන් නිහාරා විසින් පසුගිය පෙබරවාරි මාසයේදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදී මොහුව හඳුනා ගනු ලැබුණි.

චමින්ද කුමාරට එරෙහිව ගොනු කොට තිබෙන චෝදනා කිහිපයක් වන්නේ, පුද්ගල පැහැරගැනීම් සිදු කිරීම, පැහැරගෙන පැමිණෙන පුද්ගලයන් රඳවා තබා ගැනීම, විවිධ නම් භාවිතා කරමින් රැඳවියන්ගේ ඥාතීන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටීම, කප්පම් ලබා ගැනීම, පුද්ගල ඝාතන සහ මළ සිරුරු සැඟවීමට ආධාර උපකාර කිරීම ආදිය ය.

11. නාවික සෙබළ කස්තුරි ආරච්චිගේ ගාමිණි නොහොත් අම්පාරේ ගාමිණි

ප්‍රධාන වශයෙන් අලි අන්වර්, අමලන් ලියෝන් සහ රෝෂාන් ලියෝන් පැහැර ගැනීමටත් තවත් බොහෝ දෙනෙක් පැහැර ගැනීමට සම්බන්ධවීමත් යන චෝදනාවන් මත මොහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2018 ජනවාරි 15 වැනිදා ය.

පුද්ගල පැහැර ගැනීම්, රඳවා තබා ගැනීම, ඝාතනය කිරීම සහ මළ සිරුරු මුහුදට දැමීම පිළිබඳව මොහුට එරෙහිව චෝදනා එල්ල කෙරී ඇත.

12. නාවික සෙබළ සෝමදාස

කස්තුරිආරච්චිගේ ජෝන් රීඩ් සහ අලි අන්වර් ද, පසුව කස්තුරිආරච්චිගේ ඇන්ටනි ද පැහැර ගැනීමට තමා සෘජුවම සම්බන්ධ වූ බවත්, ඩිකේපී දසනායකගේ සහ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිගේ නියෝග මත එසේ සිදුකළ බවත් පවසමින් නාවික සෙබළ සෝමදාස විසින් ඉකුත් පෙබරවාරි මාසයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ දීර්ඝ පාපොච්චාරණයක් කරනු ලැබුණි. ඒ, ඒ හා සමාන ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදු කරනු ලැබීමෙන් අනතුරුවය.

තමා, කස්තුරිආරච්චිගේ ඇන්ටන් පැහැර ගැනීමට පැමිණි කණ්ඩායමේ සාමාජිකයකුව සිටි බවට ද මොහු විසින් පිළිගෙන තිබේ.

මොහුට එරෙහිව ලැබි ඇති සාක්ෂි මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කොට ඇති චෝදනාවන් වන්නේ, ඉහත සඳහන් පුද්ගලයන් ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනෙක් කප්පම් මුදල් ලබා ගැනීම වෙනුවෙන් පැහැර ගැනීම, පිට්ටු බම්බුව නම් ස්ථානයේ එම පුද්ගලයන් සිරකර තැබීමට කටයුතු කිරීම, එම පුද්ගලයන් වධහිංසාවන්ට ලක් කිරීම, ඝාතනය කිරීම සහ ඝාතනය කිරීම සඳහා අධාර අනුබල සැපයීම ආදිය වේ.

මෙයට අමතරව පුද්ගල පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම, මනුෂ්‍ය ඝාතනය ඇතුළු චෝදනා රාශියක් යටතේ නඩු පැවරීමට නියමිත නාවික හමුදා විශේෂ බුද්ධි ඒකකයේ අනෙකුත් සාමාජිකයන් අතර 2008 වසරේ සිට 2011 කාලය දක්වා ගන්සයිට් භූගත සිර මැදිරි සංකීර්ණයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කර ඇති, නාවික සෙබළ නන්දිප්‍රිය හෙට්ටිහැන්දි ද සිටියි.

ඊට අමතරව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපෝච්ඡාරණයක් සිදුකරමින් තමන් දසනායක, හෙට්ටිආරච්චි සහ සුමිත් රණසිංහ යන අයගේ නියෝග මත කප්පම් මුදල් ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලයන් පැහැරගත් බවට පිළිගෙන ඇති නාවික නැවි කුමාර කෝට්ටේගොඩ, නාවික නැවි ඩිලන්ත සේනාරත්න, නාවික සෙබළ විජේකෝන් මුදියන්සෙලාගේ පොඩි කුමාර ද සිටිති. මීට අමතරව පුද්ගලයන් පැහැර ගැනීමට ඩීකේපී දසනායක ඇතුළු පිරිසට ඔත්තු සපයා ඇති බව පැවසෙන සිවිල් පුද්ගලයෙකු වන ඇන්ටන් ප්‍රනාන්දුට ද නඩු පැවරීමට නියමිතය.

