leader s

දශක ගණනාවක් නොසලකා හැරුණු මාරක කතා චක්‍රවර්තී ඩීමන් ආනන්ද උදෙසා තිලක් සේනාසිංහයන්ගේ නවතම ගවේෂණාත්මක කෘතිය පිළිගැන්වූ සංවේදී අවස්ථාව.


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඉදිරිපත් කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ දිනවල විසි හත්වන වරටත් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී පැවැත්වේ.

ඒ සැප්තැම්බරයට යෙදෙන සාහිත්‍ය මාසය මුල් කර ගනිමින්. මෙහිදී විවිධ විෂයන් යටතේ වර්තමානයේ එළිදකින කෘතීන් සහ ඒවායේ කතුවරුන් විවිධ සම්මානයනට හා ගෞරව බහුමානයන්ට ලක්වීම සිදුවේ. එහෙත් ඒ අතරේ නූතන සිංහල සාහිත්‍ය වංශ කතාවේ පොත් දහසකටත් වැඩි ප්‍රමාණයක් ලියා පළ කළ අසමසම ලේඛකයකුගේ නාමය මෙදා තුරු සාහිත්‍ය මාසය තුළ සේම වසරේ සෙසු මාස එකොළහ තුළ ද සැඟව පවතී. එහෙත් ඒ සම්බන්ධ සාතිශය ඛේදනීය තත්වයක් ද තිබේ.

ඒ 1960 - 1980 දශක තෙක් වන කාල පරාසය තුළ දහසකුත් ඉක්මවන ඔහුගේ කෘතීන්හි පිටපත් ලක්ෂ ගණනක් මෙරට සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබීමය. ඒ මෙරට පුංචි මිනිසුන් ලෙස හැඳින්වෙන නිර්ප්‍රභූ (Subaltern) ජනතාව අතර වීම ද සුවිශේෂත්වයකි.

නිර්ප්‍රභූ සාහිත්‍යයේ පුරෝගාමියා සහ පල්ප් ප්‍රබන්ධ

 

ප්‍රණීත් අභයසුන්දර
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් පවසා සිටියේ සිංහල නිර්ප්‍රභූ සාහිත්‍යයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඩීමන් ආනන්ද වෙතින් සිදුවූ සුවිශේෂ දායකත්වය සිංහල සාහිත්‍ය වංශ කතාවෙන් කෙසේවත් අමතක කළ නොහැකි බවකි.

ඩීමන් ආනන්දඑමෙන්ම ලෝක සාහිත්‍යකරණයේ විප්ලවීය මෙහෙවරක් සිදුකොට ඇති අඩු මිල කඩදාසිවලින් මුද්‍රණය කොට අඩු මිලට ලබා දෙන පල්ප් ප්‍රබන්ධ (Pulp Fiction) නම් ග්‍රන්ථ ප්‍රවර්ගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ පුරෝගාමීත්වය හිමිවනුයේ ද මෙම සුවිශේෂ ලේඛකයා හටය. ඔහු පසුකාලීනව ලේඛක වෘත්තියෙන් බැහැරව මෙත් කටයුතු ආදියේ යෙදී සිට 2017 වසරේ දී සිය ජීවිතයේ අසූ හතර වන වියේ දී මෙලොවින් සදහටම සමුගත් ඔහු "මාරක කතා චක්‍රවර්තී" යන පොදු ජන අභිධානයෙන් පිදුම් ලත් ‘ඩීමන් ආනන්ද සූරීන් ය’.

