යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුම පිළිබඳව ජනාධිපතිවරයා සහ අමාත්‍ය විමල් විරවංශ ඇමතු
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අතර හුවමාරුවූ ලිපි මේවනවිට 'ද ලීඩර්' (theleader.lk) වෙත ලැබී තිබේ.  
 
මෙම ලිපි හුවමාරුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට හිතවත් ඇතැම් මාධ්‍ය '' ජනාධිපති, විමල්ල හමුවීම ප්‍රතික්ෂේප කරයි..'' වැනි සිරස්තල යටතේ පුවත් පළකර තිබු අතර විමල් වීරවංශට හිතවත් මාධ්‍ය එය වාර්තා කර තිබුනේ '' ජනාධිපති ගෙන් විමල්ලට යහපත් ප්‍රතිචාරයක්.'' වැනි සිරස්තල යටතේය.
 
 
 
# යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුමට විරෝධය පළ කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 පසුගිය සැප්තැම්බර් 23 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ අතර ඉන් පසුව එම පක්ෂ නායකයින් මාධ්‍යට පැවසුවේ ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.
 
අගමැතිවරයා සමග කළ එම සාකච්ඡාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ 11 නියෝජතවරු සහභාගී වී සිටියහ.
 
WhatsApp Image 2021 10 21 at 4.44.42 PM 
 
#  යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුම පිළිබඳව කරුණු විමසමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් 11 දෙනෙකු ජනාධිපතිවරයා වෙත පිටු තුනකින් යුතු  ලිපියක් යොමුකර තිබුනේ ඔක්තෝම්බර් 07 වෙනිදාය. 
 
මෛත්‍රීපාල සිරිසේන ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂය), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය) , පූජ්‍ය අතුරලියේ රතන හිමි (අපේ ජනබල පක්ෂය), ඒ.එල්.එම්. ආතාවුල්ලා (ජාතික කොංග්‍රසය), 
ටිරාන් අලස් (එක්සත් මහජන පක්ෂය), ජී. වීරසිංහ (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය), අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය) සහ  ගෙවිඳු කුමාරතුංග (යුතුකම ජාතික සංවිධානය) යන පක්ෂ නායකයින් එම ලිපියට අත්සන් කර තිබිණ. 
 
 
 
# එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හවුල්කාර පක්ෂ නායකයින් වෙත පිළිතුරු ලිපියක් යොමුකර තිබුනේ ඔක්තෝම්බර් මස 14 වෙනිදාය. 
 
''ඔබ රජයේ කොටස්කාර පක්ෂ වශයෙන් මා සමඟ ඉහත කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට වඩා අමාත්‍ය මණ්ඩලයේත්, රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කොටස්කරුවන් වශයෙන් සමස්ත රජයේ දෙපාර්තමේන්තු කණ්ඩායමේ සහභාගීත්වයෙන් විවෘතව සාකච්ඡා කිරීම යෝග්‍ය බව මාගේ අදහසයි.'' යයි ජනාධිපතිවරයා සිය ලිපිය මගින් පවසා තිබිණ. 
 
 
ජනාධිපතිවරයා විසින් යොමු කර තිබු ලිපිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් ඔක්තෝම්බර් 16 දා දහවල් රැස්වූ අතර 'නිව් ෆෝට්‍රෙස් ගිවිසුම'  හා ඊට අදාල ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පිළිතුරු ලිපිය මගින් අනාවරණය වී ඇති බවක් පක්ෂ නායකයින්ගේ කතාබහට ලක්වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 
 
 
පක්ෂ නායකයින් ජනාධිපතිට යැව් ලිපිය :
 
 
'ස්වභාවික වායු මගින් විදුලිය නිපදවීමට අදාළව ඇමෙරිකානු සමාගමක් සමග අත්සන් කරන ලද ගිවිසුමට අදාළවයි.' යන  සිරස්තලයෙන් යුතුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ මෙසේ සඳහන් වේ. 
 
 
අතිගරු ජනාධිපතිතුමනි,
 
ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සැප්තැම්බර් 23 වන දින අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී රටට ඉතා තීරණාත්මක ලෙස බලපාන ස්වභාවික වායු මගින් විදුලිය නිෂ්පාදනයට අදාළ ගිවිසුම පිළිබඳව වාසුදේව නානායක්කාර හා විමල් විරවංශ යන ඇමතිවරුන් විසින් විමසා සිටින ලදී. 
 
