හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ලබාදුන් සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් සඳහන් කරති.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට කොළඹ මහාධිකරණය ඊයේ (28) බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය.

ඒ, 2015 දී තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙනි.

ඒ අනුව, විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් විසිදහස බැගින් දඩ නියම කෙරුණි.

2015 වසරේ දෙසැම්බර් 21වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරමින් සිටි අමිල ප්‍රියංග නම් තරුණයෙකුව ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් සාපරාධී බිය ගැන්වීමක් කළ බවට එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ව සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින්ට චෝදනා එල්ල වුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු මූලික විමර්ශනයකින් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් 08 දෙනෙකුට නීතිපතිවරයා චෝදනා 29ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.

අධිචෝදනා පත්‍රයේ වූ චෝදනා අතරට අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීම, අයුතු ලෙස සිරකරගැනීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම, පැහැරගෙන යාම, ඊට ආධාර අනුබලදීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා අයත්ය.


කෙසේ වෙතත් අධිචෝදනා පත්‍රය සලකා බැලුණු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ ආරක්ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12ක අත්හිටවූ සිරදඬුවමක් සහ රුපියල් 165,000 බැගින් වූ දඩ නියම කෙරුණි.

නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරු බව පැවසීම හේතුවෙන් ඇයට එරෙහිව පමණක් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ නඩු විභාගය සිදුකෙරුණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සඳහන් කළේ, විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇයට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා පත්‍රයේ සඳහන් වූ චෝදනා 18කට වරදකරු බවය.

චූදිත තැනැත්තියට දඬුවම් නියම කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විවෘත අධිකරණය හමුවේ දේශනයක් සිදුකළේය.

"ස්වාමිනි මෙය නිකම්ම නිකම් පුද්ගලයෙක්ව ඩිෆෙන්ඩර් රථයකින් දමාගෙන යාමක් නොවෙයි. බලයේ සිටී ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් අයුතු ලෙස තමන්ගේ බලය පාවිච්චි කර ගෝලබාලයෝ යොදා පුද්ගලයෙක්ව බලහත්කාරයෙන් තමන්ගේ කාර්යාලයට ඇඳගෙන ඇවිල්ලා පවුල් ප්‍රශ්න විසඳන්න දරපු උත්සාහයක්.  මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරියකගේ පරම යුතුකම මහජන විශ්වාසය රැකීම. එහෙම තියෙද්දි මෙහෙමද මන්ත්‍රීවරු මහජනතාවට සලකන්නේ? එබැවින් ස්වාමිනි මේ වරදේ බරපතළකම මේ විත්තිකාරියටත්, ඇයගේ මඟයන්න සිටින අනිත් අයටත් දැනෙන විදිහේ තීන්දුවක් ඔබතුමන්ගේ අධිකරණය දියයුතුයි. විත්තිකාරියට විරුද්ධව ඔප්පු වී ඇති චෝදනා 18ට වෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කළොත් අවුරුදු 69කට බන්ධනාගාර ගත කරන්න පුළුවන්. මේ වරද එතරම් තීව්‍රයි.‍

මෙම සිද්ධියේ අනෙකුත් විත්තිකරුවන් තමන්ගේ වැරුද්ද මුල් අවස්ථාවේදීම පිළිගෙන තිබුණත්, මෙම විත්තිකාරිය වචනයකින්වත් තමන්ගේ වැරුද්ද පිළිගන්න නිහතමානි වුණේ නැහැ. එබැවින් මේ සිද්ධියේදි අගතියට පත් වූ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය සමාජයට පණිවුඩයක් දෙන්න ඕනේ නීතිය රකින මිනිස්සුන්ව නීතියෙන් ආරක්ෂා කරනවා කියලා."


මෙහිදි චූදිත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමිනි මැය අවුරුදු 03, 04 සහ 05 යන වයස්වල පසුවන කුඩා දරුවන් තිදෙනෙක්ගේ මවක්. මැය සිරගත කළහොත් දරුවන්ට අගතියක් වෙන්න පුළුවන්. එබැවින් මැයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට එරෙහිව ඔප්පු වූ චෝදනා 18ට වෙන් වෙන්ව සිරදඬුවම් නියම කළ අතර එම සිරදඬුවම වසර 03කින් ගෙවීයන ලෙස බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළේය.

එසේම එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින් චෝදනා 18ටම රුපියල් 360,000ක දඩ මුදලක් ගෙවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේනම් එක් චෝදනාවකට මාස 06 බැගින් ලිහිල් සිරදඬුවමක් ලබාදීමට ද තීන්දු කළේය.

(adaderana.lk)

සබැඳි පුවත් :
හිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්