සමස්ත ඊශ්‍රායලය පුරා අද පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක පැය 48 ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
උතුරු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් හිස්බුල්ලා ප්‍රයත්නය සාර්ථකව ව්‍යර්ථ කළ බව ඊශ්‍රායලය පවසයි.
එම සැලසුම් සහගත ප්‍රහාරය පිලිබඳ සැළ වූ වහාම, බුද්ධි තොරතුරු මගින් නිශ්චිතව හඳුනා ගත් හිස්බුල්ලා ඉලක්ක දහසක්, සිය යුද ගුවන් යානා 100ක් මගින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් විනාශ කළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව තහවුරු කරයි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කළ නවතම ගුවන් ප්‍රහාර හමුවේ මධ්‍යම ගසා තීරයේ නැගෙනහිර දෙර් අල්-බලා (Deir el-Balah) ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයින් 6 දෙනකු ඇතුළු පුද්ගලයින් 8 දෙනකුවත් මරණයට පත් වී ඇතැයි වෆා (wafa) පුවත් ඒජන්සිය පවසයි. එම ප්‍රහාර ඊයේ (24) රාත්‍රියේ සිට අඛණ්ඩව ක්‍රියාත්මකය.
ඊශ්‍රායල යුද ගුවන් යානා ප්‍රහාරයට පෙර ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල වූ බව වාර්තා වේ. ඊශ්‍රායල යුද හමුදාවද ප්‍රහාරයට එක් විය.
පසුගිය සතියේ, එම කලාපය "රතු කලාපයක්" බව ඊශ්‍රායල හමුදා විසින් නිවේදනය කළේය. ඒ අනුව, වහා ඉන් ඉවත්වන ලෙස පලස්තීනුවන්ට දැනුම් දීමට කටයුතු කෙරිණි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් මරණයට පත්වන්නන් අතර කුඩා ළමුන් සහ කාන්තාවන් ද වන බව වෛද්‍ය වාර්තා අනාවරණය කරයි. ප්‍රහාර හේතුවෙන්, නිවාස, ආගමික මධ්‍යස්ථාන සහ පොදු දේපල ද මුළුමනින්ම විනාශ වී තිබේ.
මේ අතර, ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කරුවන් අතර ලෙබනන්-ඊශ්‍රායල දේශ සීමාවේදී තව දුරටත් වෙඩි හුවමාරු සිදු වේ.
ඉකුත් ජුලි මස, සිය හමුදා අණ දෙන නිලධාරියකු ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායල හමුදාවන්ට සාර්ථක ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා කැරලි කරුවෝ පවසති.
එය ප්‍රති ප්‍රහාරයන්ගේ පළමු පියවර බවද, ඔවුන් විසින් ප්‍රකාශ කර තිබේ. හමාස් සංවිධානය විසින් ඒ පිලිබඳ සිය සතුට පල කර ඇත.
ඊශ්‍රායල ඉලක්ක 11 ක් වෙත ලෙබනනයේ හිස්බුල්ලා කැරලිකරුවන් විසින් 320 ක ට අධික කට්යුෂා (Katyusha) රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි ද වාර්තා වෙයි.
ගෝලාන් කඳුකරයේ පිහිටි ඊශ්‍රායල හමුදා බැරැක්ක සහ හමුදා මූලස්ථාන ද එම ඉලක්ක අතර වූ බව හිස්බුල්ලා සටන්කරුවන් පවසයි.
(Reuters ඇසුරින් සටහන - හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:
At least eight people killed in Israeli air attack in Gaza’s Deir el-Balah