 
එහිදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් මෙහි අනතුරක් ඇති බව පිළිගන්නා ලදී. එමෙන්ම ලංකාවේ විදුලි නිෂ්පාදනය තනි සමාගමකට යාමේ අනතුරද ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ද පිළිගන්නා ලදී. ඒ අනුව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් හැකි ඉක්මනින් කළ යුතු යැයි අපි කල්පනා කරමු.
 
 
2021 සැප්තැම්බර් මස 07 වන දින Zoom තාක්ෂණය ඔස්සේ පැවැත් වූ කැබිනට් රැස්වීමේ දී සම්මත වූයේ යැයි පවසනු ලබන ස්වභාවික වායු මගින් විදුලිය නිපදවීමට අදාළව කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් රජයේ හවුල්කාර පක්ෂ වන අපගේ ස්ථාවරය ඔබතුමන්ට ප්‍රකාශ කර සිටීම අපගේ වගකීමක් යැයි සිතමු. 
 
ඉහත සඳහන් කැබිනට් පත්‍රිකාව සම්මත වූයේ පූර්ව දැනුම් දීමකින් තොරව බව ඔබතුමාද පිළිගනු ඇතැයි සිතමු. 
 
කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් නිරීක්ෂණ ඉල්ලා කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ ලිපියක් බාර දී ඇති අතර ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් සිදුවූයේ නැත. මෙවැනි බරපතල කැබිනට් පත්‍රිකාවක් සම්මත කිරීමේදී කැබිනට් මණ්ඩලය මනාව දැනුවත් විය යුතු වූවත් සහමුලින්ම එසේ සිදු නොවීම කණගාටුවට කරුණකි.
 
  
මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ දී රටේ පවත්නා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ මගක් ලෙස මෙම තීරණය ගත්තේ යැයි උපකල්පනය කළහොත් එය වැරදි තීන්දුවක් නොවන බව අපගේ නිරීක්ෂණයයි. 
 
 
මෙම ගිවිසුම් ප්‍රකාරව ක්ෂණිකව ලැබෙන මුදල මිලියන 250 කි. එහි වටිනාකම ඩොලර් මිලියන 250 ක් බවට විධිමත් තක්සේරුවක් සිදුකොට නොමැත. විදුලිබල මණ්ඩලය මඟින් කැඳවන ලද ටෙන්ඩරය නොතකා NFE සමාගම සමග එකඟතාවයකට පැමිණ ඇත.
 
දැනට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 65% ක් පමණ ගල් අඟුරු හා ඩීසල් දහනය කිරීමෙන් ලබාගනු ලබයි. 35% ක් පමණ ජල විදුලිය හා වෙනත් පුනර්ජනනීය බලාගාර තුළින් ලැබේ. ලෝකයේ බොහෝ රටවල් පසුගිය අවුරුදු 10 තුළ සූර්ය බලය, සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති විභවයන් කරා යොමු වූවත් අප 10% ක තරම්වත් ඒ සඳහා යොමුවී නැත.
 
1571983072 Gota App L.jpgs
 
2019 පැවති ජනාධිපතිවරණයේ දී ඔබතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ පුනර්ජනනීය බලශක්ති විභවයන් කරා යොමු වීම 80% කින් සිදු කරනු ලබන බවයි. 
 
 
 
ජනාධිපතිතුමනි, 
 
 
ඔබතුමන් ඓතිහාසික වූද, පූජනීය වූද රුවන්වැලි මහා සෑ මළුවේ වැදගත් ප්‍රතිපත්ති දෙකක් ඉංග්‍රීසි වචනයෙන් අවධාරණය කළේය. විදේශ ප්‍රතිපත්තියේදී කිසිවෙකුට ගැති නොවන ප්‍රතිපත්තියකට යොමු වන බව (neutral position) හා තිරසාර සංවර්ධනය කරා (sustainable)යොමුවන බවයි. 
 
ඒ පිළිබඳ දැන උගත් බොහෝ පිරිස් ඔබතුමාට ආශිර්වාද කළහ. එය පුණ්‍ය භූමියක සිට කළ ඓතිහාසික ප්‍රකාශනයකි. 
 
එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාසය පිළිබඳ සැසිය අමතමින් මුළුමහත් ලෝකය හමුවේ රටේ රාජ්‍ය නායකයා ලෙස ඔබතුමා 70% කින් පුනර්ජනනීය බල ශක්තිය කරා යන බව සංඛේතාත්මකවම ප්‍රකාශ කළේය. 
 
 
යෝජිත LNG ස්වාභාවික වායු මගින් විදුලිය නිපදවීම අරඹයා NFE සමග අත්සන් කරන ලද ගිවිසුම ඔබතුමන් ජනතාවට කරන ලද ප්‍රකාශ සමග පටහැනි වේ. 
 
 
පවත්නා ඩීසල් හා ගල්අඟුරුවලින් බලශක්ති නිෂ්පාදනය කිරීම 35% කින් අඩු කළ යුතුව පවතිද්දී තවත් 45% ක පමණ LNG විදුලි බලාගාර මගින් මෙම NFE සමග විදුලිය නිෂ්පාදනයට කිරීමට එකඟ වන විට ඔබතුමා ජනතාවට දුන් පොරොන්දු හා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් කළ ප්‍රකාශය සපුරා ගන්නේ කෙසේද? එවිට ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදනයට මෙම ගිවිසුමත් සමග තිරසාර නොවන විදුලිය 90% ක් පමණ වනු ඇත.
 
ස්වභාවික වායු පරිභෝජනයේ ඒකාධිකාරය මෙම ගිවිසුම මගින් තනි සමාගමකට අයිති වේය යනු අපගේ උපකල්පනයයි. රටක බලශක්ති නිෂ්පාදනනය පිළිබඳ ප්‍රතිපත්ති එම රටෙහි රටේ සෛවරීත්වය ප්‍රකාශ වන කේන්ද්‍රීය සාධකයකි. 
 
ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රයට විදේශ රටවල් හවුල්කර ගැනීමේ දී ඉතාමත් කල්පනාකාරී වේ. 
 
මෙම අත්සන් තැබූ ගිවිසුම අනුව මෙගාවොට් 1683 ක විදුලි නිෂ්පාදනය ඔවුන් සතුවේ. මෙම ගිවිසුමට අනුව ස්වාභාවික වායු වල ඒකාධිකාරය ද ඔවුන් සතුවන බව පෙනෙන්නට තිබේ. 
 
  
NFE ඇමෙරිකන් සමාගම සමග ස්වභාවික වායු මගින් විදුලිය නිපදවන කාර්යයට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත වූ ආකාරය සදාචාරාත්මක නොවේ. එමෙන්ම ඔබතුමාගේ අනුමැතියට අදාළව රජයේ මුදල් හා කාලය වැය කොට සැකසූ ටෙන්ඩර් පිටිපාටියද නොසළකා හැර ඇත. 
 
 
2021 පෙබරවාරි 18 වන දින ලංකා විදුලිබල මණ්ඩලය මගින් ටෙන්ඩරය කැඳවා ඇත. එය ජූනි 18 අවසන් වීමට නියමිත වුවත් ඔබතුමන්ගේ නියමය පරිදි එය තවත් දීර්ඝ කරන ලදී. 
 
එමෙන්ම මෙම ටෙන්ඩර් පත්‍රිකාව සකස් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විශේෂඥයින්ගේ සහයද ලබා ගෙන ඇත.
 
 මෙම ටෙන්ඩරය කැඳවීමට ප්‍රථම එවකට මුදල් අමාත්‍යධූරය දැරූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මාසයේ මෙම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) ලංකාවට පැමිණ අග්‍රාමාත්‍යවරයා හමුවී ඇත.
 
මාර්තු මාසයේ 16  දින නිව්යෝර්ක් හි NFE සමාගම කොටස් හිමියන් කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා ඇත. එම රැස්වීමේ විශේෂයෙන්ම සාකච්ඡා කොට ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ස්වභාවික වායු මගින් විදුලිය නිෂ්පාදනය සඳහා මෙගාවොට් 300 ක් ලබා ගත් බවත් එය ඉදිරියේ දී මෙගාවොට් 600 ක් වන බවකි.
 
 
 රජයේ මුදල් වියදම් කොට ටෙන්ඩර් පටිපාටියක් පවත්වාගෙන යන අතරතුරේ ඒ කිසිවක් නොසලකා සදාචාර විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳ සියලු තොරතුරු දැන් නිරාවරණය වී ඇත. එවිට මෙම ක්‍රියාවලිය ඔබතුමාගේ හා රජයේ ප්‍රතිරූපයට හානිවන අතර එවැනි තත්වයක් තුළ කිසිම වගකිව යුතු ආයෝජකයෙක් ද ශ්‍රී ලංකාවට නොඑනු ඇත.
 
