'තොල්ස්තෝයි 1905 රුසියානු විප්ලවයේ කැටපත යැයි ලෙනින් කී ය.
ඒ විප්ලවය විසින් විසඳිය යුතු ගැටලු ඔහුගේ අනාවරණයන් තුළ එළියට ආවේය යන අර්ථයෙනි. එනම්, ඒවා විප්ලවය සඳහා අවශ්‍ය ඥානයේ ඒක දේශයක් විදහා දක්වා ලී ය යන අර්ථයෙනි.
තොල්ස්තෝයි සාර් රාජ පාලනයේ කුරිරු බව විදහා දැක්වී ය; දූෂිත නිලධාරින් ගොවියන්ට පීඩා කරන සැටි හෙළි කලේ ය; පල්ලියේ වංචාව හා ගසාකැම නිරාවරණය කලේ ය. මරණීය දණ්ඩනයේ දරුණුකම පණ පිහිටුවා දැක්වී ය.
ඔහු මේ සියල්ලට එරෙහි තම ප්‍රබල පිළිකුලත් අසීමිත විරෝධයත් පළ කළ බව සැබැවි .එහෙත් ඔහු ඒවාට විසඳුම් සිහිනෙන්වත් නොදැක්කේ ය.
ඔහු කළේ පරම සත්‍යයේ ද අපරමිත ප්‍රේමයේ ද උල්පත ලෙස සැලකෙන සර්වබලධාරි සේ ගැනෙන දෙවියන් වහන්සේ අබියස විවේචනය නමැති අවියෙන් සන්නද්ධව නැඟී සිට ‘‘මට නිහඬව ඉන්න බෑ!’’ යි හඬ තැළීම හා මිනිසාගේ හෘදයසාක්ෂියට ආමන්ත්‍රණය කිරීමයි.
රූප රාමුව: දෘශ්‍යමානයෙන් යථාර්ථයට: මහාචාර්ය සුචරිත ගම්ලත්: පිටුව xxxvi
තොල්ස්තෝයි විසින් කරනු ලැබ ඇත්තේ සාහිත්‍යකරුවකු ලෙස ඔහුගේ වගකීම ඉටු කිරීම ය. ඒ ආකාරයට තමන්ගේ වගකීම ඉටු කළ වෙනත් කාලා මාධ්‍යවල නියැළී සිටින කලාකරුවන් අතර සිනමා කලාව තුළින් ‘ඇඟට දැනෙන යමක්’කළ සිනමාකරුවකු ලෙස සුදත් මහදිවුල්වැව හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය වූ ‘සුදු අළු සහ කළු’ ඊට කදිම නිදසුනකි. ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වන ‘‘MY RED COMRAD’’ මැයි මස තුන්වන දින සිට තිරගත වීමට නියමිත ය.
මා, සිනමාවේ තාක්ෂණික පාර්ශ්වය පිළිබඳ: එනම්, කැමරාකරණය, ආලෝකකරණය, ශබ්ද සංකලනය, වර්ණ සංයෝජනය යනාදිය පිළිබඳ දැනුමැ’ත්තකු නොවේ. නමුදු කිසියම් කලා නිර්මාණයක්: නරඹා, කියවා හෝ සවන් දී අදාළ කලා නිර්මාණය පිළිබඳ මගේ දෘෂ්ටි කෝණයෙන්, නැණ පමණින් කිසියම් අදහසක් දක්වන පුද්ගලයෙකි. එම තත්ත්වයේ සිට සුදත් මහදිවුල්වැව සිනමාකරුවාගේ අභිනව සිනමා නිර්මාණය වූ ‘‘MY RED COMRAD’’ පිළිබඳ යමක් ලියන්නට මම අදහස් කළෙමි.
යට සඳහන් කළ පරිදි මා මෙහි දී වඩාත් උත්සුක වන්නේ ‘‘MY RED COMRAD’’ සිනමා නිර්මාණයේ සාහිත්‍ය මානය ඔස්සේ සුදත් ඉදිරිපත් කරන, එසේත් නැතිනම් සමාජ ගත කිරීමට යත්න දරන දේශපාලනික පාර්ශ්වය පිළිබඳ මගේ කියවීම ඔබ සමග බෙදා-හදාගැනීම සඳහා ය. මෙම සිනමා නිර්මාණයේ එම ලක්ෂණය වඩාත් අන්තර්ගත වන්නේ මා යට සඳහන් කළ තාක්ෂණික පාර්ශ්වයට වඩා සාහිත්‍ය පාර්ශ්වයේ ය යන්න මගේ පුද්ගලික හැඟීම ය. එබැවින් එම මානයේ සිට ම මගේ කියවීමට ප්‍රවේශ වීමට අවසර.
මා මෙහි දි කතා සාරාංශයක් ද ඉදිරිපත් කිරීමට අදහස් නොකරන්නේ ය. නමුදු ඇතැම් ස්ථානයක ස්වං ලෙස එය සිද්ධ විය හැකි ය. ඒ මතු දැක්වෙන ආකාරයට ය.
ශ්‍රී ලංකා පොලිසියේ මුග්ධ භාවය
සිනමාපටය ආරම්භ වන්නේ පොලිසිය විසින් ලුහුබඳිනු ලබන සුරූපි කාන්තාවක් (තරින්දි ප්‍රනාන්දු) තම ජීවිතය බේරාගැනිම සඳහා ලෑලිවලින් නිමවූ කුඩා නිවසකට ඇතුළුවීමේ දර්ශනයකිනි. මෙම නිවසෙහි වෙසෙන්නේ වාම ව්‍යාපාරයට සම්බන්ධ, විප්ලවාවාදී පුවත්පත් කලාවේදියෙකි (ආසිරි ඇල්ලගේ). කාන්තාව, ඔහුට තමා හඳුන්වා දෙන්නේ මේ ආකාරයට ය.
