කොළඹ ආශ්‍රිත නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතී.


එය විසඳීමේ අරමුණින් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ තිබූ හුණු ගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වළවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රඳවනයක් සහ අප දියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මඟින් යළි පණ ගන්වා තිබේ.

ඒ අනුව, කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීම හා ඊට අදාළ දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදු වී තිබේ. මුල් අවස්ථාවේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරය ආශ්‍රිතව දෛනිකව ජනනය වන කසල මෙට්‍රික් ටොන් 1200ක් කැලණිය, වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එහිදී සම්පීඩනයට ලක් කර දුගඳ නසා බහාලුම් පෙට්ටිවල අසුරා දුම්රිය මගින් ප්‍රවාහනය කර පුත්තලම අරුවක්කාලුවලදී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීම සඳහා ය.මේ වන විට බස්නාහිර පළාතේ, පළාත් පාලන ආයතන මගින් බැහැර කෙරෙන අවශේෂ කසල සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමට හැකි වන පරිදි මෙම පහසුකම් ව්‍යාප්ත තිබේ.

 


මෙම සනීපාරක්ෂක බැහැර කිරීම ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු වන්නකි. මෙම ව්‍යාපෘතියේ මුළු පිරි වැය අමෙරිකානු ඩොලර් මිලියන 130ක් වන අතර කැලණිය වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මගින් කසල ප්‍රවාහනය කිරීමට අවශ්‍ය දුම්රිය බලවේග කට්ටල එන්ජින් 4ක් ආනයනය කර ඇත. ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වනතුරු එම එන්ජින් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ. S 14A වශයෙන් ඛාණ්ඩ ගත කරන එම කොළ සහ සුදු පැහැයෙන් යුතු බලවේග කට්ටල දුම්රිය එන්ජින් මේ වන විට “උඩරට මැණිකේ” දුම්රියේ සිට දුර ගමන් සේවා, නගරාන්තර සේවා සේම නගරාසන්න සේවා සඳහා යොදවා තිබේ.


කැලණිය වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානය

ඉදිරියේ දී මෙම බලවේග කට්ටල එන්ජින් මතු කැලණිය, වනවාසල අරුවක්කාලු අතර කසල ප්‍රවාහනය සඳහා පමණක් වෙන් කෙරෙනු ඇත. නමුත් මෙම කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලුවට ගෙන යන කතාවට පසුගිය කාලයේ බොහෝ දෙනකු කැමති වූයේ නැත. ඒ එම කසල ප්‍රවාහනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් අපොහොසත් වීම නිසා ය.

කොළඹ පුත්තලම දුම්රිය මාර්ගය වැටී ඇත්තේ බස්නාහිර හා වයඹ පලාත්වල මානව ජනාවාස පද්ධතියක් ද අතුරිනි. එවන් තත්වයක් යටතේ කොළඹ කුණු එම ප්‍රදේශ හරහා දුම්රියෙන් ගෙන යන කතාවට බොහෝ දෙනෙක් දැඩිව විරුද්ධ වූහ. ඒ බොහෝ දෙනකු සිතා ඇත්තේ “කුණු කෝච්චිය:” නාගරික කුණු ලොරි, ට්‍රැක්ටර් තිහ හතලිහක් එකට අමුනා ගෙන දසත දුගඳ පතුරුවමින් යන “ජංගම කහළ ගොඩක්” වශයෙනි.

 

RC Pradeep twitterබොහෝ දෙනකු සිතා ඇත්තේ “කුණු කෝච්චිය:” නාගරික කුණු ලොරි, ට්‍රැක්ටර් තිහ හතලිහක් එකට අමුනා ගෙන දසත දුගඳ පතුරුවමින් යන “ජංගම කහළ ගොඩක්” වශයෙනි.
එමෙන්ම ඒ සඳහා විකල්ප දේශපාලන පක්ෂ මඟින් ද ජනතාවට දිරච්ච ලනු කවා තිබිණ. එහෙත්, එහි කිසිදු ඇත්තක් නැත. එම කසල ප්‍රවාහන ක්‍රමය මඟින් පරිසරයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවේ. මෙය අති නවීන ක්‍රමයකි. නමුදු එහි භාවිතයේ යම් යම් ගැටළු පවතී නම් ඒ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ අයිතිය අප සතු ය.