 
දැනට අනාවරණය වන තොරතුරු අනුව මෙම NFE සමාගම ඩොලර් මිලියන 31 කට LNG නිෂ්පාදනය සඳහා අප්‍රිකානු සමාගමකින් උපකරණ මිළ දී ගෙන ඇත. එම අප්‍රිකානු සමාගමෙන් එක යුනිට් එකකට යන වියදම ඩොලර් 3.50 කි. 
 
මුදල් අමාත්‍යවරයා අත්සන් කළ ගිවිසුමෙහි එක යුනිට් එකකට ඩොලර් 10, 11.04 ක් හා 21.86 ක් ලෙස සඳහන් වී ඇත. 
 
ශ්‍රී ලංකාවේ FSRU සංකීර්ණය නැගුරම් දැමීමට හා නළ පද්ධතිය සැකසීමට යන වියදම රුපියල් ඩොලර් මිලියන 50කි. ඉතිරි වියදම දැරිය යුත්තේ ශ්‍රී ලංකා රජය මගිනි. ඩොලර් මිලියන 50 කින් පමණ ඔහුගේ ආයෝජනය ආරම්භ කළ හැකි අතර ශ්‍රී ලංකාවෙන්ම ලබා ගන්නා මුදලින් ඉදිරි කටයුතු කළ හැකි වනු ඇත. 
 
මේ අනුව මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට කළ හැකි ආයෝජනයකි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය යමෙකුට හිමි වන්නේ නම් එම සමාගමට මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීමේ අයිතිය ද ලබා ගත හැකි වනු ඇත. 
 
එබැවින් ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හා තෙල් ලබා ගැනීමේ වාසිය අප සතු කර ගැනීමේ අරමුණ මත ශ්‍රී ලංකාවේ විදුලි ජනන ප්‍රතිපත්තිය සැකසිය යුතුව ඇත.
 
  
ස්ථාපිත ස්වභාවික වායු නැවක් මුහුදෙහි පවතින විට බංකරින් සේවාව ද එම සමාගමට හිමි වනු අත. ශ්‍රී ලංකාව විශාලම නාවික ගමනාගමන කලාපයක පිහිටි රටකි. එම පිහිටීමේ වාසියද ශ්‍රී ලංකාවට අහිමි වී යාමේ අනතුරක් ඇති දැයි විමසා බැලිය යුතුය. 
 
 
ගෑස්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම ලාබදායී යැයි පැවසුවත් එහි මිළ මේ වන විට සාපේක්ෂව ඉහළ යමින් පවතී. එමෙන්ම ස්වභාවික වායු පුනර්ජනනීය විභව ශක්තියක් ලෙස ගැනෙන්නේ නැත. ස්වභාවික වායු වලින් විදුලිය නිෂ්පාදනය කිරීම පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනයට වඩා ලාබදායී නොවන බව සියළු දෙනාගේ නිගමනයයි. 
 
 
අතිගරු ජනාධිපතිතුමනි,
 
  
මිත්‍රශීලී හවුල්කාර පක්ෂ ලෙස මෙම ගිවිසුම් යලි විමසා බැලිය යුතුය යන්න අපගේ ස්ථාවරයයි. තෙල් සහ ස්වභාවික වායු යනු ලෝක යුද්ධ කරා ද අනවරත දේශපාලන ගැටුම් වලටද තුඩු දී ඇති බව අප සියල්ලෝ දැන සිටිමු. ලෝක බලවතුන්ගේ බල අරගලයේ කොටසක් බවට අප පත්විය යුතු නොවේ. 
 
 
බලශක්තිය සම්බන්ධව ඕනෑම ගිවිසුමකට එළඹීමේදී එය රටට වාසිදායක ලෙස සිදුකළ යුතුය, යන්න අපගේ හැඟීමයි. විධිමත් අධ්‍යනයකින් පසු විධිමක් ටෙන්ඩර් පටිපාටියක් යටතේ ඇමෙරිකාව හෝ වෙනත් ඕනෑම රටක් සමග අප රටට අවාසි නොවන ලෙස ගිවිසුමකට එළඹීම අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත.
 
