leader s

සාමාන්‍ය මිල සූත්‍රය ඉක්මවා ප්‍රකාශකයින්ට බලපෑම් කරමින්, වැඩි කළ ලාභය තමන් සතු කරගන්නා ජනප්‍රිය ලේඛකයන්ගේ කූට ක්‍රියාවලියක් හෙළිදරව් වෙයි.


පාඨකයන් සූරා කන ලේඛකයෝ

පොත්වල මිල ගණන් ඉහළ යන්න ගත්තෙ කොවිඩ් සමයෙන් පස්සෙ සහ රට අර්බුදයට ලක් වුණාට පස්සෙ. එච්චර කල් විටින් විට පොත්වල මිල ඉහළ ගියත් ඒ ඉහළ යෑම අනෙක් භාණ්ඩවලට සාපේක්ෂව බැලුවොත් තිබුණෙ අවම මට්ටමක.

මේ විදියට පොත් මිල ඉහළ යෑමට බලපාපු කරුණු බොහොමයක් තිබුණා සහ තියෙනවා. ඒ බොහොමයක් සාධාරණ හේතු. හැබැයි මට මේ වතාවෙ නම් අප්‍රසන්න ම ආරංචියක් ආවා. ඒක හරිම අප්‍රසන්න විතරක් නෙවෙයි අමානුෂිකයි.

පිටු ප්‍රමාණය එකයි; මිල ගණන් දෙකක්…?

 

image 78863909e9

ඔයාල දන්නව අපේ රටේ විවිධාකාරයෙන් ජනප්‍රියත්වයට පත්වුණ ලේඛක ලේඛිකාවො ඉන්නවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද නළු නිළියො, ගායක ගායිකාවො වගේ ම ලේඛක ලේඛිකාවොත් ජනප්‍රිය වෙනවා නම් මම පුද්ගලිකව කැමතියි; මම හිතනවා පාඨකයොත් ඒකට කැමති ඇති කියල. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එතන නෙවෙයි; මේ ජනප්‍රිය ලේඛක ලේඛිකාවො තමන් ගෙ ජනප්‍රියභාවය අවභාවිත කරමින් පාඨකයින් සූරාගෙන කෑම.

එකම පිටු ප්‍රමාණයක පොත් දෙකක් ප්‍රකාශන ආයතන දෙකක මිල ගණන් වෙනස් විදියට සඳහන් කරල තිබුණෙ ඇයි කියල FB එකේ කවුරු හරි ලියල තියෙනව මම දැක්කා. මේකට සාධාරණ හේතු තිබෙනවා. එක හේතුවක් තමයි පිටපත් ප්‍රමාණයේ වෙනස. මේක පොත් කර්මාන්තයේ ඉන්න බොහෝ දෙනෙක් දන්න කාරණයක්. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි කරන්න වුවමනා නැහැ කියල මම හිතනවා.

අනෙක් කාණය තමයි සමහර පොත්වල ඇතුළත ඡායාරූප වර්ණවත් වීම සහ එසේ වර්ණ ඡායාරූප ආර්ට් පේපර් කියන විශේෂ කඩදාසියේ මුද්‍රණය කර තිබීම. එහෙම වුනොත් ආයතන දෙකකින් ප්‍රකාශයට පත් කරන පිටු 300ක පොත් දෙකක මිල ගණන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සඳහන් කරන්න යන කරුණ ඊට වඩා හාත්පසින් ම වෙනස්.

පොත් මිල සූත්‍රය

ඒක මෙන්න මෙහෙමයි. ඇතැම් ජනප්‍රිය ලේඛකයො (ලේඛිකාවො ගැන එහෙම නිල තොරතුරක් ලැබුණෙ නැති නිසා ලේඛකයො යනුවෙන් සඳහන් කරනවා) ප්‍රකාශන ආයතනය විසින් නියම කරනු ලබන මිල ගණන් ඉක්මවා යන මිලක් පොතට නියම කරන ලෙස අදාළ ප්‍රකාශන ආයතනයට බලපැම් කරනවා.

සාමාන්‍යයෙන් ලංකාවේ පොතක වෙළඳ පොළ මිල නියම කරන සූත්‍රයක් පවතිනවා. ඒ තමයි පොතකට වියදම් වන සම්පූර්ණ මුදල තුනෙන් වැඩි කර ඒ එන මුදල් වටිනාකම පොතේ මිල ලෙස සඳහන් කිරිම. මම දැක්කා පසුගිය දිනක මෙය හතර ගුණයකින් වැඩි කරනවා කියල කෙනෙක් ලියල තියෙනවා. ඒක කොච්චර දුරට ඇත්ත ද කියන්න නම් මම දන්නෙ නැහැ. කාලාන්තරයක් තිස්සේ මේ කර්මාන්තයේ ඉන්න බොහෝ පිරිස් ඇසුරු කරන කෙනෙක් විදියට මම නම් දන්නෙ පොතක මිල නියම කරන්නෙ වියදම තුනෙන් වැඩි කරල එන අගයට සාපේක්ෂව කියල.

පොත් මිල සූත්‍රය සාධාරණ ද…?

 

books 2983324
ඒක අසාධාරණයි කියල මම කියන්නෙ නැහැ. මොකද පොත් වෙළඳ පොළෙහි පොතක් තොග අලෙවි කරද්දි ඒ පොත ලබාගන්නා ප්‍රකාශන ආයතනයට 40%ක කොමිස් මුදලක් ලබා දිය යුතු නිසා. ඒකත් අසාධාරණයි කියල මට කියන්න බැහැ. මොකද සමස්තයක් විදියට ගත්තම පොත කියන භාණ්ඩය: හාල්, පොල්, සීනි හෝ කරවල වගේ ඉතා සීඝ්‍රයෙන් අලෙවි නොවන භාණ්ඩයක් නිසා.