‘‘මං වැඩ කරන තැනට පොලිසියෙන් පැන්නා. උන් කියන දේවල්වලට හා කිව්වෙ නැත්නං කුඩු පැකට් එකක් දාල ඇතුළට දානව. ආයෙ මාස හයක් යනකන්වත් එළියට එන්න බෑ. මට නැතිවෙන්න දෙයක් නෑ. ඒත්... මට කියල ආත්ම ගෞරවයක් තියෙනව නේ...’’
මෙම වදන් තුළ අදාළ කාන්තාව කවුද, ඇය කරන්නේ කුමක් ද යන්න පිළිබඳ මනස් සිතුවමක් ගොඩනංවා ගැනීම අසීරු නොවේ. එපමණක් නොව, ශ්‍රී ලංකා පොලිසිය බලයක් රහිත මිනිසුන් කෙරෙහි කටයුතු කරන්නේ කුමනාකාරයෙන් ද යන්න මෙහි ව්‍යංගයෙන් පිළිබිඹු කෙරේ. මෙය සත්‍යයකි; මේ ලක් දෙරණ මත සැබැවින් ම සිදුවන ඛේදනීය සිද්ධියකි. මේ ආකාරයට පොලිසියේ බලහත්කාරයට නතුවී වැරැදිකරු හෝ වැරැදිකාරිය යැයි පවසා, දඩ මුදලක් ගෙවා නිදහස් වූ අය මෙන් ම දඩ මුදල් ගෙවාගත නොහැකිව හෝ නීතිඥගාස්තු ගෙවීමට නොහැකිව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පිරිස් බහුල ය.
දැන් නැවතත් නිර්මාණයට ප්‍රවේශ වෙමු.
සමානාත්මතාව, පුද්ගලික අසුන සහ ගැහැනිය
කාන්තාව තමා හඳුන්වා දිමෙන් අනතුරුව නිවෙසෙහි වෙසෙන විප්ලවවාදියා මුළුතැන්ගෙට ගොස් කෝපි කෝප්ප දෙකක් ද රැගෙන පැමිණේ. එවිට ඔහු දකින්නේ ඔහුගේ සුවපහසු අසුනෙහි වාඩි වි සිටින කාන්තාව ය. එවිට මේ විප්ලවවාදියා තුළ සිටින ‘සැබෑ මිනිසා’ අවදි වෙයි. ඉදින් ඒ ‘සැබෑ මිනිසා’ කාන්තාවගෙන් මෙසේ විමසයි.
‘‘ඇයි ඔය පුටුවෙ වාඩි වුණේ...?’’
ඔහුගේ පැනයට කාන්තාව මෙලෙස පිළිතුරු සපයන්නී ය.
‘‘මට ආස හිතුණ මං වාඩි වුණා.’’
කාන්තාගේ පිළිතුරෙන් විප්ලවවාදියා ගේ මල පිටතට පනියි.
‘‘ඕක මං වාඩිවෙන පුටුව...’’
එවිට කාන්තාව ‘‘ඔවු මං දන්නවා... ඉතිං...?’’ යැයි පවසන්නී ය. අනතුරුව විප්ලවවාදියා මෙසේ විමසයි.
‘‘දන්නවනං ඇයි වාඩි වුණේ...?’’
මෙම වදන් හතර තුළ ජනතතාව වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා වැඩ කරන බව ලෝකයට පවසන විප්ලවවාදින්ගේ සැබෑ නිරුවත ප්‍රදර්ශනය නොකෙරෙන්නේ ද?
එවිට කාන්තාව මෙසේ විමසන්නී ය.
‘‘ඇයි... මේක සිංහාසනයක් ද...?’’
එසැණින් යළිත් විප්ලවවාදියා තුළ සැඟව සිටිනා අධි මානයෙන් යුත් මිනිසා පිටතට විසිවෙයි.
‘‘දන්නව ද කාටද කතා කරන්නෙ කියල...?’’
ඒ විප්ලවවාදියාගේ ප්‍රතිචාරය යි. කාන්තාව ඊට ප්‍රති පිළිතුරු සපයන්නී මෙලෙස ය.
‘‘ඔවු... හැම එකාට ම සමාන විදියට සලකන, යහපත් සමාජයක් දකින්න හීන දකින මිනිහෙක්ට.’’
‘‘කොහොමද දන්නෙ...?’’
විප්ලවාදියාගෙන් නැවත පැනයකි.
‘‘ඇයි... දැන් ටෙලිෆෝන් එකෙන් කිව්වෙ. මං හැප්පෙන්නෙ තනි මිනිහෙක් එක්ක නෙවෙයි ආණ්ඩුවක් එක්ක කියල.’’
කාන්තාව පිළිතුරු සපයන්නී උපහාසත්මක ස්වරයෙනි. එසැණින් ම මේ විප්ලවවාදියා කාන්තාවන් කෙරෙහි දක්වන අඩු සැලකිල්ල ඔහු ද නොදැනුවත්ව පිටතට විසිවේ.
‘‘ඔවු... ඔවු... කිව්ව විතරක් නෙවෙයි. ඒ වෙනුවෙන් ගොඩාක් වැඩ කරල... ජීවිතේ ම කැප කරල තියෙන්නෙ ඒ උත්තම අරමුණ වෙනුවෙන්. ඒක ගෑනුන්ට තේරෙන්නෙ නෑ.’’
විප්ලවවාදියා ‘‘ඒක ගෑනුන්ට තේරෙන්නෙ නෑ.’’ යැයි පැවසීම තුළ ම ගැහැනිය කෙරෙහි විප්ලවාදියාගේ (සමස්ත විප්ලවාදි පිරිමින්ගේ) ආදිකල්පික ආකල්පය පිළිබිඹු කෙරේ.
