ඔහු මේ බව සඳහන් කර ඇත්තේ දුම්රිය පීලිපැනීම් සහ දුම්රිය සේවයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමිනි.
වත්මන් දුම්රිය අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩු විරෝධීන් එය සම්පූර්ණයෙන්ම වත්මන් ආණ්ඩුවේ වරදක් ලෙස පෙන්වා දීමට උත්සාහ කළද, එය සත්‍යයට වඩා බොහෝ දුරස්ථ මතයක් බව ඔහු සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයකට පත්වීමට පසුගිය ආණ්ඩු, විශේෂයෙන් රාජපක්ෂ පාලන සමය බරපතළ ලෙස වගකිව යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
දුම්රිය ගැල් මිලදී ගැනීම්, මාර්ග අලුත්වැඩියා කටයුතු සහ බඳවා ගැනීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක අවිධිමත් ක්‍රියා සිදුවී ඇති බවට ද චූලානන්ද සමරනායක චෝදනා කරයි.
හිටපු ප්‍රවාහන අමාත්‍ය ගේ කාලයේ සිදු වූ බව කියන අවිධිමත් බඳවා ගැනීම් ද ඔහු ඒ සඳහා උදාහරණ ලෙස දක්වයි.
එමෙන්ම, දුම්රිය සේවය පෞද්ගලික අංශයට භාරදීමේ මතවාදය පසුගිය කාලය තුළ ක්‍රමානුකූලව ශක්තිමත් කර ඇති බවද ඔහුගේ අදහසයි.
චූලානන්ද සමරනායක ගේ මතය වන්නේ, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ පවතින ගැටලු එක් ආණ්ඩුවක පමණක් වරදක් නොව දශක ගණනාවක් තිස්සේ පැවති ක්‍රමවේදවල අසාර්ථකත්වය මත ගොඩනැගුණු අර්බුදයක් බවයි. ඒ අනුව පටු දේශපාලන අරමුණු පසෙකලා, දීර්ඝකාලීන සැලසුම් හා ප්‍රතිසංස්කරණ තුළින් සේවය කාර්යක්ෂම කළ යුතු බව ඔහුගේ අදහසයි.
දුම්රිය සේවාවේ වත්මන් ගැටළු සඳහා රියදුරන් පමණක් වගකිව යුතු නොවන බව පවසන ඔහු, අබලන් පීලි, පාලම් සහ නඩත්තු ගැටළු හේතුවෙන් බොහෝ ස්ථානවල වේග සීමා පනවා තිබෙන බවත්, කාර්යාල දුම්රිය වෙලාවට ධාවනය කිරීමේ පීඩනය හේතුවෙන් ඇතැම් අවස්ථාවල රියදුරන් ද අවදානම් තීරණ ගැනීමට පෙළඹෙන බවත් සඳහන් කරයි.
මුහුදුබඩ මාර්ගයේ පාලම් සහ දුම්රිය මාර්ග දිගු කාලයක සිට නිසි නඩත්තුවකින් තොරව පවතින බව ද ඔහු පෙන්වා දෙයි.
දුම්රිය සේවාව මාස කිහිපයකින් යථා තත්ත්වයට පත් කළ හැකි ක්ෂේත්‍රයක් නොවන බවත්, දුම්රිය ස්ථාන අලංකරණය කිරීමෙන් පමණක් අර්බුදය විසඳිය නොහැකි බවත් චූලානන්ද සමරනායක අවධාරණය කරයි.
ඒ වෙනුවට, දුම්රිය සේවයේ සැබෑ තත්ත්වය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රතිඵල ජනතාවට හෙළි කළ යුතු බවද, ඉන් අනතුරුව කාලසටහනක් සහිත ප්‍රතිසංස්කරණ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
දුම්රිය සේවාව අදටත් රටේ ජනතාවට ඇති වැදගත්ම පොදු ප්‍රවාහන විකල්පයක් බව පෙන්වා දෙන ඔහු, එය ලාභ ඉපැයීම මත පමණක් මැනිය නොහැකි මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යා යුතු බවද වැඩිදුරටත් සඳහන් කරයි.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