එහෙම නම් මම මේ කියන්න හදන්නෙ මොකක් ද කියල දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඔවු… මේ වෙද්දි ඒ සිද්ධිය වෙන්නෙ මෙහෙමයි.

මම අර කලින් සඳහන් කරපු කල්ලියට අයත් ලේඛකයො තමන්ගෙ පොතට මිල නියම කිරීම. එතනදි ප්‍රකාශන ආයතනයටත් වගකීමක් තියෙනවා. නමුත් ඔවුන් මේන්න මේ කියන ජනප්‍රිය ලේඛකයො තමන් ගෙ ප්‍රකාශන ආයතනය අතහැරල යයි කියන බයට ඒ කොන්දේසිවලට එකඟ වෙනවා.

එකට එකක් ලාබයි ද…?

අපි හිතමු කිසියම් පොතකින් පිටපත් දහසක් මුද්‍රණය කරන්න (පරිගණක අකුරු ඇමිණීමේ සිට පොතක් ලෙස අතට ලැබෙන තුරු) ලක්ෂ එකහමාරක් වියදම් වුණා කියල. එතකොට එක පොතකට වැය වුණ මුදල රුපියල් 150යි නෙ. එහෙම වුනොත් සාමාන්‍යයෙන් අර කියපු සූත්‍රය අනුව ඒ පොත මිල කරන්නෙ රුපියල් 450කට.

පොත් සාප්පුවකට 40% වට්ටම් දුන්නම පොතට ලැබෙන්නෙ 270 යි. මේ 270න් තමයි කර්තෘට එක පොතකට රුපියල් 45ක් වෙන් කරන් ඔ්නෙ. මොකද පොතේ මිල රුපියල් 450ක් නිසා. එතකොට ප්‍රකාශන ආයතනයට එක පොතකින් අතට ඉතිරි වෙන්නෙ රුපියල් 225යි. එතනින් 150ක් අඩු කරාම ඉතිරි වෙන්නෙ රුපියල් 75යි; ඒ කියන්නෙ ලාබය රුපියල් 75යි.

දැන් ඔන්න කාට හරි කියන්න පුළුවන් 'අම්මටසිරි එකකට එකක් ලාබයි නෙ කියල. නෑ එහෙම නෑ. මොකද මේ පොත මුද්‍රණයට බාරගත්ත මොහොතේ සිට අවසානයේ පොත බෙදාහැර, අලෙවි වී/ කර අතට මුදල් ලැබෙන තුරු තවත් වියදමක් යනවා. ඒ නිසා ඒ රුපියල් 75ම ප්‍රකාශකයාට යන්නෙ නැහැ. මේක තමයි යථාර්ථය.

ලේඛකයා ගේ මැදිහත්වීම

 

writer 9w83
දැන් මම නැවතත් එන්නම් මෙතනට ලේඛකයා හෝ ලේඛිකාව මැදිහත් වෙලා පාඨකයා ගසාකන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න. අර මම කලින් සදහන් කළ ආකාරයට මේ ලේඛකයා හෝ ලේඛිකාව මැදිහත් වෙලා ප්‍රකාශන ආයතනයට බල කරනවා පොතේ මිල රුපියල් 500ක් කරන්න කියල. ඊට පස්සෙ ඔහු හෝ ඇය අර වැඩි කරපු රුපියල් පනහ ම තමන් ගෙ බැංකු ගිණුමට බැර කරනවා. අවසානෙ දි සිද්ධ වෙන්නෙ පාඨකයා ගේ මුදල් පසුම්බියට හිස් වෙන එක.

මේ කාරණාව මට කිව්වෙ ප්‍රකාශන ආයතනයක ම සේවයෙහි නියුතු පුද්ගලයෙක්. මේ වෙද්දි එක ආයතනයක නෙවෙයි… ආයතන කිහිපයක ම මේ අසාධාරණය සිද්ධ වෙනවා. ඉතිං හිතන්නකො… කතුවරයා හෝ කතුවරිය ප්‍රකාශන ආයතනයෙන් නිල වශයෙන් ම රුපියල් 45ක් ලබා ගන්නා අතර ම පාඨකයාගෙන් රුපියල් පනහක් සුරා කනවා. ඉතිං අපි තව දුරටත් මෙබඳු ලේඛක ලේඛිකාවන් ගෙ පොත් මිලදී ගත යුතු ද…?

දැන් ඔයාල අහන්න පුළුවන් ඒ ලේඛක ලේඛිකාවො කවුද කියල; ඒක නම් මට ලියන්න බැහැ. මොකද මේ ප්‍රකාශන ආයතන කිහිපයක් ම අදාළ තොරතුරු දුන්නෙ මා කෙරෙහි විශ්වාසයක් ඇතුව; ඒ විශ්වාසය බිඳින්න මට බැහැ. ඒ නිසා ඔයාල පොත් මිලදී ගද්දි ටිකක් හිතන්න… අසවල් ආයතනයෙ මේ පිටු ප්‍රමාණයේ පොතක් මේ මිල, අනෙක් ප්‍රකාශන ආයතනයේ මේ මිල මොකද කියල එහෙම නම් මෙතන මොකක් හරි අවුලක් තියෙනව නේද කියල. එතනින් එහාට කරන්න ඕනේ මොනවද කියල ඔයාල ම තීරණය කරන්න; මම කරේ මේ තිත්ත ඇත්ත ඔයාලට පැහැදිලි කරපු එක; අවසාන තීරණය පාඨක ඔබේ අතේ.

(සටහන - බුද්ධික ගයාෂාන්)

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil