ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට උතුරේ ඉදිරිපත් කර තිබෙන යෝජනාව

සම්බන්ධයෙන් ස්ථිර අදහසකට එළඹීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) අසමත්ව තිබේ.

ඒ බව හෙළි වී ඇත්තේ පොදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් එම පක්ෂයේ ඉහළ පෙලේ නායකයන් දෙදෙනකු පොදු සභාවකදී පරස්පර අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඊලාම් දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය, පොදුජන ස්ථාවරය සහ ජනතාවගේ ඡන්දය මැයෙන් ජුනි 9 වැනිදා යාපනය තන්දෙයි සෙල්වා ශාලාවේ පැවති සාකච්ඡා සභාවක් තීරණයකින් තොරවම හමාරවූ බවයි.

දේශපාලන ක්‍රියාකාරීන්, ආගමික නායකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම ඩයස්පෝරා සංවිධාන නියෝජනයක්ද එම මහජන සභාවේ දැකගතහැකි වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

එම සභාව අමතමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් දෙමළ පොදු අපේක්ෂක යෝජනාව දැඩි ලෙස බැහැර කරද්දී, ITAK ජ්‍යෙෂ්ඨ නායකයකු වන උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් පවසා ඇත්තේ පොදු අපේක්ෂකයකුට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

 

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති බව, කුඩා දරුවන් ඇතුළු තිස් හය දෙනකු ඝාතනය කළ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී කුමුදිනී සමුහ ඝාතනයයේ තිස් නම වැනි අනුස්මරණයට මැයි 15 වැනිදා එක්වෙමින් යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි මුල් වරට හෙළි කර තිබුනි.

ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනේ සිවිල් සංවිධාන, ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් වව්නියාවේදී රැස්වී සාකච්ඡාවක් පවත්වා එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට තිරණය කළ අතර, දෙමළ ජාතික පක්ෂ නායකයන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විමටත් තීරණය කර ඇති බවයි.

ඉන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් උතුරේ මාධ්‍යවේදීන් අවස්ථා ගනණාවකදීම දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කර තිබුනි.

 

දෙමළ පොදු අපේක්ෂකයකු ඡන්දයට දැමිය යුතු බවට සිවිල් සමාජය, සමාජ ගතකරමින් තිබු යෝජනාවට දැඩි පහරක් එල්ල කරමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ජුනි 09 වැනිදා මහජන සභාව අමතමින් සදහන් කර තිබුනේ, එවැනි තීරණයක් ගැනිමේ අයිතිය ඇත්තේ සිවිල් සමාජය අත නොව දේශපාලනඥයන් අත පමණක් බවයි.

 

“මේක දේශපාලන නායකයන් සහ දේශපාලන පක්ෂ ඉදිරියට ගෙනියන්න ඕන දෙයක්. සිවිල් සමාජයට වගකීමක් තියනවා. ඔවුන්ට අදහස් කියන්න පුළුවන්. ඔවුන්ගේ යෝජනා සාදරයෙන් පිලිගන්නවා. නමුත් මේක දේශපාලන වැඩක්. මැතිවරණය කියන්නේ සම්පුර්ණයෙන්ම දේශපාලන වැඩක්. ඒ දේශපාලනයේ ජනතාව මෙහෙයවන්න සිවිල් සමාජ සාමාජිකයන් තෝරාගෙන යවලා නැහැ. ඔවුන් අපව තෝරාලා යවලා තියනවා. ඒ ජනවරම අපිට තමයි තියෙන්නේ. ඒ තීරණය ගැනීමේ වගකීම අපේ අතේ තමයි තියෙන්නේ. ඒක වෙන කාටවත් දෙන්න බැහැ. එහෙම කළොත් අපි අපේ වගකීම පැහැර හැරීමක්. මෙම වගකීම් විරහිත ක්‍රියාවට අපගේ ජනතාවගේ ඉරණම තීරණය කිරීමට අප කිසිසේත් ඉඩ නොදිය යුතුය. ”

මැතිවරණය පැවැත්වෙන දිනය හෝ නිශ්චිතව ප්‍රකාශ කර නොමැති මොහොතක, ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිළුලය දැනටමත් තීරණය වී අවසන් බව පවසන ජනාධිපති නීතිඥ මන්ත්‍රීවරයා, එහි ගණන් මිමී පෙන්වීමට ඇති අකමැත්ත ප්‍රකාශ කරමින්, සිය පක්ෂ සාමාජිකයන්ට තවදුරටත් අවධාරණය කර තිබුනේ දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු බවයි.