හදිසියේ ම විප්ලවවාදියාගේ නිවසට ඇතුළුවූ කාන්තාව, විප්ලවාදියාගේ සළුපිලි උනාදමන්නේ ඉන් අනතුරුව ය.
‘‘ජීවිතේ බේරගන්න හදිසියෙ මේ දොර ඇරගෙන මේ ගෙට ඇතුල්වෙන මං වගේ ගෑනුන්ට ඔය හදනව කියන සමාජෙ ඉඩක් නැද්ද...? ආ... තැනක් නැද්ද...? ඔය හදනව කියන සමාජෙ ගෑනු අපි අනාත ගෑනු ද...? සිල්ලර ගෑනු ද...? ගෑනු අපි මොක්කු ද? ඔය හදනව කියන මහා ලොකු සමාජෙ ගෑනු අපිට පුටුවක්වත් නැද්ද ආ...? ඒක පිරිමි විතරක් බුදු වෙන ලෝකයක් ද? ගෑනු අපි සත්තු ද? ගෑනු අපිත් මිනිස්සු කියල ඔය හදනව කියන සමාජෙ තාම තේරුම් අරන් නැද්ද?’’
සුදත්ගේ සිනමා නිර්මාණය තුළ එසේ වුව ද වර්තමාන යථා ලෝකයේ නම් එය එසේ විය නොහැකි ය; මන්ද දැන් ‘ගැහැනු අපි එක මිටට’ සිටින බැවිනි. එලෙස සිටින ගැහැනු අතරින් කෙනකු පිරිමියකුගේ පහර දීමට ලක්ව මිය යාම වෙන ම කරුණකි. ඒ පිළිබඳ විප්ලවවාදි පිරිමි මතු නොව ගැහැනු ද සිටින්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ ය. ඒ ලංකාවේ සැබෑ විප්ලවවාදී ව්‍යාපාරවල යථා ස්වභාවය යි.
‘මකාර් චුද්රා’ගේ සම්ප්‍රාප්තිය
මෙම කාන්තාව පොත් කටපාඩමෙන් කියවීමට දක්ෂතා දක්වන්නියකි. ඇය, විප්ලවවාදියා ද පුදුමයට පත් කරමින් ‘මැක්සිම් ගෝර්කි: තෝරාගත් කෙටිකතා’ කෘතියෙහි අන්තර්ගත කොටසක් කට පාඩමින් කියවන්නී අදාළ කෘතිය විප්ලවවාදියා අතට පත් කරමිනි. එම කෘතියෙන් උපුටා ගන්නා කොටස ද මේ අවස්ථාවේ උපුටා දක්වන්නේ එසේ නොකළ හොත් නිර්මාණකරුවා පවසන ගැඹුර වටහාගැනීම අසිරු වන බැවිනි.
‘‘ඔහු උපන්නේ මොකට ද,පොළොව කොටන්න ද, තමන්ගේ මිනි වළවත් හාරගන්ට වෙලාවක් නැතුව මැරිල යන්ට ද? ඔහු කවදා හරි නිදහසේ සැප විඳල තියෙනව ද? ස්ටෙප්ස් බිමේ විශාලකම ගැන ඔහුට දැනීමක් තියෙනව ද? මහ මුහුදේ හීන් හඩ නිසා ඔහුගේ හදවත ප්‍රීතියකින් ගැහෙනව ද? ඔහු වහලෙක්. උපන් දා සිට මරණ මොහොත දක්වාත් වහලෙක්. ඔහුට ඒ කිසිවක් කළ හැකි ද! ඔහුට තරමක් මොළය පෑදුනොත් ඔහු මවිත වේවි.’’
‘‘ඔන්න මා දිහා බලපන්. අවුරුදු පනස් අටක් තිස්සෙ මා දැකපු දේවල් කඩදාසියේ ලියන්න ගියොත් නුඹ ළඟ තියෙන මල්ල වගේ මලු දාහක වුනත් දමන්න ඉඩ මදි වේවි. මා නොගිය පළාතක් ගැන නුඹට කියන්න පුළුවන්ද? කියන්ට බැහැ. තැනක් තැනක් ගානෙ යන්න ඕනෙ. ජීවත් වෙන්න ඕනෙ එහෙමයි. එක තැනක වැඩි කල් ඉන්ට එපා. එහෙම ඉන්නෙ මොකට ද? නුඹට පේනව නේද දවල්, රැ වෙනවා, රැ පස්සෙ දවාල එළවනවා, එකිනෙක ඔහොම එළවනවා. ලෝකය වටේ දුවනවා. අන්න ඒ වගේ නුඹත් ඔය හිතේ ඇතිවන අදහස් එළවන්න ඕන. නැතිනම් ජීවිතයට තියෙන ආසාව නැතුව යාවි. එහෙම වෙනවා. මටත් එහෙම වුණා. අහා, එහෙම වුණා, රාජාලි තරුණයා.’’
තේමා ගීතයක් නොවුණු තේමා ගීතය
අධ්‍යක්ෂකට ප්‍රථම තිර රචකයා මෙම කෙටිකතාවේ, මෙම කොටස ම සිය නිර්මාණය සඳහා පාදක කරගන්නේ ද අහඹුවකින් නොවන බව මෙම කෙටිකතාව කියවා, විඳ ඇති පාඨක ප්‍රජාව වටහාගන්නා බව සක් සුදක් සේ පැහැදිලි ය. මන්ද එම කෙටිකතාව මෙන් ම මෙසේ උපුටාගෙන ඇති කොටස තුළ ද ගැඹුරු යටි පෙළ අරුතක් පිළිබිඹු වන බැවිනි.