සාමාන්‍යයෙන් කොළඹ නගරයේ පමණක් දිනපතා එක් රැස් කෙරෙන කසළ කැලණිය වනවාසල ප්‍රදේශයට එකතු කර ඒවා කසළ අංගණයෙහි දී සම්පීඩනය කොට එතැන් සිට ඒ සඳහාම වෙන් කරන ලද දුම්රිය මගින් අරුවක්කාලු ප්‍රදේශයට රැගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමයට රඳවනු ලැබේ. අරුවක්කාලු ප්‍රදේශයේ අක්කර 265ක භූමි ප්‍රදේශයක් පුරා මෙම සනීපාරක්ෂක කසළ රඳවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, එමඟින් අක්කර කිහිපයක්ම උද්‍යානයක් ලෙස අලංකාර කිරීම, ආරක්ෂක භූමි සහ පරිසර හිතකාමී තත්ත්වය ඇති කිරීමට වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

IMG 1039අගනුවර පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල කැලිකසළ සැලකිය යුතු ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ.
මේ වන විට, කොළඹ නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත්, 2024 අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර පවසයි. ඊට අමතරව කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි 94 ක් මිල දී ගෙන ඇති අතර කැලණිය සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය දුම්රිය ගැල් 17ක් අලුත්වැඩියා කර ලබා දී ඇත.

ඒ අනුව මෙම කසල ප්‍රවාහනය යනු නාසය හකුළුවා ගත යුතු තත්වයක් නොවන බව ද ඉඳුරාම කිව යුතුය. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ව්‍යපෘතියේ කොන්ත්‍රාත්කරුවන් විසින් මාස තුනක කාලයක් සදහා කාර්මිකයින් පුහුණු කිරීම, කසල එකතු කිරීමේ අංගනයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කොට ඇත්තේ චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරින් ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔෆ් චයිනා සමාගම විසිනි.



kalaniya1කැලණිය වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානය

අක්කර 140ක් වන අරුවක්කාලු කසල රඳවන මධ්‍යස්ථානයේ සහ අක්කර 20ක් වන කැලණිය, වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානයේ ද වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇත.මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා සඳහන් කළ අන්දමට කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය වසරකට අධික කාලයක් නතර කර තිබී ඇති අතර මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා වෙන් කෙරුණ මුදල රුපියල් මිලියන 5,500 කි. ව්‍යාපෘතිය ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම මේ දිනවල සිදු කරන බවත් එම පුහුණුව හා පෙරහුරු පරීක්ෂණ අවසන් වූ වහා ම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අරුවක්කාලු කසළ අංගණයේ සියලු වැඩ අවසන් කර ඇතත්, එහි එක් රැස් වන වැසි ජලය කලපුවට බැහැර කිරීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු නොකිරීම නිසා අංගණය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇතැයි පසුගිය කාලයේ අනාවරණය විය.

අරුවක්කාලු සහ කැලණිය වනවාසල කසළ අංගණයන්හි ග්‍රැන්ටි දොඹකර දෙක බැගින් සවි කිරීම, කැලණිය කසළ අංගණයෙහි අපද්‍රව්‍ය සම්පීඩන යන්ත්‍රය ස්ථාපිත කිරීම, දුම්රිය ගැල් මිලදී ගැනීම, පාලවිය සිට අරුවක්කාලු දක්වා දුම්රිය මාර්ගය අලුත් වැඩියා කිරීම ඒ සම්බන්ධ වැදගත් කටයුතු ය. අරුවක්කාලු කසළ අංගණයේ එක් රැස් වන වැසි ජලය කලපුවට බැහැර කිරීම සම්බන්ධයෙන් මතුවී තිබෙන මහජන විරෝධතා මගහරවා ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු ය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් සිදු වන අහිතකර පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් කරුණු විමසීමට ඕනෑම කෙනකුට අයිතියක් තිබේ.


train enginකසල ප්‍රවාහනය සඳහා දුම්රිය එන්ජින් ගෙන්වූ අයුරු

අරුවක්කාලු සනීපාරක්ෂක කසල රැඳවුම් ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 21,045ක මුදලක් වැයකර තිබුණද මෙකී ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට 2022 වර්ෂයේ අවසානය දක්වාම නොහැකි විය. ඒ බව 2023 වසරේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක ද සඳහන් විය. අරුවක්කාලු සනීපාරක්ෂක කසල රැඳවුම් මධ්‍යස්ථානය ගංවතුර ආපදා තත්වයන්ට මුහුණදීම සදහා සුදුසු ක්‍රමවේදයක් සකස්කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට තිබිණ. මෙම තත්ත්වය නිසා 2021 වර්ෂයේ දි ඇතිවු ගංවතුරෙන් යටවී අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ යන්ත්‍රෝපකරණ ඉකුත් වර්ෂය අවසන් වනවිට ද යථා තත්ත්වයට පත්කර නොතිබූ බව ද විගණන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් ව ඇත.



