ජාත්‍යන්තරය අපේක්ෂා කළ පරිදිම පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කරමින් ඉරානය විසින් ඊශ්‍රායලයට ගුවන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර

මාලාවක් දියත් කර ඇත.

ඉරානය සිය ප්‍රොක්සි හමුදා කණ්ඩායම් යොදා ගනිද්දී, වසර ගණනාවක් පුරා ඡායා යුද්ධයක නිරත වී සිටි ප්‍රතිවිරුද්ධ මතධාරීන් දෙදෙනා අතර මෙවැනි සෘජු ගැටුමක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.
 
ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඊශ්‍රායලය සහ අනෙකුත් රටවල් එක්ව ඊශ්‍රායල ගුවන් සීමාවෙන් පිටතට එල්ල වූ කෲස් මිසයිල සහ ඩ්‍රෝන සිය ගණනක් විනාශ කළ බවයි.

‘ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර සියල්ලම පාහේ විනාශ කිරීමට අපි උදව් කළෙමු” යනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේය.
 
"ඉරානය සහ යේමනය, සිරියාව සහ ඉරාකයේ සිට ක්‍රියාත්මක වන ඔවුන්ගේ ප්‍රොක්සි හමුදාව යොදාගෙන ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථානවලට පෙර නොවූ විරූ ගුවන් ප්‍රහාරයක් දියත් කර ඇත" එම ප්‍රහාර දැඩිව හෙළා දකිමින් ඔහු ප්‍රකාශ කළේය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළේ ප්‍රහාරය 'විශේෂිත ඉලක්ක' වෙත අරමුණු කළ බවයි.

ඉහළ අණදෙන නිලධාරියෙකු ඇතුළුව හමුදා නිලධාරීන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සිරියාවේ පිහිටි සිය කොන්සල් කාර්යාලයට අප්‍රේල් 01 වනදා එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රතිඥා දී තිබුණි.

එම ප්‍රහාරය එල්ල කළ බවට ඉරානය ඊශ්‍රායලයට චෝදනා කළ නමුත් ඊශ්‍රායලය එය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නොතිබුණි.
 
ටෙහෙරානයේදී විරෝධතාකරුවන් ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට විරෝධය දක්වමින්

ඉරාන ප්‍රහාරය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යුද කැබිනට් රැස්වීමක් කැඳවූ අතර අනතුරුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ. එහිදී ඔහු "ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අමෙරිකාවේ අයෝමය කැපවීම" යළි තහවුරු කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ ඉරානය එල්ල කළ ඇතැම් මිසයිල ප්‍රහාර ඊශ්‍රායලය තුළට එල්ල වී ඇති බවයි. එමඟින් හමුදා කඳවුරකට සුළු හානි සිදු වූ නමුත් ජීවිත හානි සිදුවී නොමැති බව ඔහු පැවසුවේය.

සුන්බුන් කඩා වැටීමෙන් දකුණු අරාද් ප්‍රදේශයේහත් හැවිරිදි බෙඩොයින් දැරියක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ගිලන්රථ සේවය ප්‍රකාශ කර තිබේ.

"අද රාත්‍රියේ ඉරානය විසින් එල්ල කරන ලද මහා පරිමාණ ප්‍රහාරය අර්බුදය තිව්‍ර කරන ප්‍රධාන වර්ධනයක්" ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේය. “අපගේ මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමඟ එක්ව, අපි ඊශ්‍රායල රාජ්‍යය සහ ඊශ්‍රායල ජනතාව ආරක්ෂා කිරීම සඳහා පූර්ණ බලයෙන් ක්‍රියාත්මක වනවා" ඔහු පැවසීය.

මීට අමතරව වෙනත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඉරානය එක රැයකින් ඊශ්‍රායලයට ප්‍රහාර 300 කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවයි.

ඉන් 99% ක ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙළූ බව ද ඔහු පවසා ඇත.

ඇතැම් ප්‍රහාර දියත් කර තිබුණේ ඉරාකයෙන් සහ යේමනයේ සිට බව ද ඔහු පැවසීය.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් පැවසුවේ 'ඉතා සුළු හානියක් සිදුවී ඇති බවයි'. නමුත් 'සිදුවීම තවම අවසන් වී නැති බවත්' ඊශ්‍රායලය 'අවදියෙන් සිටිය යුතු බවත්' අනතුරු ඇඟවීය.

අමෙරිකානු හමුදාව විසින් ඩ්‍රෝන යානා කිහිපයක් බිම හෙළා ඇති බව අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු විසින් BBC පුවත් සේවයේ අමෙරිකාවේ පාර්ශවකරු වන CBS පුවත් සේවය වෙත පවසා තිබේ. එහෙත් එලෙස ප්‍රතිප්‍රහාර එල්ල කළේ කොතැනක සිට හෝ කෙසේද යන්න පිළිබඳ එම නිලධාරීන් නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.

මේ අතර බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ දැනට පවතින මෙහෙයුම් පරාසය තුළ ඕනෑම ගුවන් ප්‍රහාරයක් මැඩපැවැත්වීම සඳහා ඉරාකය සහ සිරියාව තුළ රාජකීය ගුවන් හමුදා (RAF) ජෙට් යානා සූදානම් කර ඇති බවයි.

ඉරාන ප්‍රහාර මාලාවත් සමග ඊශ්‍රායලය පුරා සයිරන් නාද ක්‍රියාත්මක වූ අතර ජෙරුසලමට ඉහළින් විශාල පිපිරුම් හඬක් ඇසී තිබුණේ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති නගරයට ඉහළින් එල්ල වන මිසයිල ප්‍රතිප්‍රහාර එල්ල කර බිම හෙළන පසුබිමක් තුළයි.
 
 
ඊශ්‍රායලය, ලෙබනනය සහ ඉරාකය ඔවුන්ගේ ගුවන් සීමාවන් වසා දැමූ අතර සිරියාව සහ ජෝර්දානය ඔවුන්ගේ ගුවන් ආරක්ෂාව සීරුවෙන් තබා තිබේ.
 
ඉරාන සන්නද්ධ හමුදාවේ බලවත්ම ශාඛාව වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ මෙම ප්‍රහාරය දියත් කළේ සිරියාවේ ඩැමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයේ කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය ඇතුළුව ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් නැවත නැවතත් කරන අපරාධවලට පළිගැනීමක් ලෙස බවයි.

කෙසේවෙතත් ඉරානයේ ප්‍රහාර දියත් කිරීම් පිළිබඳ පුවතට ටික වේලාවකට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඊශ්‍රායලය "ආරක්ෂක පද්ධති" යොදවා ඇති බවයි.

"අපි ආරක්‍ෂාකාරීව සහ ප්‍රහාරාත්මකව යන අංශ දෙකෙන්‍ ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානම්. ඊශ්‍රායලය ශක්තිමත්. ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාව ශක්තිමත්. ජනතාව ශක්තිමත්" නෙතන්යාහු පැවසීය.

"අමෙරිකාව ඊශ්‍රායලය සමඟ සිටීම මෙන්ම බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ තවත් බොහෝ රටවල් ලබා දෙන සහයෝගය අපි අගය කරන්නෙමු."

xfghhjhgfජෝ බයිඩන් ධවල මන්දිරයේදී ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් සමඟ හමුවීමක්

ආතතිමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ සෙනසුරාදා දිනයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඩෙලවෙයාර් වෙත සූදානම් කර තිබූ සංචාරයක් අවලංගු කර යළි ධවල මන්දිරය වෙත පැමිණ තිබේ.

අනතුරුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඔහු පැවසුවේ "ඉරානයේ නිර්ලජ්ජිත ප්‍රහාරයට එක්සත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම සඳහා හෙට දිනයේදී සෙසු G7 නායකයින් කැඳවන" බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් ඉරානයේ "නොසැලකිලිමත්" ප්‍රහාරය හෙළා දැක තිබේ. බ්‍රිතාන්‍ය "ඊශ්‍රායලයේ සහ අපගේ සියලුම කලාපීය හවුල්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින" බව බව ඔහු අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද මහා පරිමාණ ප්‍රහාරයෙන් සිදුවන වන බරපතල උත්සන්න වීම හේතුවෙන් මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවයි.

"මෙම සතුරුකම් වහා නතර කරන ලෙස" තමන් ඉල්ලා සිටින බවත්, උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

"කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරාගත නොහැකියි," ඔහු අනතුරු ඇඟවීය.

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි හමුවක් සඳහා ඉරිදා රැස්වන බව එහි සභාපති වැනේසා ෆ්‍රේසියර් ප්‍රකාශ කළාය.

මෙම සතිය මුලදී ඊශ්‍රායලයේ ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් අනතුරු අගවා තිබුණේ ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළහොත් ඊශ්‍රායලය නැවත ඉරානයට පහර දෙන බවටයි.

වාර්තාකරණය :
රාෆී බර්ග්

අතිරේක වාර්තාකරණය :
ලෝරන්ස් පීටර්, එමලි ඇට්කින්සන් සහ ඩග් ෆ්ලුක්නර්



(BBC පුවත් සේවය)


සබැඳි පුවත් :
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් මාලාවක්!

 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්