නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම ඇතුළු

චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ''මගෙන් රටට'' සංවිධානයේ සභාපති සංජය මහවත්ත ලබන 5වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (28 දා) නියෝග කළේය.

එම සැකකරු ලබන 1වැනිදා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කොට ඇති බවත් ඔහු එම අධිකරණයට ලබාදී ඇති ලිපිනයේ මේ වනවිට පදිංචි නොමැති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට ද පැවැසූ එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න එම සැකකරු පදිංචි ස්ථිර ලිපිනය අධිකරණයට ඉදිරිපත් කළේය.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පවත්වන බව කියමින් ඊට අදාළ හඬපටයක් සංජය මහවත්ත විසින් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කර තිබිණි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ හඬපටය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කළේය.

එහිදී රස පරීක්‍ෂක වාර්තාවේ සඳහන් වූයේ මෙම හඬපටය සංස්කරණය කරන ලද එකක් බවයි.

ඒ අනුව සංජය මහවත්ත අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි නමැති නිරූපිකාවට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කර තිබුණේ ද සංජය මහවත්ත විසිනි.

ඊට අමතරව විවිධ දූෂිත රාජ්‍ය නිලධාරීන්ට ඇතැම් දේශපාලනඥයන්ගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි රැසක් කිරීමට ද මහවත්ත කටයුතු කර තිබිණි.


(divaina.lk - හේමන්ත රන්දුණු සහ ඒ. ජේ. ඒ. අබේනායක)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්