මෙරට සාමාන්‍ය ජනතාව අතරේ අතිශය ජනප්‍රියත්වයට පත් වුව ද උගත්, බුද්ධිමත්, විදග්ධ ආදී වශයෙන් හැඳින්වෙන සුළුතරයක් විසින් නිරතුරුවම සිදුකරන ලද අතිශය අකාරුණිකකම් නිසා මේ වන විට මුළුමනින්ම පාහේ සමාජයීය අවතැන් ස්වභාවයකට පත්ව හිඳින එම අසහාය ගත්කරුවාණන්ගේ නාමය උදෙසා වූ සුවිශේෂ සම්භාවනාවක් ඉකුත් සැප්තැම්බර් 27 දා කොළඹ ජාත්‍‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රය තුළ සිදුවීමෙන් ඉහත සඳහන් ඛේදනීය තත්වයේ කිසියම් වෙනසක් සිදුව තිබේ.

තිලක් සේනාසිංහගෙන් උපහාරයක් ලෙස පිදුණු නව කෘතිය

ඒ අප සමාජයේ ජන විශ්වාස සම්බන්ධ මුල් පෙළේ ගවේෂකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ විසින් ලියන ලද නවතම ගවේෂණාත්මක කෘතිය වන ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්දගේ නාමය උදෙසා පුද දීමය. ඒ සඳහා වන හේතු පාඨය ලෙස ඔහු ඉදිරිපත් කොට ඇත්තේ කුඩා කල සිට තමන් තුළ පැවැති ගුප්ත විශ්වාස මත ඇති වූ කුතුහලය මුල් කොට ගත් භීතිය තුරන් කොට එම කුතුහලය ලුහුබැඳ යාමේ ආනන්දනීය ආශ්වාදයක් මාරක කතා ගොන්න මඟින් තිළිණ කිරීම උදෙසා තම ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ කෘතිය මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්දගේ නාමයට පිදෙන බවකි.


අප ජන සමාජයේ පවතින ගුප්ත විශ්වාස ලුහුබැඳ යාමේ සුවිශේෂ හැකියාවක් පිළිබිඹු කරන සාම්ප්‍රදායිකත්වය ඉක්ම වූ නිදහස් චින්තනයක් හිමි තිලක් සේනාසිංහ මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද වෙත පිළිගැන්වූ මෙම කෘතිය සංකේතාත්මකව ප්‍රදානය කරන ලද්දේ ඔහුගේ එකම දියණිය වන ‘වරුණි ෂර්මිලා ආනන්ද’ වෙතය.

දියණිය වරුණි ෂර්මිලා ආනන්ද සංවේදී වෙයි 

වරුණි ෂර්මිලා ආනන්ද
එහිදී එම කෘතියේ පළමු පිටපත කතුවරයා වෙතින් හිමිකරගත් ඇය සභාව අමතමින් මෙසේ කීවාය.

“අපේ තාත්තා හිටිය නම් තමයි මේ අවස්ථාවේ ගොඩක් වටින්නේ. තාත්තාට මෙහෙම සාහිත්‍ය උත්සවයකට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ මටයි. අපේ තාත්තා අපිව ලේඛන කලාවට යොමු කළේ නැත්තේත් ඒක හරි අමාරු දෙයක්, ඒක අපිට දරා ගන්න බැහැ කියලා. ඒ නිසා මම මේකට සහභාගි වෙන්න නැතුව ඉන්න හදනකොට තිලක් සේනාසිංහ මහත්තයා තමයි ‘තාත්තා ඔයාට විතරක් අයිති කෙනෙක් නෙමෙයි, ලංකාවටම අයිති කෙනෙක්. ඒක නිසා ඔයා එන්නම ඕන’ කියන අදහස මගේ ඔළුවට දුන්නා. ඊට පස්සේ තමයි මට හිතුණේ මේකට යන්නම ඕන කියලා.”

ඩීමන් ආනන්දගේ දියණිය තුළ එම කෙටි සඳහනේ සංවේදීතම කොටස වනුයේ ලේඛන කලාව දරාගත නොහැකි අසීරු දෙයක් නිසා තම පියා තමන් ඒ මඟට යොමු නොකළ බව පවසා සිටීමය. මෙය ඔහුගේ උතුම් පිය ගුණය විදහා දක්වන්නකි. එමෙන්ම මෙය ඔහුගේ සමකාලීන උගත් බුද්ධිමත් යැයි සම්මත සමාජයෙන් ඔහු ලැබූ නින්දා ගැරවුම් අවමන් කෙණෙහිලි පිළිබඳ මනා සංක්ෂේපයකි.

