එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනතාවට අලූත් සන්ධානයක්, අලූත් අපේක්ෂකයෙක් හා අලුත් වැඩපිළිවෙල සමග රටකරවන අලූත් කණ්ඩායමක් හඳුන්වාදීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.


කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (22) සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එබව සඳහන් කල ඇමතිවරයා එම කාරණය මෙසේ පැහැදිලි කළේය.

''එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනතාවට අලූත් සන්ධානයක් අවශ්‍යයි ඒකට අවශ්‍ය කරන සියළුම පසුබිම, නීත්‍යානුකූල ලියවිල්ල සූදානම්. අපට අවශ්‍යයි අපේක්‍ෂකයෙක්. ඒ අපේක්‍ෂකයා ඉදිරියට ගෙන යන අලූත් වැඩපිළිවෙලක්, ඒ වගේම එම අලූත් වැඩපිළිවෙල සමග රටකරවන අලූත් කණ්ඩායමක්, ඒ වගේම අලූතින් ඡන්දය ලබාදෙන දශ ලක්ෂයක් වූ තරුණ පරම්පරාවට පොදුවේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් සහිත දේශපාලන පක්ෂවලටත්, නොබැඳි ඡන්ද දායකයින්ටත් මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියළුම ආගමික නායකයින්ටත් සමාජ ක්‍රියාකාරීන්ටත් අලූත් බලාපොරොත්තුවක් අවශ්‍යයි. එය ඉටු කරලීමට ක්‍රියාකරන හැටියට අප ප්‍රකාශ කරනවා''                                                                                                                                                 champika text1මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.


 ''දැන් අපට සතුටින් කියන්න පුළුවන් ගිය සෙනසුරාදා අපි ඉතාම සාර්ථක සාකච්ඡා වටයක් පවත්වලා සියළු පක්ෂ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයොත් සමග ඒ සන්ධානය සම්බන්ධයෙන් තිබූ සෑම ගැටළු සහගත තත්වයක්ම අප ලිහා ගත්තා. විසඳුම් ලබාගත්තා.

දැන් එම සන්ධානයේ නාමය, ලකුණ, කාර්යාලය ලේකම්වරයා, නායකත්වය හෝ නායකත්ව මණ්ඩලය හෝ අපේක්‍ෂකයා තෝරන ආකාරය පිළිබඳව අනාගත මහ මැතිවරණ තරඟ කරන අවස්ථාවලදී ක්‍රියා කරන ආකාරය ගැන ගැටළු ඇත්තේ නැහැ. ඒ පිළිබඳව අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙන්නේ. මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඒ ඒ පක්ෂ ඒ ගැන දැනුවත් ද  කියලා. 

ඒ නිසා අපි දැන් යෝජනා කරනවා කල් නොයවා මේ සන්ධානයෙන් ජනාධිපතිවරණයට එන අපේක්‍ෂකයා වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි. 

කවුරුන් හෝ මේක කල්දානවා, කල්මරනවා කියන්නේ ප්‍රශ්න ඇති කරන්න ක්‍රියාකරනවා කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී බලකඳවුර පරාජයට පත් කිරීම සඳහා කරන වැඩපිළිවෙලක් හැටියට තමයි අපට පේන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී බල කඳවුර ශක්තිමත්වන ආකාරයට ඒ කටයුත්ත කළ යුතුයි''

Patalජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අනෙක් අපේක්ෂකයින් දෙදෙනා ගැන අදහස් දැක්වූ චම්පික අමාත්‍යවරයා,

''අද දේශපාලන වේදිකාවේ ඒ බලමුළු බලකඳවුරු ඉතාම පැහැදිලියි. එක පැත්තකින් රාජපක්ෂවරු කිසිම වෙනසක් නැතිව පැරණි මිනිස්සු, පැරණි තාලවලින්, පැරණි ආකාරයට, සමහරවිට ඊටත් වඩා නරක ආකාරයට අද කරලියට ඇවිල්ලා තමන්ට මේ රට ගලවාගත හැකියි. මේ රටේ ආරක්‍ෂාව තහවුරු කළ හැකියි,තමන්ට මේ රට ඉදිරි මගක ගෙන යා හැකියි, තමන් මේ රට බලගතු ඊශ්‍රායලයක් වගේ, එහෙම නැත්නම් සිංගප්පූරුවක් වගේ, ඇමරිකාවක් වගේ තත්වයකට පරිවර්ථන කරනවාය කියලා පොරොන්දු දෙමින් යන බව අපට පේනවා. 

