මෙම ලිපියේ සිදුවීම් වලට අදාළ දත්ත මත පදනම් ව ඉදිරිපත් කරන මෙම ගවේෂණාත්මක වාර්තාව ප්‍රසිද්ධ කිරීම ගැන වෛරය බැඳගෙන අප පිටුපස පැන්නීමට වඩා සත්‍යය සොයාගැනීම කාගේත් වගකීම සහ

යුතුකම බව පළමුවෙන් සඳහන් කළ යුතුය. 

මේවා වෙබ් මෙහෙයුම් නොවේ. මේවා සත්‍යය සොයා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි භූමියේ සිදුවූ සිදුවීම් වලට අදාළ අත්හළ නොහැකි තොරතුරුය.

ලසන්ත රුහුණුගේ මහතා මීට පෙර පාස්කු ප්‍රහාරය ගැන මෙම ලේඛකයා විසින් ලියනු ලැබූ ලිපි මාලාවට ඔහුගේ 'අනිද්දා' පුවත්පතේ දීර්ඝ ප්‍රතිචාරයක් ලබාදී තිබුණි. 

“සොනික් සොනික්“ රාජ්‍ය බුද්ධි සේවයේ ! - ලසන්ත රුහුණගේ

එය ඉතාම විනයානුකූලව ලියා ඇති සටහනක් වුවද ඊට තම විශ්වාසයන් සහ සත්‍යය යැයි පිළිගැනීමට බලකරණ කරුණු වලට මූලික තැන ලබා දී ලියා ඇත. ඔහුට ඇති ඇතැම් ගැටලු සාධනීයය. එසේම එම ගැටලු  බොහෝමයක් පොදු සමාජයේ කතාබහ වන කරුණුය. එහෙත් එම ගැටලු වලට ඔහුගේ මූලාශ්‍ර වලින් සපයා ඇත්තේ සත්‍යය විකෘති කරනු ලැබූ පිළිතුරුය. එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතාබහා කිරීමට නොහැකි වූ කාරණා කිහිපයක් ගැන අවධානය යොමුකිරීම මෙහිදී වැදගත් වේ. 

 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය සහ ඇතැම් දේශීය මාධ්‍යයේ සිට චැනල් හතර දක්වා වූ මාධ්‍යය මෙවලම් වල ප්‍රසිද්ධ කළ කතාවස්තුවේ ප්‍රධාන වීරයා ලෙස අපට පිළිගැනීමට බලකරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨතම නිළධාරියෙක් සිටින්නේය. එසේම චැනල් හතරේ චිත්‍රපටයේ කතාකල නිශාන්ත සිල්වා මහතාද ඔහුගේ ඉතා කුළුපඟ ගෝලයකි. මෙම නිළධාරීන් අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් දක්ෂ නිලධරීන් වුවද, ඔවුන්ගේ දක්ෂකම විවිධ දේශපාලන විශ්වාස වලට යටවී ඇතිබව දක්නට ලැබේ. එසේම ඔවුන්ව සන්තර්පණය කරන විවිධ සංවිධාන, පුද්ගලයින් සහ සමාජ කණඩායම් වල මැදිහත්වීම ඔවුන්ගේ විශ්වසනීයත්වයට නරක අන්දමින් බලපා ඇත.


මේ නිසා මෙම අපරාධයට බැඳුනු සිදුවීම් වල සත්‍යය සහ ඊට අදාළ දත්ත ඉතාම සූක්ෂම ලෙස යටපත්කර ඇත. ඊට අදාළ  ප්‍රධාන කාරණා කිහිපයක් ගැන පැහැදිළි අවබෝධයක් ලබාගත යුතුව ඇත්තේ ඒ නිසාය. මෙහිදී ඉදිරිපත් කරන තොරතුරු වලට පිළිතුරු ලබාදීමට හැකි නම් එය ඉතාම අගනා යුතුකමක් ලෙස සලකන්නෙමු.  