බොහෝ ටෙලි නිර්මාණ සඳහා තේමා ගීත අන්තර්ගත වී තිබුණ ද සිනමා නිර්මාණ සඳහා තේමා ගීත අන්තර්ගත වන්නේ කලාතුරකිනි. ‘තේමා ගීතය’ ලෙස හඳුන්වා දි නොතිබුණ ද‘‘MY RED COMRAD’’ සිනමා නිර්මාණයේ පසුබිම් ගීතයක් අන්තර්ගත ය. එය මෙම නිර්මාණයේ තේමා ගීතය යැයි හැඳින්වුව ද කිසිදු වරදක් නැතැයි මට හැඟුණි. මන්ද එම ගීතය තුළ සමස්ත නිර්මාණය ම සාරාංශ ගත වී ඇති බැවිනි. ඇතැම් විට එය සිනමා නිර්මාණය නැරඹීමේ දී නොවැටහෙන්නට පිළිවන. ඒ, ප්‍රේක්ෂක ප්‍රජාවගේ නෙත් මතු නොව මනස ද ආක්‍රමණය කරන්නේ රූප රාමු පෙළ වන බැවිනි. එහෙත් මතු දැක්වෙන පද වැල අවධානයෙන් කියවන්නේ නම් එහි අන්තර්ගත ගැඹුර ද, සිනමා නිර්මාණයට එය කෙතරම් උචිත දැයි වටහා ගත හැකි බව මගේ විශ්වාසය යි.
විදුලි කොට කොට අකුණු ගැහුවා එකෝමත් එක රෑක
කට්ට කරුවල වෙට්ට පිත්තල ගෙන්දගම් අහස යට හීත
රතු පාට එක ඉටිපන්දමක් තිබුණා
දොර වහපු නැති ගේක
උණ්ඩ පුරවපු විදුලි පන්දම් කාසි මල්ලකි කට්ට කරුවල රෑක
ඇදුම් තෙත් වුණු ඇසින් වැස්සක ගැනුකම තනිවුණු දාක
රතු පාට එක ඉටිපන්දමක් තිබුණා
දොර වහපු නැති ගේක
වහලයෙන් යුතු ලෑලි කොටුවක පපුව තේතවුණු දාක
දොර ඇරියෙ එක පිරිමි මිනිහෙක් ගෑනුකම දිය වූ
කට්ට කරුවල රෑක
රතු පාට එක ඉටිපන්දමක් තිබුණා
දොර වහපු නැති ගේක
උණ්ඩ විහිදපු පෑන් තුඩකින් ජීවිතය හොයපු රෑක
පොපලර් ගස් දෙකක් මුණගැහුණා
හිරු නොදුටු එක රෑක//
රතු පාට එක ඉටිපන්දමක් තිබුණා
දොර වහපු නැති ගේක
යකඩු උණු කර දෙගොඩ යා කර රතු පාට රතු හොයපු දාක
රතු පාට එක හීනයක් තිබුණා හීන නොදැකපු රෑක
රතු පාට එක ඉටිපන්දමක් තිබුණා
දොර වහපු නැති ගේක//
මෙම පද රචනයේ එන: ‘රතු පාට එක ඉටිපන්දමක්’, ‘උණ්ඩ පුරවපු විදුලි පන්දම්’, ‘උණ්ඩ විහිදපු පෑන් තුඩකින්’, ‘පොපලර් ගස් දෙකක්’ සහ ‘යකඩු උණු කර දෙගොඩ යා කර’ යනාදි සංකේත මගින් ගිත රචකයා සිනමා නිර්මාණයේ අන්තර්ගත බහු අරුත් මැනවින් ප්‍රකට කර ඇතැයි මට හැඟේ.
පිඟානත් ප්‍රශ්නයක් ද...?
සුදත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ම රූප රාමු අභිභවන සමාජ දේශපාලන භූමිකාවක් මෙම නිර්මාණය තුළට අන්තර්ගත කර ඇත. එහි දී සුදත් භාවිත කර ඇත්තේ නාටකීය ක්‍රමවේදයැක් දැයි මට සිතෙයි. මන්ද සමස්ත නිර්මාණය ම කැටි කර ගත් විට එහි අන්තර්ගත රූප රාමුවලින් නොකියවෙන සමාජ දේශපාලන යථාවක් දෙබස් කණ්ඩ තුළ අන්තර්ගත බැවිනි. එමගින් බොහෝ විප්ලවවාදින්ගේ දුර්වලතා ඉස්මතු කෙරෙන බවත්, ඔවුන් වෙත අගනා පාඩමක් උගන්වන බවත් මගේ හැඟීම ය.
ඒ සඳහා එක් උදාහරණයක් ලෙස විප්ලවවාදියා සහ කාන්තාව එක්ව ආහාරය සාදාගත් පසු මතුවන ‘පිඟාන පිළිබඳ ප්‍රශ්ණය’ ගෙන හැර දැක්විය හැකි ය. එහි දී විප්ලවවාදියා: අනෙකා වෙනුවෙන් ජීවිතය පවා පරිත්‍යාග කරන්නට ඇප කැප වී සිටින විප්ලවවාදියා තමන් සතුව ඇති එක ම පිඟාන දෙදෙනකු භාවිත කරන්නේ කෙසේ ද යන උභතෝකෝටික ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය ඉතාම උත්ප්‍රාස ජනක ය. අවසන ඒ සඳහා විසඳුම ඉදිරිපත් කරන්නේ ද කාන්තාව ම ය.
‘‘පිඟාන නම් ප්‍රශ්නෙ... මං නං අමුත්තා මං මුලින් කාල පස්සෙ පිඟාන ඔයාට දෙනව. එහෙමත් නැත්තං අධිපතිවාදිව හිතල, මං තමයි ගෘහ මූලිකය, ම්ම්ම් මං තමයි ශක්තිවන්ත පිරිමිය, මේ මගේ ගේ, මේ ඉව්වෙ මගේ එළවළු මාලු, මං මුලිං කමි කියල කන්නත් පුළුවං.’’ යැයි පවසන කාන්තාව, විප්ලවවාදියාට අපූරු පාඩමක් කියා දෙන්නි ය.