අතීත මතක ආවර්ජනය සහ විද්වත් දෙසුම්

 

th18සුනිල් කන්නන්ගර
"පැරණි මත ගැන අලුත් දැනුමක්" දොරට වැඩීම මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු වන හිටපු කොළඹ, රත්නපුර, අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර විසිනි. එහිදී ඔහු පවසා සිටියේ කළුතර දිස්ත්‍රික්කයේ ඉඟුරුදළුව නම් පිටිසරබද ගමේ ඉපදී හා හැදීවැඩුණු තමන් කුඩා කාලයේ එම ගම්මානයේ තේ සිල්ලර කඩයක් ඉදිරිපිට එල්ලා තිබූ ඩීමන් ආනන්දගේ පොත් එසේ එල්ලා තිබිය දීම කියැවීමට පුරුදුව සිටි බවකි.

මෙම පොත් ප්‍රදානයේ හේතු පාඨය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නියුතු ජනාධිපති නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සම්බන්ධතා) නීතිඥ චමින්ද පරණමාන විසින් ඉදිරිපත් කරන ලද අතර, ඔහු එහිදී පවසා සිටියේ මෑත යුගයේ සියලු ලේඛක ලේඛිකාවන්ගේ කෘතීන් අගනුවර ගොඩනැගිලි ලෙස සැලකුවහොත් ඩීමන් ආනන්දයන්ගේ පොත් සංඛ්‍යාත්මකව ඒවා අතුරින් නෙළුම් කුළුණ හා සමාන වන බවකි.


මෙම දොරට වැඩීමේ සුවිශේෂාංග ලෙස ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ කෘතියේ අන්තර්ගතයට සමාන්තර විෂයක් වන බලි තොවිල් ශාන්ති කර්ම මඟින් සුවසෙත උදාකර ගත හැකිද? යන මාතෘකාව ඔස්සේ ගාල්ල ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කරාපිටිය) ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සහ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර කෙටි දෙසුම් දෙකක් පවත්වන ලදී.

සම්ප්‍රදායෙන් බැහැර වූ සැමට සමාරාධනයක්


th4
එමෙන්ම මෙම දොරට වැඩීමේ උත්සවයේ තවත් සුවිශේෂත්වයක් වූයේ සම්භාවනීය අමුත්තන් ලෙස කිසිවකුටත් ඒ සඳහා ආරාධනා නොකිරීමත්, පොල්තෙල් පහන දැල්වීම වැනි සාම්ප්‍රදායික සංකේතාත්මක අංග නොතිබීමත්ය. ඒ අනුව මෙය සැමට සමාරාධනා කිරීමෙන් පැමිණි සියලුදෙනා සුවිශේෂ සම්භාවනීය අමුත්තන් සේ සලකන බව මෙහි ස්තුති කතාව කළ ‘පැරණි මත ගැන අලුත් දැනුමක්’ කෘතියේ කර්තෘ තිලක් සේනාසිංහ කීය.

මෙම කෘතිය කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති ‘H 95’ අලෙවි කුටියෙන් විශේෂ වට්ටමක් සහිතව මිලදී ගත හැකි බව එම ප්‍රකාශයට පත් කළ රාජගිරියේ ග්‍රැෆිකෙයා ප්‍රකාශන ආයතනය දන්වා සිටියි.

(සටහන සහ සේයා රූ - සිරිසේන ගමගේ)

 

th8රූමි රූබන්bmich thilak3

උපුටා ගැනීම | විනිවිද වෙබ් අඩවියෙන්

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil