අප්‍රිකාවෙන් ආරම්භව ලොව පුරා පැතිර යන එම්පොක්ස් (mpox) හෙවත් වඳුරු උණ රෝගය තවත් කොවිඩ් -19 ප්‍රභේදයක් නොවන බව
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.
එහෙත්, නව වෛරසය පිලිබඳ තව දුරටත් පර්යේෂණ සිදුකෙරෙන බවද එම සංවිධානය පවසයි.
නව වෛරසයට සමාන එහෙත්, එතරම් දරුණු නොවන එම්පොක්ස් ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුලින්ම අනාවරණය කෙරුණේ 2022 ජුලි මස දී ය.
එය සමලිංගික සහ දිවිලිංගික සංසර්ගිකයින් අතර සීග්‍රයෙන් පැතිර යන බවට හඳුනා ගැනිණි.
එම අවදානම පසුගිය වසරේ මැයි මස දී ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය. මීට පෙර හඳුනාගත් වෛරස් තත්ත්වයක් නිසා, එය සාර්ථකව මර්ධනය කිරීම අපහසු නොවන බව ද එම සංවිධානය අවධාරණය කරයි.
මේ වන විට, ස්වීඩනයෙන් සහ අසල්වැසි පාකිස්ථානයෙන් ද එම්පොක්ස් රෝගීන් වාර්තා වී තිබේ.
සම මත සිදුවන සමීප සප්ර්ෂීය සබඳතා මගින් රෝගය පහසුවෙන් බෝවී, පැතිරී යන බවට හඳුනාගෙන තිබේ.
එහෙත් මුඛ බිබිලි සහිත රෝගීන්ගේ ඛේටය බිඳිති මගින් ද රෝගය ආසාදනය විය හැකි බව වෛද්‍යවරු පවසති.
රෝගය පැතිරී යා හැකි වෙනත් ක්‍රමවේද පිලිබඳ තව දුරටත් අධ්‍යයනය කෙරෙමින් පවතී.
රෝගයට එරෙහිව ගෝලීය සමූහ එන්නත්කරණය පිණිස මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයක් නැතැයි එහි ප්‍රකාශක තාරික් ජසාරෙවික් (Tarik Jasarevic) පවසයි.
එහෙත්, රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහිත සමාජ කොටස් වෙත එන්නත් ප්‍රතිකාර ලබා දීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
උණ, දැඩි හිසරදය, මස්පිඬු සහ කොන්දේ වේදනාව, අලස හා ශක්තිහීන බව, වසා ගැටිති ඉදිමුම, සහ සම මතුපිට කුෂ්ඨ වැනි තුවාල හට ගැනීම මෙහි රෝග ලක්ෂණ ලෙස දැක්වේ.
රෝගය මුලින්ම වාර්තා වූ කොංගෝවේ සහ අනෙකුත් අප්‍රිකානු රටවල තවත් නොබෝ දිනෙකින් රෝගයට එරෙහි ප්‍රජා එන්නත්කරණය ආරම්භ වීමට නියමිතය.
අවශ්‍ය එන්නත් තොග එළැඹෙන සතිය තුළ ලැබෙනු ඇතැයි අප්‍රිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (Africa CDC) අධ්‍යක්ෂ ජෙනරාල් ජීන් කසේයා (Jean Kaseya) පවසයි.
අවශ්‍ය එන්නත් තොග සැපයීමට, යුරෝපියානු සංගමය, එන්නත් නිෂ්පාදනායතනයක් වන බවාරියන් නොර්ඩික් (Bavarian Nordic), එක්සත් ජනපදය සහ ජපානය වෙතින් විශේෂ ඉල්ලීම් සිදු කර තිබේ.
එන්නත් තොග ආරක්ෂා සහිතව ගබඩා කිරීම සහ බෙදා හැරීම පිළිබඳව මේ වනවිට වැඩි අවධානය යොමුව ඇතැයි ද කසේයා ප්‍රකාශ කරයි.
අප්‍රිකාව තුළ සිදුකෙරෙන මූලික එන්නත්කරණය මගින් එක් එක් එන්නත් නිෂ්පාදනයන්හි කාර්යක්ෂමතාව හඳුනාගත හැකි බවත්, එම කරුණු මත පදනම්ව, ඒ ඒ රටවලට වඩාත් සුදුසු එන්නත් වර්ගය හඳුනාගත හැකි බවත් ඔහු පවසයි.
(Aljazeera ඇසුරින් සටහන : හර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර
Mpox not the new COVID, says WHO