දෛවෝපසහගත වැරදි වසා ගැනීමට කුමන්ත්‍රණ න්‍යාය ගෙන ඒම

1139833890

තම දෛවෝපසහගත වැරදි වසා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිළධාරීන් චැනල් හතරේ  සැඟවුණු අමුත්තා විය යුතු නැත. එවැනි දේවල් ඔවුහු ඔවුන්ට කරගන්නා මදිපුංචි කම්ය. මොවුන් තම වෘත්තීය ජීවිතයේ මුහුණදුන් ගැටලු බොහෝමයක් රාජකාරී මට්ටමින් විසඳාගත යුතුව තිබුණු දේශපාලන සහ ආයතනික ගැටලුය. ඔවුන්ට පාරිශුද්ධ විය හැක්කේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් දරමින් සිටි කාලයේදී සිදුකළ කටයුතු ගැන නිවැරදිව තක්සේරු කිරීමෙන් මිස තමන්ගේ වැරදි වසගැනීමට අමුතු-මුතු න්‍යායන් නිර්මාණය කිරීමෙන් නොවේ. සැබෑ මුතු දිළිසෙන්නේය. නමුත් අමුතු-මුතු කෘතීමව දිළිසීමට අර-අදින්නේ අපෙන් ඇත්ත සැඟවීම සඳහාය. සිය ධූරකාලය තුළදී ගත් වැරදි තීන්දු නිසා රටට මුහුණදීමට සිදුවූ නස්පැත්තිය අනුන්ගේ කරමතින් යවා තමන් සුදනන් වීමෙන් සත්‍යයට හෝ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයින්ට යුක්තිය ඉටුවන්නේ නැත. 

පාස්කු ප්‍රහාරය ගැන ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ විනිශ්චයට අනුව නවුෆර් මවුලවි මෙහි මහමොළකරු වන අතර සහරාන් සහ ඔහුගේ ධර්මෝන්මාදයෙන් පෙළුණු කණ්ඩායම මෙම ප්‍රහාරය සැලසුම් කොට දියත් කළ කණ්ඩායම වේ.  එක්සත් ජනපදය විසින් ලබාදී ඇති එම විනිශ්චය වැරදි නම් අති උතුම් රංජිත් කාදිනල් මැල්කම් හිමිපාණන් ඇතුළු කතෝලික පල්ලියේ ඉහළ ඇවරිය මෙන්ම, මොකක් හරි කේස් එකක් හදාගෙන සරණාගත බාවය ලබා ගැනීමට උත්සහ කරන කොලු ගැටයින් කිහිපදෙනා ගේම ඉල්ලා සිටිය යුත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. අඩුම වශයෙන් කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලයට ගොස් එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ තීන්දුව අභියෝගයට ලක්කළ හැකිය. මෙම ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්ෂණයක් තිබිය යුතු යැයි නගන විලාපයට උත්තරයක් ලබාගත හැකි පළමු ප්‍රවේශය එයයි. 

කිසිවකු අභියෝග නොකරන එෆ්බීඅයි සහ ඒඑෆ්පී විමර්ෂණ

afp fbi

ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර විමර්ෂණයක් පවා තබා අවසන්ය. එහිදී ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ( එෆ්බීඅයි) සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (ඒඑෆ්පී) ඉතාම පැහැදිළි විමර්ෂණයක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිඳු අතපෙවීමකින් තොරව සහ පැහැදිළි සහයෝගය ඇතිව සිදුකළේය.

චැනල් 4 චෝදනාවලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල ප්‍රතිචාරයක් !

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයට පාදක වන්නේ මෙම සමස්ථ ක්‍රියාවලියේ ප්‍රතිඵලයන්ය. එබැවින් චැනල් 4 නාලිකාව ඔස්සේ තනි පුද්ගලයින් කිහිපදෙනෙක් ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදුකරන හිස් කෑගැසීම ගැන වෙනම පරීක්ෂණයක් පවත්වා ශුද්ධ වූ සත්‍යය සෙවීමට ආණ්ඩුව වෙහෙස නොවිය යුතුය. එය වෙනත් රූපවාහිනි නාලිකා මෙන් ජනමාධ්‍යය ආයතනයක් මිස අධිකරණ බලයක් ඇති අස්තිත්වයක් නොවේ. 