රජය ගොඩනැගීමට දායක වූ මිත්‍රශීලී පක්ෂ ලෙස ඔබතුමන් සමග ඉක්මන් සාකච්ඡාවක් බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාව සඳහා මෙම විෂය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයින් සහභාගි කරන ලෙසත්, අපගේ පාර්ශවයෙන් ද එවැනි විශේෂඥ දැනුම ඇති කිහිපදෙනෙක් සහභාගි කිරීමට අපේක්ෂා කරමු. 
 
 
අතිගරු ජනාධිපතිතුමනි,
 
 
විධිමත් සාකච්ඡාවකින් පසු වඩාත් සුදුසු තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරමු. මෙවැනි අර්බුදකාරී වාතාවරණයකදී අනෝන්‍ය අවබෝධය හා එකමුතුකම ඉතා වැදගත්ය යන්න අපගේ හැඟීමයි. 
 
පහත අත්සන් කරන අපි හැකි ඉක්මනින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ''
 
 
 
ජනාධිපතිගේ පිළිතුරු ලිපිය : සත්‍ය කරුණු නොවන බවට චෝදනාවක් ! 
 
gotabaya 
 
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ ලිපියට ජනාධිපතිවරයා විසින් ඔක්තෝම්බර් 14 දා ප්‍රතිචාර දක්වා තිබිණ. පක්ෂ නායකයින් වෙත යොමුකළ එම පිළිතුරු ලිපියේ මෙසේ සඳහන්වේ.
 
 
 
 
ගරු මන්ත්‍රිතුමනි,
 
ස්වභාවික වායු මගින් විදුලිය නිපදවීමට අදාළව ඇමෙරිකානු සමාගමක් සමග අත්සන් කරන ලද ගිවිසුමට අදාළවයි.
 
ඉහත මැයෙන් 2021.10.07 වැනි දින ඔබ විසින් මා වෙත යොමු කරන ලද ලිපිය හා බැඳේ. 
 
මෙම ලිපියේ ඇති කරුණු සත්‍ය කරුණු නොවන බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි.
 
 
ඔබ විසින් සඳහන් කර ඇති පරිදි NFE සමාගමට Westcoast සමාගමේ 40% ක කොටස් අළෙවි කිරීම සිදු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට 2020.07.09 වැනි දින සිට ඉදිරිපත් වූ විවිධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ක්‍රමවේදයන් හා තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළවය.
 
 
හරිත ශ්‍රී ලංකාවක් සහිත දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සෙවීමේදී ගල් අඟුරු හා ඩීසල් බලාගාර මත විදුලි බලය සැපයීමෙන් ඉවත් විය යුතු අතර ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන ජලය, සුළං හා සූර්ය බලය යොදා ගැනීමට කටයුතු කිරීමේ මාර්ග සිතියමක් ලෙස 2030 වසර වන විට සමස්ත විදුලි ජනනයෙන් 70% ක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත. 
 
ඒ අනුව තවදුරටත් ගල් අඟුරු හෝ ඩීසල් විදුලි බලාගාර අනුමත කිරීම කළ නොහැකි අතර ඒවාද ක්‍රමයෙන් ඉවත් කිරීම විදුලි ජනන සැළැස්මට ඇතුළත් කිරීමට මා උපදෙස් ලබා දී ඇත. 
 
 
Westcoast සමාගම මෙගා වොට් 300 ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් ඇති කිරීමෙන් ඩීසල් බලාගාරයක් වෙනුවට ස්වාභාවික වායු විදුලි ව්‍යාපෘතියක් විදුලි ජනනයට එක් කිරීම NFE සමාගමේ ආයෝජනයෙන් අපේක්ෂා කෙරේ. එය '' සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිරිසිඳු බලශක්ති (clean energy) ආශ්‍රිත විදුබල නිෂ්පාදනයට ද දායක වනු ඇත. 
 
 
ඒ අනුව සමස්ථ විදුලි ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති වන අතර ඉතිරි 30% තුළ ද ගල් අඟුරු, ඩීසල් විදුලි බලාගාරවල දායකත්වය අඩු කර ගැනීමට අපේක්ෂිතය.
 
රට මුහුණ දී ඇති මූල්‍ය තත්වයේ ඇති බැරෑරුම් ස්වභාවය ද අවධාරණය කළ යුතුය. 
 
ඔබ සියල්ල දන්නා පරිදි පස, ජලය හා වාතය දූෂණය වීමට අමතරව තෙල්, ගල් අඟුරු, රසායනික පොහොර ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 4,000 ක පමණ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වියදම් කරයි. 
 