‘‘වෙන...’’
විප්ලවවාදියා තවත් විකල්ප විමසයි.
එවිට කාන්තාව ‘‘එහෙමත් නැත්තං අපි දෙන්නට ම එකම පිඟානෙ කන්නත් පුළුවං. එහෙමත් නැත්නං මට ඔයාට කවන්නත් පුළුවං,’’ යැයි පවසමින් විප්ලවවාදියාට ද බත් කවන්නී ය.
රටක් රාජ්‍යයක් වෙනුවෙන් දිවි කැපකීරීමට වුව ද සූදානම් විප්ලවවාදියාට පිඟාන කෙතරම් විශාල ප්‍රශ්නයක් වී ද, පිඟාන එතරම් ප්‍රශ්නයක් වූ කල රටක ප්‍රශ්න විසඳන්නේ කෙසේ ද යැයි නිර්මාණය නරඹන පිරිසට නොවැටහෙන්නට නොහැකි ය.
වැස්ස දැකීම සහ වැස්ස අසාගෙන සිටීම
විප්ලවවාදියාගේ සංවේදී භාවය සහ කාන්තාවගේ සංවේදී භාවය පිළිබඳ අපූරු අවස්ථාවක් ‘‘MY RED COMRAD’’ සිනමා නිර්මාණය තුළ දිගහැරේ. ඒ, වැස්ස බැලීම නොව වැස්ස ඇසීම පිළිබඳව ය. කාන්තාවට වැස්ස ඇසෙන ආකාරය සහ විප්ලවවාදියාට වැස්ස ඇසෙන ආකාරය අහසට පොළොව සේ පරස්පර ය. මෙහි යථාව තවත් මොහොතක දී තිර රචකයා මෙසේ ප්‍රේක්ෂක මනසට ඇතුළු කරයි.
‘‘අපි දෙන්නගෙම ඔළුවට උඩින් වැටෙන එකම වැස්ස කොහොමද මගේ රෙඩ් කොම්රේඩ්ට මගඇරුණෙ?’’
කාන්තාවගේ මේ පැනයට විප්ලවවාදියා සපයන්නේ සාමාන්‍ය මිනිසකු විසින් සපයනු ලබන ඇතැයි විශ්වාස කළ හැකි ආකාරයේ පිළිතුරකි.
‘‘මං වැස්ස දැකල තිබ්බට වැස්ස අහල තිබ්බෙ නෑ.’’
කන්තාව, විප්ලවවාදියාගේ මෙම පිළිතුර හරහා ම යළිත් ඔහුව ප්‍රශ්න කරන්නී ය; ප්‍රශ්නයක පටලවන්නී ය.
‘‘ඒක තමයි ලංකාවෙ විප්ලවේ උණේ නැත්තෙ.’’
කාන්තාවගේ ප්‍රකාශය සවන වැටෙන සැණින් විප්ලවවාදියා අන්ද මන්ද වන්නේ ය; අන්ද මන්ද වීමෙන් නතර නොවී ඔහු නොදන්නා දෑ විමසයි
‘‘විප්ලවයයි වැස්සයි අතර තියෙන සම්බන්ධෙ මොකක් ද?’’
සුදත් මේ සෑම දෙබසක් හරහාම ප්‍රශ්න කරන්නේ විප්ලවවාදියාගේ දුර්වලතාව පමණක් ම නොව සමස්ත විප්ලවවාදින් තුළම පවත්නා දුර්වලතා නොවන්නේ ද...? එය වඩාත් පැහැදිලි වන්නේ කාන්තාව සපයන පිළිතුරිනි.
‘‘විප්ලවය වෙන්න ඕන මහ පොළොව උඩ නෙවෙයි...’’
කාන්තාව ඍජුවම ප්‍රකාශ කරන්නී ය. එය වටහා නොගන්නා විප්ලවවාදියා යළි කාන්තාවගෙන් ප්‍රශ්න කරයි.
‘‘එහෙනං...! කොහෙද... ආ...?’’
විප්ලවවාදියා යළි විමසයි.
‘‘විප්ලවය වෙන්ඩ ඕන මහපොළොව උඩ නෙවෙයි... මිනිස්සුන්ගෙ පපු කුහර ඇතුළෙ...’’
විප්ලවවාදියාගේ නොදන්නා බව සහ ලංකාවේ විප්ලවය සිදු නොවූයේ ඇයි ද යන්න පිළිබඳ යථාර්ථය කාන්තාවගේ මෙම පිළිතුර තුළ සැඟව නොපවතින්නේ ද...? ඉදින් සුදත්ගේ කැමරාවට අසු වූ රූප රාමු අභිභවන සමාජ යථාර්ථයක් මෙම දෙබස් කණ්ඩ තුළ අන්තර්ගත නොවන්නේ ද...?
කම්කරු ප්‍රජාවට කම්කරු දිනයක් වුවමනා ඇයි...?
මැයි පළමු වන දිනය සහ කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමස්ත වාමාංශිකයන්ගේ මතු නොව දක්ශිණාංෂික යැයි හැඳින්වෙන දේශපාලන කණ්ඩායම් වෙත සදය උපහාසයක් එල්ල කරන්නට තිර රචකයා සමත් වී ඇත.
‘‘ඇයි මැයි පළවෙනිද කම්කරුවන්ගෙ දිනේ වුණේ...?’’
මෙලෙස විමසන්නී කාන්තාව ය.
‘‘කම්කරුවො පැය අටක සේවා කාලයක් ඉල්ලල වීදි බැස්ස, සටන් කළා.’’