රටේ ලෝකේ හැම තැනකම තියෙන මාධ්‍යය ආයතන කරන වාර්තා වලට ප්‍රතිචාර පවත්වා ඒවා ගැන විමර්ෂණ කරන්න ගියොත් ලංකාවට වෙන වැඩක් කරන්න වෙලාවක් නැත. එසේම මෙරට ජනමාධ්‍යය සහ අනෙකුත් සමාජ කණ්ඩායම්ද මෙවැනි වැඩසටහනකට ලබාදෙන ප්‍රසිද්ධිය තේරුමක් නැති විකාරයකි. විශේෂයෙන් තම මූලාශ්‍ර වලින් ඉදිරිපත් කරන තොරතුරු කිසිඳු ආකාරයකින් නැවත තහවුරු කිරීමක් නොකොට රටේ සමාජය ඇවිස්සීමේ චේතනාවෙන් පමණක් නිර්මාණය කරන මේවා කුණුගොඩවල්ය. නමුත් මෙම චිත්‍රපටයට පාදක කරගන්නා කුමන්ත්‍රණ න්‍යාය ඉතාම පරෙස්සමින් වියන ලද්දකි. මේ නිසා  මෙහි සිටින අයවලුන් හෙළිදරව් කිරීම වැදගත් වන අතර මෙහි ඇති දේශපාලන බලපෑම නිවැරදිව කියවිය යුතුය. ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් පත්කළ විශේෂ කමිටුව ඉදිරියට කැඳවා චැනල් හතරට තම සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩදෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. චැනල් හතරට ඒ සඳහා ප්‍රමුඛ අවස්ථාවක් ලබාදීම වැදගත් වේ. 

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය ගැන ලෝක ප්‍රකට අපරාධවිමර්ෂණ ආයතන වලින් සිදුකළ විමර්ෂණ සහ නිගමන කිසිවකු අභියෝගයට ලක් නොකරන්නේ ඇයි? එනම් මේ ප්‍රධාන ආයතන වලට වඩා මෙරට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිළධාරියෙකුගේ නායකත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි යෝජනා කරන කිසිවෙකු එෆ්බීඅයි සහ ඒඑෆ්පී විමර්ශන බොරු කියා නොකියන්නේ ඇයි? ඒ සියලු කරණු යටකිරීම සඳහා කුමන්ත්‍රණ න්‍යායක් නිර්මාණය කරන්නේ ඇයි? කනගාටුවෙන් වුවද සඳහන් කළයුතු සත්‍යයක් තිබේ. 

එනම් නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ආකාරයෙන්ම මෙම කුමන්ත්‍රණ කතා සියල්ලගේම මහමොළකරු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිළධාරීන් විය හැකිය. එය මොවුන් සිදුකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේදී තමන් අතින් සිදුවූ වැරදි වසාගැනීම සඳහාය.

මේ කතාව ලියා තැබිය යුත්තේ ඒ නිසාය. මෙම පුද්ගලයින් ඔවුන්ට හිතැති තොරතුරු සමාජගත කිරීම සහ ඔවුන්ගේ වැරදි ඔප්පුවන සියලුම සිදුවීම් ඉතාම කෛරාටක ලෙස වසා තබා ඇත.

කුමන්ත්‍රණ කතා වල මහමොළකරු  

 107287057 press pm
2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු යුදහමුදා බුද්ධි අංශයේ කාර්යය බාර්යය නිෂ්ක්‍රීය කරනු ලැබූ අතර ඔවුන්ට අණ කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපර්තෙම්න්තුවට ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙසයි. ඊට සාදාරණ හේතු තිබුණි. ජනමාධ්‍යයවේදීන් ඇතුළු සමාජයට බලපෑම් කළහැකි නිරායුධ පුද්ගලයින් කිහිපදෙනෙකුට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම් වලට යුදහමුදා බුද්ධි අංශයේ නම ගෑවී තිබුණි. යහපාලන ආණ්ඩුව බලයට ඒම සඳහා භාවිතා කරනු ලැබූ ප්‍රධාන සටන් පාඨ වලින් එකක් වූයේද රට තුළ සිදුවූ නීති විරෝධී ඝාතන සහ පහරදීම් වලට යුක්තිය ඉටුකිරීමේ පොරොන්දුවය. එහි ප්‍රතිඵලය ලෙස යුදහමුදා බුද්ධි අංශය ඊට හිමි අභිනියෝග අනුව පැවරී තිබූ  ප්‍රධාන කටයුතු වලින් ඈත් කර තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යුදහමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් විසින් සිදුකරන සියලුම මෙහෙයුම් ගැන වාර්තාකළ යුතුව තිබුණි. 