ඒ කඳවුර පැත්තෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසටවත් මේ රටේ රාජ්‍ය මූල්‍ය මුහුණ දෙන ණය බර ප්‍රශ්නය පිළිබඳවත් මේ රටේ කුසලතාවයට මුල්තැන දීම පිළිබඳවවත් අපට බලාපොරොත්තු තියා ගන්න බැහැ. 2015 තිබුණටත් වඩා නරක තත්වයක් තමයි එතැන අපට පේන්න තිබෙන්නේ.


ඊ ළගට විකල්ප අපේක්‍ෂකයෙක් හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ පොදු ලකුණකින්, පොදු පක්ෂයකින් පොදු අපේක්‍ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියලා දැන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ගැන අපි සතුටුවන අතර එතුමාට සුභ පතනවා.               champika1
නමුත් අප තවමත් විශ්වාස කරනවා ඒ පොදු අපේක්‍ෂකයාට රාජපක්ෂ පවුල්වාදී කල්ලිය මේ රට තවත් භයානක අනතුරකට යාමෙන් ගලවා ගන්න හැකියාව නොමැති බව. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරෙන් ශක්තිමත් අපේක්‍ෂකයෙක්, ශක්තිමත් වැඩපිළිවෙලක්, ශක්තිමත් න්‍යාය පත්‍රයක්, ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් විය යුතුයි කියා අප විශ්වාස කරනවා. ''

'අපේක්ෂකයා ප්‍රශ්නයක් නෙමෙයි'

මේ අතර, සඳුදා (අගෝස්තු 19) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳව තමන්ට ප්‍රශ්නයක් නොමැති අතර සිය පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නේ නම් ඔහුට සහය දෙන බවය.

එජාපයේ ජනාධිපතිවරණ ඡන්ද පදනම:

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයෙකු අවසන් වරට ජයග්‍රහණය කළේ, 1988 වසරේදීය. එලෙස ජය ගත්තේ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. එම ජනාධීපතිවරණයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වා ප්‍රතිඵල පහත දැක්වේ.

1988 ජනාධිපතිවරණය:
   

   එක්සත් ජාතික පක්ෂය (රණසිංහ ප්‍රේමදාස) - ඡන්ද 2,569,199ක් (50.43%) 

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (සිරිමාවෝ බණ්ඩාරනායක) - ඡන්ද 2,289,960

1994 ජනාධිපතිවරණය:

    පොදුජන පෙරමුණ (චන්ද්‍රිකා බණ්ඩාරනායක) - ඡන්ද 4,709,205 (62.28%)

    එක්සත් ජාතික පක්ෂය (ශ්‍රීමා දිසානායක) - ඡන්ද 2,715,285

1999 ජනාධිපතිවරණය:

    පොදුජන පෙරමුණ (චන්ද්‍රිකා බණ්ඩාරනායක) - ඡන්ද 4,312,157 (51.12%)

    එක්සත් ජාතික පක්ෂය (රනිල් වික්‍රමසිංහ) - ඡන්ද 3,602,748

2005 ජනාධිපතිවරණය:

    එක්සත් ජනතා නිදහස් සන්ධානය (මහින්ද රාජපක්ෂ) - ඡන්ද 4,887,152 (50.29%)

    එක්සත් ජාතික පක්ෂය (රනිල් වික්‍රමසිංහ) - ඡන්ද 4,706,366

2010 ජනාධිපතිවරණය:

    එක්සත් ජනතා නිදහස් සන්ධානය (මහින්ද රාජපක්ෂ) - ඡන්ද 6,015,934 (57.88%)

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ජෙනරල් සරත් ෆොන්සේකා) - ඡන්ද 4,173,185

2015 ජනාධිපතිවරණය:

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (මෛත්‍රීපාල සිරිසේන) - ඡන්ද 6,217,162 (51.28%)

    එක්සත් ජනතා නිදහස් සන්ධානය (මහින්ද රාජපක්ෂ) - ඡන්ද 5,768,090 

(ඡන්ද සටහන උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්