අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (ජුනි 30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

“එක්ව ජයගමු - අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

''නව දේශපාලන ගමනක ඇරඹුම අද මාතරින් සනිටුහන් වුණා''

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි.

රට පෙරට -  පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.


මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. එදා  අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරු සියලුදෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවද, නැතිනම් අප වරායට ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අපි වරායට පැමිණ තිබෙනවා. අපි දැන් මේ නැවට මොකද කරන්නේ? අපි  නැව ඉදිරි වසර 50-100ට සරිලන ලෙස අලුතින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයෙකුට භාර දෙනවද කියා තීරණය කළ යුතුයි.


අද මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙම මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ මෙම කඹුරුපිටියේ ප්‍රදේශයේ. මම නැවති සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝළිමක් තිබුණා. ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් එම පෝළිම්වල දුක් විඳිනවා මම දුටුවා. එදා මම තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මම ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තිබුණා. ලෝක බැංකුව සමඟ  සාකච්ඡා කර එම පණිවිඩ පිළිබඳ කිහිප වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළා. කෙසේ හෝ අවසානයේ මට මේ රට භාර ගැනිමට සිදු වුණා.


මම එලෙස රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලුත්  ක්‍රමයක් අනුවයි. සියලුදෙනා පැන ගිය අවස්ථාවක මට රට භාර ගැනීමට සිදු වුණා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂයට එය භාර ගැනීමට නොහැකි නම් විපක්ෂය එය භාරගත යුතුයි. නමුත් මේ සියලුදෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පමණක් නොවෙයි, දේශපාලන ක්‍රමයත් කැඩී ගියා.


''රටට ආදරය කරන සියලුදෙනා එක් කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළා''


මම මේ රටේ ජනාධිපති ධුරය භාර ගත්තා. සියලු දෙනා කිව්වේ , මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ රටේ ජනතාව ගැන සහ මම ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් අපට ආධාර ලබා දුන්නා.  

මේ අතර 2022 – 2023 යල කන්නය සාර්ථක කර දෙන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. ඒ අනුව රටේ ජනතාවට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසෙන් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට හැකි වුණා.

ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් දකුණේ ජනතාව විශාල සසහායක් ලබා දුන්නා. අපේ රටට සංචාරකයන් පැමණීමට පටන් ගත්තා. එවිට අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ලැබුණා. අපි මේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඉදිරියට ගෙන ආවා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ  එක‍ඟව තිබෙනවා. ඒ අනුව අපිට මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට ආදායම් උපයා ගැනීමේ නව ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීරණයක්. නමුත් අප එම තීරණය ගත්තා. ඒ නිසා  අද රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැරීමට සිදු වන්නේ නැහැ.


මේ අතර අපි 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කර සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථිකය හො‍ඳින්  තිබූ කාලයේ කිරීමට නොහැකි වූ දේ, බංකොළාත් කාලයේ අපි විසින් සිදුකළා. සිංහල  අලුත් අවුරුදු සමයේ ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩම්වල ජිවත්වන සියලුදෙනාට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඉදිරි සතියේ දී කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.


අපි මේ වැඩ කරද්දි කෑ ගැහුවේ නැහැ. ඒත් ජනතාව වෙනුවෙන් මෙම සහන ලබාදි තිබෙනවා. අපි ඉදිරියට ගමන් කළයුතුයි. මේ වන විට අප බංකොළාත්භාවයෙන් ඉවත් වි සිටිනවා. ඒ අනුව අප ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. එහිදී  සහන ලබාගෙන තිබෙනවා.

අපේ සම්පුර්ණ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 108%යි. අපි අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කළා. අපිට දැන් ණය ගෙවීමට කාලය ලබාදීමට ඔවුන් එකඟවී සිටිනවා. 2042 වන තෙක් ණය ගෙවීමට කාලය ලබාදී  තිබෙනවා. ඒ වගේම ගෙවන ණය ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ නිසා අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් මේ සියලු සහන ලබාගත හැකි බව ඔවුන් දැනුම් දී තිබෙනවා.

මෙම එකඟතා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපට නිල වශයෙන් ණය දුන් රටවල් හැර අප විසින්  පුද්ගලික අයගෙන් බැදුම්කරවලින් ණය ලබාගෙන තිබෙනවා. මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අප සමඟ සාකච්ඡා කරනවා. මේ සඳහා මාසයක් වැනි කාලයක් ගත වෙයි කියා මම සිතුවත් මේ වන විට එම කටයුතු සාර්ථකව සිදු වෙනවා. ඒ නිසා ලබන සතිය වන විට මෙම කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.