රටපුරා වර්ධනය වෙමින් පැවති ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකළ බුද්ධි මෙහෙයුම් වලදීද ප්‍රධාන වගකීම පැවරී තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. එහෙත් රටේ වර්ධනය වෙමින් පැවති එම ප්‍රචණ්ඩ අන්තවාදීන් විසින් සිදුකළ බලපෑම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තනියම මුහුණදීමට හැකි දෙයක් නොවීය. ඔවුන්ට ඒ ගැන ගැඹුරු අවබෝධයක්ද නොතිබුණි. මේ නිසා අන්තවාදීන්ගේ වර්ධනයට අදාළ සිදුවීම් ගැන දේශපාලනඥයින් හෝ දැනුවත් කළයුතු බව යුද්ධ හමුදා බුද්ධි අංශය අවබෝධ කරගෙන ඊට අදාළ විශේෂ ලිපි ගොනුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආචාර්යය විජේදාස රාජපක්ෂ, ආචාර්යය හර්ෂද සිල්වා, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ඇතුළු එකල ආණ්ඩුව නියෝජනය කළ ප්‍රධාන දේශපාලනඥයින්ට 2016 සැප්තැම්බර් 24 වැනිදින ලබා දී තිබිණ. 

විජේදාස විතරක් අනතුරු ඇඟවූ ඉස්ලාමීය ත්‍රස්තවාදය!



එහිදී කොන්දක් තියාගෙන ඒ ගැන වචනයක් හෝ කිව්වේ විජේදාස රාජපක්‍ෂ මහතා පමණි. වෙනත් කිසිවෙකු තම දේශපාලන වාසි  තකා ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත.  විජේදාස රාජපක්‍ෂ මහතා ඒ ගැන කතාකරන විටද මුජිබුර් රහමාන් මහතා වැනි පුද්ගලයින් ඊට දැඩි විරෝධය පෑවේය. ඒ අතර මෙම ධර්මෝන්දකයින් සමාජය පුරා ව්‍යාප්ත කරමින් සිටි තුවාළය දරුණු වීමට පටන් ගත්තේය. පාස්කු ප්‍රහාරයට පෙර මීට සම්බන්ධ ප්‍රධාන සිදුවීම් එකොළහක් හඳුනා ගත හැකිවූයේ ඒ අනුවය. ඒවා නම්,

1. 2017 මාර්තු 10 - කාත්තන්කුඩි අලියාර් හන්දියේදී සාම්ප්‍රදායික මුස්ලිම් සංවිධානයක පිරිසකට පහරදීම
2. 2017 මැයි 17 - ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මස්ජිට වෙඩි තැබීම
3. 2018 පෙබරවාරි 6 - යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ  (පීඑම්ජී) සාමාජිකයෙකුට පහරදීම
4. 2018 පෙබරවාරි 12 - යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ  ( පීඑම්ජී) කාර්යාලයට පහරදීම
5. 2018 ජුනි 8 - කාත්තන්කුඩි පලනි බාවාට වෙඩිතබා ඝාතනය කිරීම
6. 2018 අගෝස්තු 26 -  ආරියමපති හී රිල්වාන් පුපුරණ ද්‍රව්‍යය අතහදා බැලීම
7. 2018 නොවැම්බර් 30 - වවනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම
8. 2018 දෙසැම්බර් 23 - 25 -  මාවනැල්ල ආගමික ප්‍රතිමා හානි කිරීම
9. 2019 ජනවාරි 16 -  වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍යය අත්හදා බැලීම
10. 2019 මාර්තු 08 - අපරාධ විමර්ශන කොට්ඨාශයේ තොරතුරුකරු ඇතුළු පිරිසක් තල්සීම්ට වෙඩි තැබීම
11. 2019- අප්‍රේල් 16 - කාත්තන්කුඩි තාලංකුඩාහීදී යතුරුපැදියක් පුපුරුවා හැරීම  

මෙම සිදුවීම් අතරින් 2018 නොවැම්බර් 30 - වවනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම ගැන විමසීම වැදගත් වේ. මන්ද එම සිද්ධියේදී නගන චෝදනාවක් වන්නේ යුධ හමුදා බුද්ධි අංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් නොමග යැවූ බවයි. එහිදී මතුවන ප්‍රධාන ගැටලු වලින් එකක් නම්, යුධ හමුදාවේ බුද්ධි අංශයේ අයෙකුට හෝ වෙනයම් අයෙකුට ලංකාවේ සිටින දක්ෂතම අපරාධ විමර්ශකයින් ලෙස හඳුන්වන ඇතැම් නිළධාරීන්  නොමග යැවීමට හැකිනම් ඉන් කියවෙන්නේ  ඔවුන්  ඉතා දුර්වල බවද? ලංකාවට පහළ වූයේ යැයි කියන මෙම අති දක්ෂ පරීක්‍ෂකයින් එතරම් දක්ෂනම් වවනතිව් සිද්ධිය ගැන මෙතරම් අඳබාල තර්කයක් ගොඩ නැගිය හැකිද? 

e26e070f0b61121e8e747746e6882f29 XL

වව්නතිව් හී පොලිස් නිළධාරීන් දෙදෙනා 2018 නොවැම්බර් 30 වැනිදින ඝාතනය වීමෙන් වූ පසු සිදුවූයේ කුමක්ද? අදාල සිද්ධිය විමර්ෂණය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වය යුතු පිරිසක් කොළඹ සිට අපරාධය සිදුවූ ස්ථානයට පැමිණියේය. ඒ දෙසැම්බර් 03 වැනිදින හෝ ආසන්න කාලයකදීය . එහිදී එම නිළධාරීයා ප්‍රදේශයේ සේවය කළ යුධ හමුදා බුද්ධි නිළධාරීන්ට අණ දුන්නේද, එම අපරාධය ගැන සියලුම තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙසයි.  


වව්නතිව් සිද්ධියේ CID සැඟවූ ඇත්ත

බොහෝ දෙනෙකු සිතුවේ ප්‍රහාරය හිටපු එල් ටී ටී ඊ සාමාජික අජන්තන්ගේ කටයුත්තක් කියාය. සිද්ධියට අදාළ තොරතුරු රාශියක් ලැබුණු අතර ඇතැම් තොරතුරු වල සඳහන් වූයේ එම ඝාතනය පොඩිසීලන්ගේ කටයුත්තක් කියාය. තවත් ඒවායේ සඳහන් වූයේ එය කරුණාගේ හෝ පිල්ලයාන්ගේ අනුදැනුම මත සිදුකළ ඝාතනයක් කියාය. ප්‍රදේශය පුරා පැතිරී ගිය මෙම තොරතුරු ප්‍රකාරව හමුදා බුද්ධි අංශය 2019 ජනවාරි අදාළ ඝාතනය කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් සිදුකළ බව දැනුම් දෙනු ලැබීය. එය සත්‍යයකි. නමුත් එය නොමග යැවීමක් ලෙස සැළකිය නොහැකිය. මන්ද ලබාදෙන තොරතුරු තම අපරාධ විමර්ෂණයට භාවිතා කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ලබාදී තිබූ සුවිශේෂී රාජකාරිය විය.

සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට සිද්ධිය සිදුවූ ස්ථානයට ගිය පසු ඒ ආසන්නයේ ඇති බෝක්කුවක තිබී හමුවූයේ යැයි කියූ ජැකට් එකක් ලබාදී ඇත. එම ජැකට්ටුව පොලිසියට භාරදී ඇත්තේ දෙමළ ජාතිකයෙකු විසිනි. එහෙත් එය ඝාතකයින්ගේ වියහැකි බව විශ්වාස කරමින් අපරාධ විමර්ෂණ සුනඛයා මෙහෙයවා ඇත. ඒ වනවිට ඇද හැලුණු අධික වර්ෂාව නොකතා කිලෝමීටර් තුනක් පමණ දිවගිය සුනඛයා අවසානයේ කොටි සංවිධානයේ හිටපු සමාජිකයෙකු වූ අජන්තන්ගේ නිවසට ගොස් තිබේ. අජනතන් වහාම අත්අඩංගුවට පත්විය. නමුත් මෙහිදී සඳහන් කළයුතු තවත් කාරණයක් තිබේ. එනම් එම සිද්ධියට මාසයකට පෙර අජන්තන් පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු සමග ආරෝවක් පටලවා ගැනීමයි. එය හමුදා බුද්ධි අංශයට කිසිම අදාළ නැති කාරණයකි. 

