මේ දිනවල වෙළෙඳපොලේ පවතින කීරි සම්බා හිඟය සහල් මාෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රට තුළ පැවැතියද ඇතැම් සහල් මෝල් හිමිකරුවන් එම වී තොග සඟවා කීරි සම්බා සහල් වෙළෙඳපොලට සැපයීම අවම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටියි.

පසුගිය යල කන්නයේ කීරි සම්බා වගා කිරීම අඩු වුවත් ඉන් පෙර මහ කන්නයේ කීරි සම්බා වගා කිරීම හේතුවෙන් එම වී සහ සහල් තොගවල අඩුවීමක් සිදු නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වාදෙයි.

 කීරි සම්බා සහල් අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට වෙළෙඳුන් කීරි සම්බා සහල් කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 305 - 310 අතර මිලකට බව අමාත්‍යංශය පවසයි.  


කෙසේවෙතත් බොහෝ පිරිසක් පරිභෝජනයට ගන්නා නාඩු සහල්, රතු කැකුළු වැනි සහල්වල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍ය තරම් සහල් තොග මෙන්ම වී තොග රට තුළ පවතින බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

දැනට පුද්ගලික සහල් මෝල් හිමිකරුවන් හා සහල් ව්‍යාපාරිකයින් සතුව අවශ්‍ය තරම් කීරි සම්බා වී සහ සහල් තොග ඇතත් ඔවුන් සිතා මතාම සහල් මිල ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් කීරි සම්බා වෙළෙඳපොලට සැපයීම අවම කර තිබෙන බව එම අමාත්‍යංශය කියා සිටියි.

මේ සම්බන්ධව අදහස් පළ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් වැටලීම් මෙහෙයවනු ලැබුවත් බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බවයි.

ඒ හේතුවෙන් මෙවර මහ කන්නයේ දී වැඩිපුර කීරි සම්බා වගා කිරීම සඳහා ගොවි ජනතාව පොළඹවන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.


(nethnews.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්