*දේශපාලන කරළියට විද්වතුන් කැඳවීමේ ප්‍රවණතාව අතරතුර සමගි ජන බලවේගයෙන් නව පියවරක්.
*ඌව කේන්ද්‍ර කරගත් සන්නිවේදන හා සංවර්ධන අත්දැකීම් සහිත විද්වතෙකු මැතිවරණ බලප්‍රදේශයක වගකීමට.
සමගි ජන බලවේගයේ බදුල්ල ආසන ප්‍රධාන සංවිධායකවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පත් කර තිබේ. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර, මෙතෙක් හාලිඇල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඔහුට බදුල්ල ආසනයේ ඉදිරි දේශපාලන හා ප්‍රතිපත්තිමය වගකීම් මෙලෙස පැවරී ඇත.
පාසල් වියේ සිට ගොඩනැඟුණු ඌවේ බැඳීම
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ ඌව මහා විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය වීරසිංහ, සිය ශිෂ්‍ය අවදියේ සිටම ප්‍රදේශයේ සමාජ සුබසාධන කටයුතු සමඟ ක්‍රියාකාරීව බැඳී සිටි අයෙකි. සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති ධුරය මෙන්ම බදුල්ල රෝහල් සුවසේවා ඒකකයේ නායකත්වය දරමින් පාසල් වියේදීම ප්‍රජා සත්කාරක ක්‍රියාවලීන්ට නායකත්වය දීමට ඔහු සමත් විය. පසුව ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් ප්‍රජා ගුවන්විදුලි සංකල්පය ප්‍රායෝගික තලයට ගෙන ඒමට පුරෝගාමී වූ ඒ මහතා, මාධ්‍ය භාවිතය ප්‍රජා සංවර්ධනය උදෙසා යොදාගැනීමේ මුල්පෙළේ ප්‍රයත්නයක නිරත විය.
අධ්‍යයන විශිෂ්ටත්වය සහ පර්යේෂණ ක්ෂේත්‍රය
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන ප්‍රදීප් වීරසිංහ, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇගයීමට ලක්වූ පර්යේෂකයෙකි. 2025 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පර්යේෂණ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු, 2023 සිට අඛණ්ඩව විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සෙනෙට් සම්මාන දිනාගැනීමට සමත් විය. ඊට අමතරව රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ සමාජ ධර්ම සාකච්ඡා හා කාලීන සංවාද මෙහෙයවමින් පුළුල් ජනතා අවධානයක් දිනාගැනීමට ද ඔහු සමත් වී ඇත.
රාජ්‍ය හා ජාත්‍යන්තර සංවර්ධන කාර්යභාරය
මහාචාර්ය වීරසිංහ සතු වෘත්තීය පළපුරුද්ද අධ්‍යයන ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූවකි. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සෞඛ්‍ය පද්ධති සංවර්ධන වැඩසටහනේ ජාතික සන්නිවේදන විශේෂඥයකු ලෙසත්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසත් මූල්‍ය හා ප්‍රාදේශීය ආර්ථික ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණ පිළිබඳව ඔහු අත්දැකීම් ලබා ඇත. එමෙන්ම ජාතික ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ සභාපතිත්වය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් කළමනාකාරීත්වය මෙන්ම චීනයේ බෙයිජිං ජාත්‍යන්තර ගුවන්විදුලි හා රූපවාහිනී ආයතනයේ විදේශීය විශේෂඥයකු ලෙස ද ජාත්‍යන්තර සබඳතා රැසක් ගොඩනගාගෙන තිබේ.
නව දේශපාලන ප්‍රවණතාව සහ ඉදිරි දැක්ම
2023 වසරේ සිට සමගි ජන බලවේගයේ හාලිඇල ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින්, පක්ෂයේ ප්‍රතිපත්තිමය පුහුණු කිරීම් සහ උපායමාර්ගික සැකසුම් භාර ප්‍රධාන විශේෂඥයකු ලෙස ක්‍රියාකළ මහාචාර්ය වීරසිංහ, සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ද වේ.
වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලන පරිසරය තුළ පවතින සමාජ-ආර්ථික අභියෝග හමුවේ, සාම්ප්‍රදායික දේශපාලනඥයන් වෙනුවට වෘත්තීය නිපුණතාව සහ ගෝලීය දැක්මක් සහිත විද්වතුන් සෘජු මැතිවරණ දේශපාලනයට යොමුකිරීමේ පැහැදිලි ප්‍රවණතාවක් සියලු ප්‍රධාන පක්ෂ අතර දැකගත හැකිය. විශේෂයෙන්ම කෘෂිකාර්මික, වතුකර සහ සංචාරක ක්ෂේත්‍ර ආශ්‍රිත ආර්ථික මර්මස්ථානයක් වන බදුල්ල වැනි දිස්ත්‍රික්කයකට, ප්‍රාදේශීය සංවර්ධනය සහ ජාත්‍යන්තර අත්දැකීම් සහිත අධ්‍යයන ක්‍ෂේත්‍රයේ විද්වතෙකු මෙලෙස පත්කිරීම ඉදිරි පළාත් මෙන්ම ජාතික දේශපාලන ගමන්මග කෙරෙහිද වැදගත් සාධකයක් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.