“මොන තීරණය එනවද කියලා බිත්තියේ ලියලා ඉවරයි. සංඛ්‍යාලේඛන පෙන්වීමට කැමැති නැහැ. දෙමළ ජාතික ස්ථාවරයේ සිටින සියලුම ජනතාව ඡන්දය ප්‍රකාශ කළත් එය සියයට 20ට ළඟා වන්නේ නැහැ. දෙමළ පොදු අපේක්ෂකයෙක් පත් කළොත් අපි ඔහුට එරෙහිව ප්‍රචාරක කටයුතු කළ යුතුයි. ඔහු අන්ත පරාජයකට පත් වෙනකොට මේ අපේ දේශපාලන ස්ථාවරය නොමෙයි, කාගේ හෝ විහිළු වෙන වැඩක් කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. මම මේක කියන්නේ ප්‍රධාන ධාරාවේ දෙමළ පක්ෂයේ කෙනෙක් විදියට. මම අපේ පක්ෂයේ  අයටත් කියනවා. ජනතාව අතර ප්‍රබල ලෙස ප්‍රචාරක කටයුතු කිරීමේ විශාල වගකීමක් අපට තිබෙනවා.”

 

පොදු අපේක්ෂකයකුට මනාපය පල කරමින් එම මහජන සභාව ඇමතූ උතුරු පළාත් සභාවේ සභාපති, ඉලංගෙයි තමිල් අරසු කච්චි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන  සී.වි.කේ සිවඥානම් ද පෙන්වා දී තිබුනේ ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් ඔහුට ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ ප්‍රදේශ ආවරණය කිරීමේ හැකියාවක්  නොමැති බවයි.

 

“දෙමළ පොදු අපේක්ෂකයකුට ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ ප්‍රදේශ ආවරණය කිරීමට ඉඩක් නැහැ. කිලිනොච්චියේ පැවති මැයි දින රැස්වීමේදී මනෝ ගනේෂන් පැහැදිලිවම කිව්වේ උතුරු නැගෙනහිරින් පිටත සිටින කඳුකර දෙමළ ජනතාවගේ මතය සහ ස්ථාවරය වෙනස් කියලා. ඉතින් අපේ ස්ථාවරය තියෙන්නේ උතුරු නැගෙනහිර ඇතුලේ තමයි. නමුත් කොළඹ වගේ ප්‍රදේශවල ජීවත් වන අපේ ජනතාව මැතිවරණවලදී අනිවාර්යයෙන්ම ඡන්දය දෙනවා. අපේ අපේක්ෂකයන්ටත් ඡන්දය දෙනවා. නමුත් කලාපීය වශයෙන් කඳුකර ජනතාව සාධනීය ලෙස ඡන්දය දීමට ඇති ඉඩකඩ අඩුයි.”

උතුරු නැගෙනහිර තුලද දකුනේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලට සහාය පළ කරන දෙමළ ආධාරකරුවන් සිටීම සම්බන්ධයෙන්ද ඔහු එහිදී සිහිපත් කර තිබේ.

“අපට එරෙහිව ජාතික පක්ෂවලට පක්ෂව, ජාතික පක්ෂවලට අයත් අපේක්ෂකයන්ට පක්ෂව කටයුතු කළ හැකි පක්ෂ ආධාරකරුවන් සිටිනවා. මෙතන විරුද්ධ මත දරන අය ඉන්නවා. එයාලා අපිත් එක්ක එකතු වෙයිද?”

භුමියේ සැබැ තත්වය පැහැදිලි කිරීම පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඇති විරෝධය දැක්වීමක් නොවන බව පැහැදිලි ලෙසම සදහන් කළ සී.වි.කේ සිවඥානම් එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනේ තමන් පොදු අපේක්ෂකයකුට විරුද්ධ නොවන බවයි.

“භුමියේ තත්වය ගැඹුරින් විශ්ලේෂණය කර ක්‍රියා කරන්න ඕන කම තියනවා. මේ අදහස් දැක්වීමෙන් මම පොදු අපේක්ෂකයාට විරුද්ධ නැහැ. පවතින ගැටළු පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා. පොදු අපේක්ෂකයාට එරෙහි පිරිස මෙම රැස්වීම සංවිධානය කර ඇති බවට ආරංචියක් පැතිර යමින් තිබෙනවා. ඒක වැරදියි. අපි විරුද්ධවාදීන් නෙමෙයි. භුමියේ තත්වය ගැන අපි ජනතාවට කියනවා. ජනතාවට තීරණය ගනියි.”

සිය මතය ඉදිරියේ දී වෙනස් වීමට ඇති ඉඩ ප්‍රස්ථාව සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමටත් ඔහු එම වේදිකාව අවස්ථාවක් කරගෙන තිබේ.

“සමහර විට මම උනත් වෙනස් වෙන්න ඉඩ තියනවා. කාටවත් කැමැති නැතිනම් සමහර වෙලාවට මම ඡන්දය නොදී ඉන්නත් පුළුවන්. ඒක මගේ කැමැත්ත.”

කොළඹ නීති පීඨයේ මහාචාර්ය අරුලානන්දම් සර්වේස්වරන්, යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති පී. බාලසුන්දරම් පිල්ලෙයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නල්ලතම්බි ශ්‍රී කාන්තා, හිටපු පළාත් සභා අමාත්‍ය වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් ද මෙම මහජන සභාව ආමන්ත්‍රණය කර ඇත.

 

ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කටයුතු කරන බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ලේකම් ධුරය යටතේ ක්‍රියාත්මක වන, දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරණය වර්ජනය කරන මෙන් උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටිමින් දැනටමත් ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

 

itak 2

itak 3 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්