ඉහත දැක්වූ සියලු සැකකරුවන් අතරින් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ ඉඹුලාන ලියනගේ චමින්ද කුමාර නොහොත් අන්නච්චි යන දෙදෙනා හැරුණු විට සෙසු සියලු සැකකරුවෝ ඇපමත නිදහස්ව සිටිති.

මෙම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් වැඩි දෙනෙක් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක සංචිතයට අයත් ය.

Wasantha karannagoda sumith

සාපරාධී 'රණවිරුවන්ට' අධිකරණ රැකවරණ

මේ හැරුණු විට කොළඹ කොටහේන ප්‍රදේශයේදී 2009 ජනවාරි 11 වැනිදා වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකුව පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සහ එම වෑන් රථය ද පැහැර ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සිටි ලුතිනන් කොමදෝරු ධම්මික අනිල් මාපා නැමැත්තා ද මේ වන විට සිටින්නේ ඇප ලබා නිදහස්ව ය.

කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ලත් නාවික හමුදා විශේෂ බුද්ධි අංශයේ ඉහත කී පිරිසට අමතරව, එම අපරාධයටම වගකිව යුතු යැයි චෝදනා ලැබ සිටින ඉහළම ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා වන්නේ හිටපු නාවික හමුදාපතිවරු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ට එරෙහිව මූලික සාක්ෂි රැස් කොට වැඩිදුර විමර්ශන සිදුකිරීම ආරම්භ කිරීමත් සමඟම තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් වසන්ත කරන්නාගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුණි. එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් 'රණවිරුවකු' වන වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වාරණය කරන බවට තීන්දු කෙරුණි.

පසුගිය කාලයේ සිදු කෙරුණු සුවිශේෂි ඝාතන සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත සහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිට මේ වන විට ඇප පිට නිදහස්ව සිටින බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකගේ තොරතුරු කිහිපයක් පහත දක්වමු.

 

ප්‍රගීත්, ලසන්ත හා කීත්: සන්නද්ධ බුද්ධි බලකා වික්‍රම

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බුද්ධි අංශ සාමාජිකයන් වන්නේ ලුතිනන් කර්නල් එරන්ත පිරීස්, ලුතිනන් කර්නල් ෂම්මි කුමාර කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ලුතිනන් චමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන්වරු වන රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර නොහොත් නාදන්, සෙනවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවි, සාජන් මේජර් වඩුගෙදර විනි ප්‍රියන්ත ඩිලංජන්, සැරයන් තරංග ප්‍රසාද් ගමගේ, කෝප්‍රල්වරු වන ඩබ්ලියුඑස්ඒ උලුගෙදර, උපසේන නොහොත් සුරේෂ්, සෙනවිරත්න මුදියන්සෙලාගේ රවීන්ද්‍ර රූපසිංහ නොහොත් රංජි, අනුර ජයතිලක යන පිරිස ය.

Bulathwatta අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කොට ඇති පරිදි මේ සියලු දෙනා ගිරිතලේ යුද හමුදා කඳවුරේ ස්ථානගත කෙරී තිබී ඇති යුද හමුදා බුද්ධි බලකායට අනුයුක්තව කටයුතු කළ පිරිසකි.

මෙම අපරාධ ද්විත්වය එකම බුද්ධි අංශ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ තිබෙන අතර එම කණ්ඩායම මෙහෙයවා තිබෙන්නේ මේජර් ප්‍රභාත් සීවලි බුලත්වත්ත ය. මේ සියලු දෙනා මරදාන ට්‍රිපොලි කඳවුරේ ස්ථානගත කෙරී තිබුණු දෙවන සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව සිටි අය වෙති. කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ මේජර් සීවලි ප්‍රභාත් බුලත්වත්ත, හේමචන්ද්‍ර පෙරේරා, නිශාන්ත ජයතිලක, ආර් නිමල්, කුමාර, විමලවීර ඇතුළු පිරිසකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව මෙම කණ්ඩායමට අමතරව යුද හමුදා බුද්ධි බලකායේ දෙවන බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදුලාගම නැමැත්තාටද චෝදනා එල්ල වී ඇත. උදුලාගම ඇප මත නිදහස් වීමෙන් පසුව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර තිබුණේ විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණගේ මැදිහත්වීම මත ය.