ඒ අනුව  මේ ගිවිසුම් තුනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු කියා මා  රාජ්‍ය මුල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන්නා. දැන් ඒ කරුණු සියල්ලම සඳහන් කිරීමට නොහැකි වුණත් ඉදිරියට ඒ ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳ සාකච්ඡා කර රාජ්‍ය මුල්‍ය කමිටුව එය පරීක්ෂා කළ පසු වාර්තාවක් සකස් කර ඡන්දයකට යමු කියා මම දැනුම් දී තිබෙනවා.  පාර්ලිමේන්තුවේ පක්ෂ මීට ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.


ඒ වගේම අප මෙය පිළිගන්නවාද, නැද්ද කියලා ලෝකය දැන ගැනීමට කැමතියි. කිසියම් පක්ෂයක් ප්‍රකාශ කරනවා නම් මීට වඩා වෙනස් විකල්පයක් තිබෙනවා කියා, ඒ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීමට මම සූදානම්. ඒ අයට අවශ්‍ය ගුවන් බලපත්‍ර සහ නවාතැන් පහසුකම් සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් ලබාදීමට පියවර ගන්නවා. ඔබ ගොස් සාකච්ඡා කරන්න. ඒවා හොඳයි  කියා හිතනවා නම් අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු.


''අපට තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්න බැහැ''


නමුත් අපට තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්න බැහැ. අප අද ගනු ලබන තිරණය අපේ අනාගතයට බලපානවා. අපි මෙයින් ඉවත් වුණහොත් ඉදිරියට යන්නේ කෙසේද. මෙම වැඩසටහන හැර අපට අනාගතයත් තිබෙනවද. නැවත පෝළිම් යුගයකට යන්න පුළුවන්ද, එනිසා  අපි මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. අපි ස්ථිර තීරණයකට එළැඹිය යුතුයි.

අපි අනාගතයේ දී ඉන්ධනවලට මුදල් ගෙවන්නේ කොහොමද, නැවත ණය ගැනීමට අවශ්‍යද, අපි අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට නොගියහොත් තවත් වසර 15කින් මීට වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප රට අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපි මේ තීරණ ගන්නේ ඔබ සියලුදෙනා වෙනුවෙන්. අපේ තරුණ පරපුරට නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් උරුම කරනවද, නැත්නම් දියුණු රටක් ලෙස ඉදිරියට යනවාද කියා අප තීරණය කළ යුතුයි.


''පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු''


අපි රට වෙනුවෙන් එකට වැඩ කරමු කියා මම සෑම දේශපාලන නායකයෙකුටම කියන්නේ ඒ නිසයි. මේ ඇමති මණ්ඩලය මොන පක්ෂයට ද අයත් වෙන්නේ කියලා අහනවා. මෙතන ඉන්නේ රට වෙනුවෙන් එකතු වුණු අය. පොහොට්ටුවේ සිටි බොහෝ දෙනෙකුට ඇමතිකම් නැති වුණා. නමුත් ඔවුනට දැනට එය ලබාදීමට මට හැකි වුණේ නැහැ. ඔවුන් එම සියල්ල දරාගෙන අද රට වෙනුවෙන් එක් වී සිටිනවා.

මෙතන සෑම පක්ෂයක්ම නියෝජනය කරන පිරිස සිටිනවා. අපට එක පක්ෂයක් නැහැ. අද සියලුදෙනා රට වෙනුවෙන් එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි නව දේශපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. රට පෙරට පක්ෂය ඉන් පසුව. කුමන දේශපාලන පක්ෂක් නියෝජනය කළද රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් මෙහි සිටිනවා. අප මෙම දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි. මේ ගමන ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා පක්ෂ බේදයෙන් තොරව අප සියලුදෙනා ඉදිරියට යමු කියා මම ආරාධනා කරනවා.


'' මම විපක්ෂයට ආරාධනා කරනවා අපත් සමඟ එක් වෙන්න කියලා. අපි මෙම අලුත් මාර්ගයේ යමු. කොහොමද රට ගොඩනගන්නේ කියා එවිට මගෙන් ඔබට ඉගෙන ගත හැකියි. අපි සියලුදෙනා එක්වී මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගැනිමට කැපවෙමු. අපට අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොවෙයි. අපට තිබෙන්නේ රට පෙරට තබා ඉදිරියට යාමයි. මේ රටේ ජනතාව විඳි දුක ගැන මම කණගාටුවෙනවා. අපි ගත් පියවර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යමු කියා මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.''
 
 


ranil
ranil1
 
ranil2
 
ranil3
 
ranil4
 
ranil 4


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්