ඒ විප්ලවවාදියාගේ සාම්ප්‍රදායික පිළිතුරයි. කාන්තාව විසින් ඔහුගේ පිළිතුර මෙලෙස යළි ප්‍රශ්න කරනු ලබන්නී ය.
‘‘ඇයි කම්කරුවො පැය අටක සේවා කාලයක් ඉල්ලුවෙ...?’’
‘‘ඔවුන්ට පැය දහයක් දොළහක් අතිකාල වැඩ කරන්න වෙච්ච අසාධාරණ ක්‍රමයට එරෙහිව.’’
විප්ලවවාදියා යළිත් සපයන්නේ සාම්ප්‍රදායික පිළිතුරක් ම ය. එහි රහස කුමක් ද යන්න කාන්තාව අවබෝධ කර දෙන්න්නී ය.
‘‘අන්න මගේ රෙඩ්කොම්රේඩ්ට මගඇරුණ කතාව.’’
කාන්තාවගේ ප්‍රකාශයට පිළිතුරු දෙනවා වෙනුවට විප්ලවවාදියා ෂේප් න්‍යායක් අනුගමනය කරන ආකාරය තිර රචකයා ඉතා මැනවින් සටහන් කර ඇත.
‘‘කියන්නකො බලන්න... මම නොදන්න... ඔයා දන්න කම්කරුවන්ට තියෙන ප්‍රශ්න මොනවද කියල.’’ යැයි විප්ලවවාදියා විමසන්නේ උපහාසාත්මක ස්වරයෙනි. එහි අන්තර්ගතව පවතින්නේ කුමක් ද...? එහි අන්තර්ගතව පවතින්නේ ‘ගණිකා නිවාසයක හරි SPA එකක හරි වැඩ කරන ගැනියෙක් මට වැඩිය කම්කරු ප්‍රශ්න ගැන දන්නෙ මොනවද...?’ බඳු ප්‍රකාශයක් නොවන්නේ ද...? නමුදු විප්ලවවාදියා, කාන්තාව සැපයූ පිළිතුරෙ නිරුත්තර වන්නේ ය; එහෙත් අතුරු පැණයක් නගන්නේ ය. එම පැනයට ද කාන්තාව දීර්ඝ පිළිතුරක් සපයන්නී ය.
‘‘හෝව්... හෝව්... හෝව්... ඒක කම්කරුවන්ගෙ ප්‍රශ්නයක් විතකරක් නෙමෙයි... ඒක හැම පුරවැසියෙක්ට ම තියෙන ප්‍රශ්නයක්. අපි හැම මිනිහෙක්ට ම අයිතියක් තියෙනව: තමන් කැමති සිංදුවක් අහන්න, චිත්‍රපටියක් බලන්න, නාට්‍යයක් බලන්න, පොතක් පතක් කියවන්න, හිතන්න, තමන්ගෙ පවුලෙ අයත් එක්ක ඉන්න. සරලව කිව්වොත් ජීවිතේ සැබෑ අර්ථය සොයාගන්න. වෙන විදියකට කිව්වොත්... සංස්කෘතික මිනිහෙක් වෙන්න තියෙන කාලය, වෙලාව අහිමි වීම වෙනුවෙන් තමයි කම්කරුවො පාරට බැස්සෙ.’’
අනතුරුව විප්ලවාදියාට පැන නැගෙන ප්‍රහ්නය වන්නේ ‘සංස්කෘතික මිනාසා’ යනු කවුද යන්න ය.
‘‘සංස්කෘතික මිනිහෙක්...!’’
විප්ලවවාදියාගේ සාම්ප්‍රදායිකත්වයට කාන්තාව මෙලෙස අභියෝග කරන්නී ය.
‘‘ඔවු... සංස්කෘතික මිනිහෙක්... අපි අපිත් එක්කයි... අපි... අපේ අනික එක්කයි තියෙන සම්බන්දෙ විතරක් පරිස්සම් කරන්න ගියොත් අපිට මේ පරිසරත් එක්ක තියෙන ආදර සම්බන්දෙ නැති වෙනව. එතකොට අපිට වැස්ස මගඇරෙනව. අන්න එහෙම තමයි මගෙ තාත්ත මට වැස්ස ගැන කියල දුන්නෙ.’’
මේ විප්ලවාදින් නොසිතන, නොදකින ඉමක් නොවන්නේ ද...? තමන් නොදන්නා ඉම පිළිබඳ දැනගැනීමේ වුවමනාවක් ද විප්ලවවාදින් සතුව නොපවතින බව ඊළඟ රූප රාමු සහ දෙබස් සාක්ෂි දරයි. ඒ, යළි විදුලිය විසන්ධි වීමෙන් අනතුරුව ය. ඒ මොහොතේ විප්ලවවාදියා මතු දැක්වෙන වදන් භාවිත කරන්නේ ද උපහාසයට මෙනි.
‘‘සංස්කෘතික මිනිහෙක් අඳුරෙ ම නැති වෙලා ගියා.’’
එය කෙතරම් උපහාසාත්මක ප්‍රකාශයක් වුව ද ඊට නොබියව පිළිතුරු සපයන කාන්තාව ‘‘සංස්කෘතික මිනිහෙක් අපේ ජීවිතවලට ඕන වෙන්නෙම මේ වගේ අඳුරු කාලවලදි තමයි. විශේෂයෙන් ම මේ වගේ කාලවලදි.’’
ඇය පවසන ‘‘මේ වගේ අඳුරු කාල’’ එසේත් නොමැති නම් ‘‘විශේෂයෙන් ම මේ වගේ කාලවලදි’’ යන්න මේ ලක් දෙරණ තුළ අවලංගු වන දිනයක් නම් ඇතයි සිතිය නොහැකි තරම් ය. මන්ද අපි දන්නා කාලයේ සිට ම මේ ‘‘මේ වගේ අඳුරු කාල’’ එසේත් නොමැති නම් ‘‘විශේෂයෙන් ම මේ වගේ කාල’’ පැවතිණ; දැනුදු පවතී; අනාගතයේ නොපවතිනු ඇතැයි විශ්වාස කළ නොහැකි ය.