මේ වන විට මේ සියලු දෙනා ඇප මත නිදහස්ව සිටිති. පසුගිය දිනවල ඇති වූ මුස්ලිම් විරෝධී ප්‍රහාරවලින් පසු යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විසින් මේජර් බුලත්වත්ත යුද හමුදා මුලස්ථානයේ විශේෂ රාජකාරි සඳහා බඳවා ගන්නා ලද්දේ පසුගිය ආණ්ඩු සමයෙහි ඔහුගෙන් සිදුවූ සුවිශේෂී කාර්ය භාර්ය පිළිබඳව ඇගයීමක් ද කරමිනි.

උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳට පහර දීමට ද මේජර් බුලත්වත්ත ඇතුළු කණ්ඩායම වගකිව යුතු යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි. ඒ ඔවුන් විසින් භාවිතා කර ඇති ජංගම දුරකතනවල දත්ත සහ සංඥා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ය.

ඒ හැරුණු විට ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් 2010 වර්ෂයේදි මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ද අත්අඩංගුවට ගෙන තෙමසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිට නිදහස් කරන ලදි. 'යහපාලන ආණ්ඩුව' බලයට පත්වීමෙන් පසු ඔහු නැවත සක්‍රීය හමුදා සේවයෙහි පිහිටුවූයේ උසස්වීමක් ද ලබා දෙමිනි .

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සහ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවීම ආදි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට දැනට ඇපමත නිදහස්ව සිටින ඉහළම ආරක්ෂක නිලධාරියා වන්නේ යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ද වූ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ය.

නමුත් ඔහුට අණ ලබා දී තිබුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්ෂක උපදේශකවරයාද වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ සහ එවකට ආරක්ෂක ලේකම්ව සිටි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමක් හෝ ප්‍රශ්න කිරීමක් හෝ සිදුවී නොමැත. එයට බලපා ඇති හේතුව දේශපාලන බලධාරීන් ඔවුන් දෙදෙනාව සැකකරුවන් ලෙස නම් කිරීමෙන් වළකින්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් කර ඇති තරවටුවය.

 

නීතිපතිගේ සැළකිල්ල

කෙසේ නමුත් ඉදිරියේදී මෙම චූදිතයන්ගේ ලේඛනය තවත් දීර්ඝ විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා පවසයි. එයට හේතුව වන්නේ දැනට සිදු කෙරෙන පරීක්ෂණවලට අනුව අත්අඩංගුවට ගැනීමට නියමිත තවත් බුද්ධි අංශ සමාජිකයන් පිරිසකගේ තොරතුරු අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ ප්‍රකාශවලින් හෙළිදරවු වී ඇති බැවිනි. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ නොසැළකිලිමත්බව හා පරීක්ෂණවලට එරෙහි දේශපාලන මැදිහත්වීම මත මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පවරා දඬුවම් පැමිණවීමට ඇති අවස්ථාව ඉතාම අවම බව එම නිලධාරින්ගේ අදහසය.

මේ අතර නව නීතිපති දප්පුල ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්නටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නටත් එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරටත් නියෝග කර තිබෙන්නේ ප්‍රධාන අපරාධ සතරක් පිළිබඳව මේ තාක් කෙරුණු පරීක්ෂණවලට අදාළ උධෘත තමන් වෙත ලැබීමට සලස්වන ලෙසය.

නමුත් ජේඩීඑස් සතු තොරතුරුවලට අනුව මේතාක් සිදු කෙරුනු සියලු පරීක්ෂණවලට අදාළ නඩු පැවරුම් මෙන්ම වැඩිදුර විමර්ශන සඳහා උපදෙස් ලබා දීම ඇණහිට තිබෙන්නේ අදාළ පරීක්ෂණ බාරව සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ නොසැළකිලිමත්කම හා ඔවුන් එම සැකකරුවන් සමග පවත්වන සමීප සබඳතාව නිසාවෙනි. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම ආරක්ෂක අංශවල නීති උපදේශකයන් ලෙස එකවිට කටයුතු කරමින් සිටි සහ සිටින ඇතැම් නීතිඥවරුන්, සැකකාර බුද්ධි අංශ සාමාජිකයන්ට වාසිදායක වන අයුරින් කටයුතු කරන බවට එල්ල වන චෝදනාවන් ද බැහැර කළ නොහැකි ය.☐

© JDS
(jdslanka.org/s - කිත්සිරි විජේසිංහ විසිනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්