S14AS 14A බලවේග කට්ටල දුම්රිය එන්ජිමක්
අගනුවර පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල කැලිකසළ සැලකිය යුතු ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. ශීඝ්‍ර නාගරීකරණය,නොවිධිමත් ජනාවාසකරණය අකාර්යක්ෂම අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම පරිසරයට හා සමාජයට බරපතල අහිතකර ප්‍රතිවිපාක ඇති කර ඇත. නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය කළමනාකරණයේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ කසළ බැහැර කිරීම සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති කමයි.

ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල ප්‍රමාණවත් තරම් එවැනි කොම්පෝස්ට් සදහා ප්‍රතිචක්‍රීකරණය, හෝ කසළ බැහැර කරන ස්ථාන නොමැත. මෙයින් සිදුවෙන්නේ අපද්‍රව්‍ය අනවසර කසල ගොඩවල් වල එකතු වීම හෝ එළිමහනේ පුළුස්සා දැමීමයි. ඒ දෙකම පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අහිතකර ප්‍රතිවිපාක ඇති කරයි. කුණු කසළ විවෘතව පිළිස්සීමෙන් විෂ රසායනික ද්‍රව්‍ය සහ දූෂක ආශ්වාස කිරීම අහිතකර ය. මීට අමතරව, නියාමනය නොකළ කසල ස්ථාන සාමාන්‍යයෙන් පස, භූගත ජලය සහ වාතයේ ගුණාත්මක භාවයට හානි කරයි. ගොඩබිම සහ ජලය හායනය වන අතර එවැනි කසල ගොඩවල් රෝග සම්ප්‍රේෂණය කළ හැකි කෘමීන් සහ මීයන් වැනි පළිබෝධකයන් සඳහා අභිජනන භූමි බව නිසැකය.



aruwakkaluඅරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය

නිසි අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම අවම වීම සහ අධ්‍යාපනය නොමැතිකම හේතුවෙන්, ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් නිෂ්පාදනයේ ප්‍රතිලාභ මෙන්ම නුසුදුසු කසළ බැහැර කිරීමේ අහිතකර බලපෑම් පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත. මේ නිසා බොහෝ දෙනෙක් දිගින් දිගටම කසළ කානු වලට, මාර්ග වලට හෝ වෙනත් හුදෙකලා වූ ස්ථාන වලට වීසි කරති.

නමුත් පළාත් පාලන ආයතන ඔස්සේ අප ද්‍රව්‍ය කලමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයන් සකස් වීමෙන් සමාජයට අත් වන යහපත සුළුපටු නැත. දැනටමත් අප රටේ පලාත් පාලන ආයතන කිහිපයක් එම කාරියට උර දී තිබේ.

දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණය නිසා අහිතකර පාරිසරික බලපෑම් මෙන්ම බොහෝ සමාජ ප්‍රතිවිපාක පැන නැඟී ඇත. එයින් වඩාත්ම බරපතල සමාජ බලපෑම වන්නේ එය නාගරික පදිංචිකරුවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට බලපාන අයහපත් ආකාරයයි.

 

world 7 4 1අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් නොවීම, මිනිසුන්ගේ ජීවන තත්ත්වය මෙන්ම දේපළ වටිනාකම් අඩු වීම කෙරෙහි ද අහිතකර ලෙස බලපෑමට හැකිය.

පලාත් පාලන ආයතන වලට අධීක්‍ෂණය නොවන කසල ගොඩවල්, අපද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානවල පවා නුසුදුසු කසළ බැහැර කිරීමේ පිළිවෙත් මේ වනවිට මැලේරියාව, ඩෙංගු උණ සහ වෙනත් වාහක රෝගවලට මූලික හේතුවක් වී තිබේ. අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් නොවීම, මිනිසුන්ගේ ජීවන තත්ත්වය මෙන්ම දේපළ වටිනාකම් අඩු වීම කෙරෙහි ද අහිතකර ලෙස බලපෑමට හැකිය. මෙම ගැටළු විසඳීම සඳහා තිරසාර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සදහා විධිමත් ක්‍රමවේදයක් සහ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රමවේදයක් අවශ්‍ය වේ.


තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත්වල වටිනාකම සහ විභව විසඳුම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ අධ්‍යාපනික මුලපිරීම් සඳහා සහාය වීම මෙහිදී ඉතා වැදගත් වේ. ඒ අනුව අප රටේ බොහෝ විට දක්නට ලැබෙන දේශපාලනඥයන් ගේ සහ නිලධාරීන් ගේ වංචා දූෂණ අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතා වලින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුව හොත් කැලණිය වනවාසල සිට අරුවක්කාලු තෙක් දිවෙන කුණු කෝච්චිය සමාජය සුගන්ධවත් කිරීමට සමත් වනු ඇතැයි යන්න අපගේ වැටහීම ය.


renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - vinivida.lk)

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්