එක් නිමේෂයක විප්ලවවාදියා කාන්තාවගෙන් මෙසේ විමසයි.
‘‘ගින්දරත් එක්ක සෙල්ලං කරන්න ආසයි වගේ.’’
කාන්තාව මෙලෙස පිළිතුරු සපයන්නී ය.
‘‘අපි ගින්දරත් එක්ක ජීවත්වෙන කොට දන්නෙම නැතුව අපි ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න පුරුදු වෙනව.’’
සැබැවින් ම සිදුව පවතින්නේ එය ම නොවන්නේ ද...? පාලක පෙළැන්තියට අවශ්‍ය වී තිබෙන්නේ ද එවන් තත්ත්වයක් නොවේ ද...? එනම් ‘අනුගත කිරීම’ නොවන්නේ ද...? ඉදින් සුගත් විදාරණය කරන්නේ මේ සමාජ යථාර්ථය ම නොවන්නේ ද..?
කාන්තාවට පිළිතුරු සපයනවා වෙනුවට විප්ලවාදියා ‘‘හම්ම්ම්... බලාගෙන.’’ යැයි පවසමින් අඳා මාළු න්‍යාය භාවිත කරන්නේ සිනමා නිර්මාණය තුළ පමණක් ම ද...? යථා ලෝකයේ තත්ත්වයත් මෙය ම නොවන්නේ ද?
මතු දැක්වෙන දෙබස් කණ්ඩය තුළ සැඟව පත්නා සමාජ යථාර්ථය කෙතරම් බියකරු ද සහ කෙතරම් සත්‍ය දැයි සිතා බලන්න.
කොම්රේඩ් - ඇත්තට ම කොයි වෘකය ද දිනන්නෙ. සීය හරි අපූරු උත්තරයක් දෙනව මිනිබිරියට.
කාන්තාව - මොකක්ද සීය දෙන උත්තරේ ..?
කොම්රේඩ් - මොකක් වෙන්න පුළුවන් ද...?
කාන්තාව - ම්ම්ම් හම්හ්...
කොම්රේඩ් - අපි කන්න දෙන, අපි නඩත්තු කරන වෘකය තමයි දිනන්නෙ.
කාන්තාව - හම්ම්ම... අපි කන්න දෙන..., අපි නඩත්තු කරන... වෘකය තමයි දිනන්නෙ. ඒක හරි ලස්සන කතාවක් නෙ...
කොම්රේඩ් - හම්ම්ම්...
කාන්තාව - අපිට හිතන්න ගැඹුරු දෙයක් ඉතුරු කරල තියෙනව. අපි උපතින් එනකොට වෘකයෙක් අරන් එන්නෑනෙ... එහෙනං... වෘකය කොහොමද අපේ ඇඟ ඇතුළට එන්නෙ...?
කොම්රේඩ් - ඇත්තට ම වෘකය කොහොමද අපේ ඇතුළට පනින්නෙ...
කාන්තාව - පුංචි කාලෙ ඉස්කෝලෙදි වෘකය අපේ ඇඟ ඇතුළට පනින්න පුළුවං. එතකොට... අපි දන්නෙම නැතුව පන්සලේදි, පල්ලියේදි, කෝවිලකදි ඒ වගේ ආගමික ස්ථානවලදි වෘකයා අපේ ඇඟ ඇතුළට පනින්න පුළුවන්. ගෙදර ටෙලිවිෂන් එකෙන්, රේඩියෝ එකෙන්, අපි බලන පත්තරවලින් උනත් පනින්න පුළුවං.
කොම්රේඩ් - ඔවු... හරි... එතකොට... අපි... අපි කන්න දෙන වෘකය කවුද...? අපි නඩත්තු කරන වෘකය කවුද...? අපි පරාජය කරන්න ඕන වෘකය කවුද කියල කොහොමද අපි දැනගන්නෙ...?
කාන්තාව - ඔන්න ඕකට තමයි කලාව හා කලා කෘති අපේ ජීවිතේට ඕන වෙන්නෙ... නිකං හිතන්නකො... හොඳ කවියකට... නාට්‍යයකට... චිත්‍රෙකට... ඒ වගේ ඕනෙම මාධ්‍යයක ගැඹුරු කලා නිර්මාණෙකට පුළුවං අපි ජීවත් කරන්න ඕනෙ වෘකය කවුද... අපි පරාජය කරන්න ඕන වෘකය කවුද කියල අපිට අවබෝධ කරල දෙන්නෙ... නිකමට හිතන්නකො... අපි සරලව ගත්තොත්: අව්වට, වැස්සට, සතා සිවුපාවට, පරිසරයට ආදරේ කරන මිනිහෙක්... සංස්කෘතික මිනිහෙක් හදන්න.
කොම්රේඩ් - සංස්කෘතිය කියන්නෙ ඉතිහාසය නෙ...
කාන්තාව - මං සංස්කෘතිය කියන්නෙ වර්තමානයට... අතීතය වෙලා ඉවරයි නෙ... ඒක ආයි වෙනස් කරන්න බෑ. හැබැයි වර්තමානෙට පුළුවං අනාගතේ වෙනස් කරන්න. මං සංස්කාතිය කියන්නෙ... මේ මොහොතෙ මං දකින හීනෙට... අපි අනාගතේදි හැබැ කරගන්න යන ලෝකෙ අද දකින හීනෙ ඇතුළෙ තමයි තියෙන්නෙ. හැබැයි ඒ හීනෙ ගොඩාක් ලස්සන නෑ. දන්නව ද... හීන දකින්න බැරි මිනිස්සු දුප්පත්. අලුත් හීන දකින්න බැරි මිනිස්සු ඉන්න රටක් ගෙඩාක් දුප්පත්. සංස්කෘතික මිහෙක්ට විතරයි පුළුවං: අලුත් හීන හදන්න... අලුත් හීන හොයන්න... අලුත් හීන දකින්න.
