රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලිසියේ කොස්තාපල්වරයෙකු

සහ කුරුවිට හමුදා කඳවුරේ සාමාජිකයෙකු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපතිවරිය, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (ජුනි 11 වැනිදා) එම මාධ්‍යවේදියාගෙන් විවෘත අධිකරණයේදී වැඳ සමාව ගත්හ.

ඒ අනුව අදාළ ආරවුල සමථයට පත් කෙරුණු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුකරය ඉල්ලා අස්කර ගන්නා බවත් පෙත්සම්කරුට ඉදිරියේදී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් වග උත්තරකාර පොලිස් නිලධාරීහූ අධිකරණය හමුවේ එකඟතාවය පළ කළහ.

මාධ්‍යවේදී සරත් විමලරත්න ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවන ලැබුණි

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුවන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටීමට සූදානම් බවත් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවට එකඟවන බවත් දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකු පෝතාගම, එම කාර්යාලයේ ආරච්චි අනුරාධ බණ්ඩාර, රත්නපුර එවක පොලිස් ස්ථානාධිපතිවරයා, එහි එවක කොස්තාපල් සමීර, කුරුවිට හමුදා කඳවුරේ එවක කෝප්‍රල් සේනානායක යන අය අධිකරණයේ පෙනී සිටි අතර පසුව ඔවුන් විවෘත අධිකරණයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියාගෙන් වැඳ සමාව ගත්හ.

පහර දීමට හේතු වූ සිද්ධිය කුමක් ද?

2019 වසරේ මැයි මස 29 වැනිදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව තමා හිස් වැසුමක් පැළඳ එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේදී එහි සිටි පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරී ඊට විරෝධය පළ කළ බව පෙත්සම්කාර මාධ්‍යවේදියා සදහන් කරයි.

පසුව හිස් වැසුම ගලවා තමන් කාර්යාලට ඇතුළු වූවත් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එහි සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා සාමාජිකයෙකු තමන්ට පහර දුන් බවත් පෙත්සමේ සඳහන් කර තිබුණි.

එහිදී වගඋත්තරකාර දිසාපතිවරිය තමන්ට අමානුෂික ආකාරයෙන් බැණ වැදුණු බවත් පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කර තිබේ.

පසුව ඔවුන් තමන්ව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසියට රැගෙන ගොස් එදින සවස තෙක් පොලිස් ස්ථානයේ රඳවා තබා නිදහස් කළ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබුණි.

මේ තුළින් වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්