Vavunatheevu incident 30 11 2018 118300 445
නමුත් අදාළ ඝාතනය ගැන ප්‍රදේශයේ පැතිරී යන තොරතුරු වාර්තා කිරීම යුදහමුදා බුද්ධි අංශය දිගටම සිදුකළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමග යැව්වේ යැයි චෝදනා ලබන යුධ හමුදා බුද්ධි අංශය 2019 අප්‍රේල් 12 වැනිදින වවනතිව් ඝාතනයට අදාළ තවත් බුද්ධි වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවනු ලැබීය. එම වාර්තාවේ පැහැදිළිව වවනතිව් හී පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සහරාන්ගේ සහෝදරයකු රිල්වාන් සහ ආමි මොහිදීන් සම්බන්ධ වී කළ  කටයුත්තක් බව සඳහන් කර තිබේ. මෙම වාර්තාව ගැන කිසිවෙකු කතා කරන්නේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැමුන් තම වැරදි වසා ගැනීම සඳහා මෙම වාර්තාව යට ගැසීය. මන්ද එමඟින් තම අසමත්බව ඔප්පු වන හෙයිනි. වවනතිව් සිද්ධියේ සැබෑ අබිරහස එයයි. එය බබාලා නොමග යැවීමේ ප්‍රතිඵලයක් නොව බබාලාගේ අසමත්කම ඔප්පු කළ සිදුවීමකි.

SIS රිල්වාන් සහ සයිනි අල්ලන්න කියන විට එපා කිව්වේ ඇයි?

මීට අදාළ දෙවන සිදුවීමද මේ හා සමානය. 2019 මාර්තු 07 වැනි දින කොළඔ සිට මඩකලපුවේ පාසිකුඩා ප්‍රදේශයට පැමිණි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් සහරාන්ගේ සහෝදරයන් දෙදෙනා වන රිල්වාන් සහ සයිනි යන අය රහසිගතව සැගවි සිටින ස්ථාන සහ සහරාන්ගේ ප්‍රබල අනුගාමිකයකු වු ආමි මොහිදීන් සැගවි සිටින ස්ථාන පෙන්වා දි ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇත. එම කටයුත්ත සඳහා කොළඔ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂකවරෙකු, සැරයන්වරයෙකු ඇතුළු පිරිසක් පැමිණියහ.

නමුත් ඔවුන් අදාල පිරිස අත්අඩංගුවට නොගෙන ආපසු ගොස් තිබු අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වු ජනාධිපති කොමිසමේදි මේ සම්බන්ධයෙන් විනිසුරුවරුන් උප පොලිස් පරික්ෂකවරයාගෙන් ප්‍රශ්න කළ  අතර ඔහු කොමිෂන් සභාව ඉදිරියේ හඬමින් ප්‍රකාශ කළේ, සහරාන්ගේ ගෝලයන් එදින අත්අඩංගුවට නොගත්තෙ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහල නිලධාරින් ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස උපදෙස් ලබාදුන් නිසා බවයි.  

උප පොලිස් පරික්ෂකවරයා වැඩිදුරටත් ජනාධිපති කොමිෂන් සභාවේදි ප්‍රකාශ කරන ලද්දෙ රාජ්‍ය බුද්ධි සේවාව මගින් පෙන්වා දුන් සහරාන්ගේ ⁣ප්‍රධාන ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනිම වෙනුවට ඔවුන් සමග සම්බන්දතා ගොඩනගා ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තමන්ට උපදෙස් ලබාදුන් බවයි. එහිදි ජනාධිපති කොමිෂන් සභාවේ විනිසුරුවරුන් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අසා සිටියේ, "අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනිම වෙනුවට ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වීම සිදුකරන්නේද, " කියාය.  ආමි මොහිදීන් 2019 අප්‍රේල් 25 වැනිදින රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිමේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් ඔහු සමග සම්බන්ධ වී ඇතිබව අනාවරණය විය.

පාස්කු ප්‍රහාරයේ ඇත්ත වසා දැමීම සඳහා කුමන්ත්‍රණ න්‍යායක් සමාජගත කළේ කවුරුන්ද යන්න දැන් පැහැදිළි විය යුතුය. තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා අනුන් පිට පැටවීමට මීට කුමන්ත්‍රණයක් පැටලු බව පෙනේ. ඒ අනුව කුමන්ත්‍රණයේ මහමොළකරු කවුන්ද සහ එය ඔහු නිර්මාණය කළේ මොන අරමුණු වෙනුවෙන්ද යන්න දැන් පැහැදිලිය.


(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

සංවාදයට විවෘතයි ......




මෙම ලිපි පෙළෙහි කිසිවකුට හෝ කිසිඳු පාර්ශවයකට කිසියම් හෝ අගතියක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිලිගනිමු.- සංස්කාරිකා

 සබැඳි ලිපි :

'චැනල් ෆෝ' චෝදනා විමර්ශනයට කමිටු 02 ක්

 
 




 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image