මේ සමස්ත දෙබස් කණ්ඩ තුළම අන්තර්ගත වන්නේ මිනිසාට අලුතින් සිතන්නට පුරුදු කිරීම යන්න මගේ වැටහීම ය. එය කළ හැකිවන්නේ කලාවේ නියැළි පුද්ගලයන්ට පමණක් ය යන්න ද මගේ විශ්වාසය යි. එම විශ්වාසය සුදත් තහවුරු කර ඇත. අවසන විප්ලවවාදියා යම් නම්‍යශිලි භාවයක් පෙන්නුම් කරන්නේ මෙලෙසිනි.
‘‘අපි හීන දැකපු එවුන්ව මරල හීන නැති රටක් හදල තියෙනව. උංගෙ අතින් වැටිච්ච හීනෙට පණ දෙන්න ඒ හීනෙ බාර දෙන්න පුළුංවං කෙනෙක් හම්බ වෙනකන් මං ඒ හීනෙ පරිස්සං කරනව.’’සැබැවින් ම වර්තමානයේ පීඩිත පංතියේ මිනිසාට මතු නොව පීඩක පංතියේ මිනිසාට පවා තම තමන්ගේ සිහින පරිස්සම් කරගැනීමට බල කර ඇත.
දිගු කාලයක් පුරා පාලක පෙළැන්තියේ අවශ්‍යතාව වෙනුවෙන් ම පවත්වාගෙන එන ත්‍රස්ත පනත පිළිබඳව කදිම ඉඟියක් මෙම නිර්මාණයේ එක් නිමේෂයක මුණ ගැසේ. මතු දැක්වෙන්නේ එම අවස්ථාව ය.
කොම්රේඩ් - මාව අත්අඩංගුවට ගන්නෙ ත්‍රස්ත පනත යටතෙ.
කාන්තාව - මාව අත්අඩංගුවට ගන්නෙත් ත්‍රස්ත පනත යටතෙ.
කොම්රේඩ් - ඒ කොහොම ද...?
කාන්තාව - මං ආපු ගමං කිව්වෙ බොරුවක්.
කොම්රේඩ් - බොරුවක්...!
කාන්තාව - මං ඇත්ත කිව්ව නං ඒ ඇත්ත පිළිගන්න පුළුවං කෙනෙක් මේ වහල යට ඉඳියි කියල මං දැනං හිටියෙ නෑ. මං... මං ප්‍රෆෝමින් ආර්ටිස්ට් කෙනෙක්... විදි නාට්‍ය කණ්ඩායමක නිළියක්... ෂෝසල් ඇක්ටිව්ස් කෙනෙක්... මට මූණු ගොඩක් තියෙනව. ඒ හින්දම මං වැරැදි ගොඩක් කරල තියෙනව. අපි දෙන්න ම පාරවල් දෙකකිං යන්නෙ එක ම තැනට.
පාලකයන්ගේ ගැලවීම සඳහා; පැවැත්ම සඳහා ම සම්මත කරන පනත් යනු හුදෙක් අවි දරන විප්ලවවාදින්ට පමණක් ම සීමා වන අණ පනත් නොවන බව මෙයින් පැහැදිලි නොවන්නේ ද...?
දැන් යළිත් සිනමා නිර්මාණයේ ආරම්භයට මඳක් යමු. එහි දී මේ විප්ලවවාදියා කාන්තාව තම අසුනේ අසුන් ගත්තා යැයි පරල වු ආකාරය මා යට සදහන් කර ඇත. ඔහු මෙම කාන්තාව ඔහුගේ අසුනේ අසුන්ගන්වන්නේ ඇය ද යම් තරමකට හෝ විප්ලවවාදියාගේ සමාජ මට්ටමට ගැළපේ යැයි අනුමාන කළ මොහොතේ සිට ය. එය බරපතළ දේශපාලන වයංගාර්ථයකි; සංකේතාත්මක ව්‍යංගාර්ථයකි. එහෙත් අවසන සිදුවන්නේ කුමක් ද...?
‘‘ඔන්න... මං එක්කෙනෙක්ව නං බේරුවා... ඕගොල්ලොත් පුළුවංනං බේරෙන්න...’’
යට සඳහන් කෙරුණේ විප්ලවවාදියා අත්අඩංගුවට පත්වීමට ආසන්න ම නිමේෂයේ කාන්තාව සිය ස්ත්‍රීත්වයේ විවිධාකාර වූ ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් විප්ලවවාදියා අත් අඩංගුවට ගැනීමේ තැත ව්‍යර්ථ කළ පසු ඇය පවසන දෙබස් කණ්ඩයයි. මෙම දෙබස් කණ්ඩය තුළ පැරණි, එහෙත් කිසිදා අවලංගු නොවන කියමනක් සැඟව පවතී. එනම් ‘‘කුකුළු බෙට්ටත් බෙහෙතකට වුවමනා වෙනවා’’ යන්න ය.
සැ. යු. - කෘති ද්විත්වයෙන් උපුටා ගත් කොටස්හි අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් එම කෘතිවල අන්තර්ගත පරිදි ම ය.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/04/07
සබැඳි ලිපි :
My Red Comrade සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක් - (සරෝජ් පතිරණ)
දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක - (චින්තන ධර්මදාස)
MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)
MY RED COMRADE : වම පිළිබඳ වඩා බරපතළ සංවාදයකට නිමිත්තක් - (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන)
MY RED COMRADE : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි - (හිනිදුම සෙනවි)