ආජන්ටිනා පාපන්දු නායක ලිඅනල් මෙසී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දක්නට ලැබෙන්නේ නැහැ.


‘කෝප එමෙරිකා’ - Copa America - තරගාවලියේ ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව පැරිසියේදීත් ක්‍රීඩා කිරීම අපහසු බව ඔහු දන්වා තිබෙනවා.

copa amerika
36 හැවිරිදි මෙසී ආජන්ටිනාව දිනා ගත් ‘කෝප එමෙරිකා’ කිරුළ අමෙරිකාවේදී රැක ගැනීම පිණිස ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම සමග මේ දිනවල සූදානම් වෙමින් සිටිනවා. ආජන්ටිනාව මේ තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගය කැනඩාව ට එරෙහිව ජූනි 20 වැනිදා ක්‍රීඩා කිරීමටයි නියමිත. තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වෙන්නේ ජූලි 14 වැනිදා.

පැරිස් ඔලිම්පික් පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා. මෙහි පිරිමි තරගාවලිය තිබෙන්නේ වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයන් සඳහා වූව ද ඊට වැඩි වයසින් යුත් ක්‍රීඩකයන් තිදෙනෙකුටත් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට අවසර තිබෙනවා. මෙසී ද ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ඔලිම්පික් තරග බිමට පිවිසෙනු ඇති බවට බලාපොරොත්තුවක් මතුවූයේ මේ අවසරය නිසා.

කෙසේ වෙතත්, අමෙරිකානු පාපන්දු ලීගයේ ‘ඉන්ට මයාමි’ – Inter Miami - ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන මෙසී, තමාට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නොහැකි බව ආජන්ටිනා අවුරුදු 23න් පහළ කණ්ඩායමේ පුහුණුකරු හැවීඒ මැෂරානෝ (Javier Mascherano) ට දන්වා තිබෙනවා.

zdfesr3

“මම මැෂරානෝ සමග කතා කළා. ඇත්ත කාරණය නම් අපි දෙන්නාටම මේ තත්ත්වය ගැන දැනුමක් තිබීමයි” මෙසී පවසනවා. “මේ වේලාවේ ඔලිම්පික් ගැන සිතීම අපහසුයි. මොකද, අපි දැන් ඉන්නේ ‘කෝප එමෙරිකා’වල නිසා. මම ඔලිම්පික් එනවා කියන්නේ මම මගේ ක්‍රීඩා සමාජය සමග එක දිගට මාසයක්, දෙකක්, තුනක් නොසිටීමයි. ඊටත් වැඩියෙන්, මම ඉන්නේ හැම තැනකම ක්‍රීඩා කරන්න පුළුවන් වයසක නෙවෙයි.”

“මට තෝරා ගැනීම් කරන්න වෙලා තියෙන්නේ ඉතාම පරිස්සමින්. එක දිගට තරගාවලියන් දෙකකට ක්‍රීඩා කිරීම මට අමාරුයි.  ඔලිම්පික් උළෙලක ක්‍රීඩා කිරීමට ලැබීමටත්, මැෂරානෝ සමග එකට ජයග්‍රහණය කරන්න ලැබිමටත් තරම් මම වාසනාවන්තයි. එය පාපන්දු මට්ටමෙන් ඉතාමත් සුන්දර අත්දැකීමක්. ඔලිම්පික්ස්, අවුරුදු 20න් පහළ මතකයන් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

“ඒ සියළු දේවල් විඳින්න ලැබීම හරිම වාසනාවන්තයි. මේ තරගවලට යන්න අවස්ථාව ලැබෙන අය මම වගේම ඒවායින් සතුටු වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. මොකද, ඒවා විශිෂ්ට සිදුවීම් නිසා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් කියන්නේ අතිවිශිෂ්ට අවස්ථාවක්. ඒක අනෙක් හැම දේකටම වඩා වෙනස් දෙයක්.”

‘කෝප එමෙරිකා’ තරගාවලියේ ආජන්ටිනාව නියෝජනය කිරීමෙන් මෙසී ට ඔහුගේ ‘ඉන්ට මයාමි’ කණ්ඩායමේ තරග අවම වශයෙන් පහක් මගහැරෙන අතර ඔහු පැරිස් ඔලිම්පික් උළෙල බලා පිටත්ව ගියහොත් ඔහුට මයාමි කණ්ඩායම පසුගිය වසරේ දිනූ ‘ලීග් කුසලාන’ තරගාවලිය ඇතුළු තරග බොහොමයක් අහිමි වනවා.

ක්‍රීඩකයන් ‘කෝප එමෙරිකා’ හෝ ‘ඔලිම්පික්ස්’ තෝරා ගත යුතු බව ‘ඉන්ට මයාමි’ පුහුණුකරු ජෙරාඩෝ මාටිනෝ (Gerardo “Tata” Martino) කළින් ම දන්වා තිබුනා.

mesi


“මම ජාතික කණ්ඩායම් හිතවාදී කෙනෙක්.  නමුත් මේ කාරණයේදී කෝප ඒමෙරිකා හා ඔලිම්පික්ස් යන තරගාවලියන් දෙකක් එක ළඟ පැවැත්වෙනවා. එයින් තේරුම් ගත යුත්තේ ක්‍රීඩකයෙක් ඔහුගේ ක්‍රීඩා සමාජයෙන් මාස දෙකකට වැඩි කාලයක් ඉවත්ව සිටින බව” යනුවෙන් හිටපු ආජන්ටිනා ප්‍රධාන පුහුණුකරුවකු වන මාටිනෝ පෙබරවාරියේදී කියා සිටියා.



මයාමි කණ්ඩායමේ මේ ක්‍රීඩා වාරයේ ප්‍රතිඵලවලට මෙසීගේ දායකත්වය ප්‍රධාන වී තිබෙනවා. ඔහු තරග 12කට ක්‍රීඩා කරමින් ගෝල් 11ක් ලබා ගෙන තවත් ගෝල් 12කට සහාය දක්වා තිබෙනවා.

වසරක දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘බැලන් ඩි ඔ්ර්’ සම්මානය වාර්තාගත අට වතාවක් දිනා ගෙන සිටින ලිඅනල් මෙසී 2008 වසරේ බෙයිජිං හි දී මැෂරානෝ සමග ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරමින් ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තා. එතැන් සිට මෙසී ජාත්‍යන්තර කිරුළු කට්ටලයක් සම්පූර්ණ කර තිබෙන්නේ 2021 කෝප එමෙරිකා හා 2022 ලෝක කුසලානය දිනා ගනිමින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්