ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් විමෙන් පසු ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ජනතාවට ලබා දුන් බදු සහන අද (ජනවාරි 01) දිනයේ සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා එබව කියා සිටියේය.

“උපයන විට බද්ද අහෝසියි. රැඳවුම් බදු අහෝසියි. වැට් අනුපාතය 8% ක්. යෝජනා කළ අනෙක් බදු සහන ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි“ ඔහු එහිදී සඳහන් කළේය.

මිලියන 300ට අඩු සීමාවේ වැට් බදු අක්‍රියයි !

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන, මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි අද (01) සිට ක්‍රියාත්මක වන බවයි. 

එහි කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව ඊයේ (දෙසැම්බර් 31)  දිනට පෙර අවසන් වන  ඕනෑම කාර්තුවක් සඳහා බද්දට යටත් සැපයුම රුපියල් මිලියන 75ක් නොඉක්ම වන තැනැත්තන්ගේ එකතු කළ අගය මත බද්ද සඳහා වන ලියාපදිංචිය අද සිට බලපැවැත්වෙන පරිදි අක්‍රිය කරන බවයි.

රජය මගින් පසුගිය දා තීරණය කළේ වැට් බදු සීමාව ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි කාර්තුවකට රුපියල් මිලියන 75ක් හෝ වර්ෂයකට රුපියල් මිලියන 300 දක්වා වැඩි කිරීමටයි.

මේ අනුව වැට් බදු ලියාපදිංචිය අක්‍රිය කරන ලද තැනැත්තන්ගේ තොරතුරු www.ird.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, අද (01) දිනට පෙර අය කරන ලද වැට් බදු ලබන ජනවාරි 20 වන දිනට පෙර ගෙවිය යුතු බවත් එමගින් දැනුම් දෙයි.

බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට

නව රජයේ බදු සහන මෙසේ අද දිනයේ සිට ක්‍රියාත්මක වුවද, අද සිට බත් පැකට්ටුවක මිල රුපියල් 10.00 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, වෙළෙඳපොළේ සහල් මිල සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.


'බඩු මිල වැඩි වුණාට ජනතාවට ගාණක් නෑ'- රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ද

indikaමේ අතර නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසන්නේ, බඩු මිල වැඩි වුණාට ජනතාවට ගාණක් නැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ සෙත්සිරිපාය, දෙවන මහළේ පිහිටි නිවාස පහසුකම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (31) දින පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

''ජනතාව අද බලන්නේ සහල් කිලෝවක, ලූණු ගෙඩියක ගාණ නොවෙයි. ජනතාවට කැමැති උචිත ආණ්ඩුවක් තිබෙනවාද කියලයි.'' ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image