දැනට වාර්තාවන ඇ.ඩො. 80 ඉක්ම වූ තෙල් බැරලයක මිල ගණන් හා ආශ්‍රිත ගල් අඟුරු සඳහා වන මිල ගණන් තුළ මෙම වියදම ඩොලර් මිලියන 5,000 ක් පමණ විය හැකිය. 
 
මේ සියල්ල දේශීය පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා මූලික වශයෙන් යෙදෙන අතර ඒ සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුව මෙන්ම මහා භාණ්ඩාගාරය සපයන මූල්‍යමය පහසුකම් සීමාවන් ද ඉක්මවා ඇත. 
 
C S.psds 
ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ තැන්පතු වලින් විශාල ප්‍රමාණයක් වැය වන්නේ මෙම ආනයනය සඳහා ණය සැපයීමටයි. මහා භාණ්ඩාගාරය විසින් ඒ සියල්ල සඳහා ණය ඇපකර නිකුත් කර ඇති අතර එය ද තිරසාර මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට බාදාවක් වී ඇත. 
 
 
දේශීය මුදල් විදේශ විනිමය බවට පත් කර එමගින් කරනු ලබන මෙවැනි ආනයන වියදම් පවතින අපනයන, සංචාරක, විදේශ රැකියාවල ඉපයීම් මාර්ගවලින් පමණක් පියවා ගැනීමට නොහැකි වීම තුළ රට සමස්ත වශයෙන් විශාල ණය ප්‍රමාණයකට මුහුණ දී ඇති අතර එමගින් විදේශ විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීමට ද අභියෝගයක් වී ඇත. 
 
වසර ගණනාවක් තුළ සිදුවන මෙම ක්‍රියාවලිය වෙනස් කරමින් තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා දේශපාලන වාසි අවාසි නොතකා කටයුතු කිරීම අපගේ ජාතික වගකීමකි. 
 
එබැවින් විදේශ ණය වෙනුවට ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ හඳුනාගත් ක්ෂේත්‍රවල විදේශ ආයෝජනයට ඉඩප්‍රස්ථා සැලසීම රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය බව අප තේරුම් ගත යුතුය. මේ සියල්ල ඔබ විසින් අනුමත කර ජනතා වරමක් ලබා ගත් "සෞභාග්‍යයේ දැක්ම" මැතිවරණ ප්‍රකාශනයට අනුකූලය.
 
ඔබ රජයේ කොටස්කාර පක්ෂ වශයෙන් මා සමඟ ඉහත කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට වඩා අමාත්‍ය මණ්ඩලයේත්, රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කොටස්කරුවන් වශයෙන් සමස්ත රජයේ දෙපාර්තමේන්තු කණ්ඩායමේ සහභාගීත්වයෙන් විවෘතව සාකච්ඡා කිරීම යෝග්‍ය බව මාගේ අදහසයි.
 
  
 මිත්‍ර පක්ෂ වශයෙන් රජයේ කොටස් කරුවන් වන ඔබ දේශපාලනික වශයෙන් මතුවන ගැටළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා හා ජාතික සංවිධායක ගරු මුදල් අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කිරීම වඩාත් සුදුසු යැයි මා අදහස් කරමි.
 
 
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බැවින් සෑම කරුණක් පිළිබඳවම අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා සිදුවන බැවින් එළඹෙන තීරණ සාමූහික වගකීමෙන් ඉටු කිරීම ද රජය විසින් කරනු ලබන කටයුතුවල ඵලදායීතාවය හා ජනතා විශ්වාසය වැඩි කර ගැනීමට හේතු වනු ඇත.
 
තවද, ඉහත ස්වභාවික වායු මගින් විදුලිය නිපදවීමට අදාළව අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳ අවශ්‍ය සියලු තාක්ෂණික කරුණු අදාළ තාක්ෂණික නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් ඔබ හා සාකච්ඡා කර පැහැදිළි කර දෙන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාටත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාටත් මා විසින් උපදෙස් ලබා දී ඇත.
 
(ගෝඨාභය රාජපක්ෂ)
 
WhatsApp Image 2021 10 21 at 4.12.57 PMWhatsApp Image 2021 10 21 at 4.12.57 PM 1WhatsApp Image 2021 10 21 at 4.12.58 PM
 
2 lt 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 

THE LEADER TV 
 
අංඥකොරෝස් වෙන්න ළගයි අයින් කරලා දාන්න. | ස, ගේ දැනගැනීම පිණිසයි 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්