ලොව පුරා සියලු නෙත් අද පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණය දෙස යොමුව පවතී.
දකුණු ඉන්දීය හින්දුන්ගේ අපේක්ෂාව මෙවර එක්සත් ජනපද ජනපති තරගයෙන්, උප ජනාධිපතිනි කමලා හැරිස් ජයගනු දැකීමය.
කමලා හැරිස්, ඉන්දීය සහ ජැමෙයිකානු සංක්‍රමණික දෙමාපියන්ට දාව දියණියක්ව එක්සත් ජනපදයේදී උපත ලැබුවාය. තමිල් නාඩුවේ උපත ලද ඇගේ මව ආචාර්ය උපාධි වැඩසටහනකට ඇමෙරිකාවට පැමිණ තිබිණි. කුඩා කමලා, එවක චෙන්නායි හි ජීවත් වූ තම සීයා බැලීමට ආ ගිය බව ඇයට හොදින් මතකය. ඒ 'ගමනෙන්, ගමන' ඉන්දියාවේ වරින්වර ගත කළ ළමා විය, සිය ඉන්දියානු උරුමය ඔස්සේ, ඇගේ ජීවිතයටත්, පසුව, රැකියාවටත් පන්නරය ලබා දුන් අයුරු කමලා අදටත් ආදරයෙන් සිහිපත් කරයි.
"අපේ, ඉන්දියානු සහ දමිළ සම්භවය ඔස්සේ පැවත එන නායිකාවට, මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ජය නියතයි," යනුවෙන්, තමිල් නාඩුවේ, මදුරායි හි හින්දු සංවිධානයක පුරෝගාමී සාමාජික බල්ලු පවසයි.
එහි ප්‍රදර්ශනය කෙරෙන බැනර මත ඇඳි කමලාගේ රුව හින්දු දේව ප්‍රතිමා අසලින් ම තබා තිබේ. පූජකයෝ ඒ දෙව් පිළිම වලට මලින් පුදා යාඥා පිළිවෙත් ඉටු කරමින් සිටිති.
කමලා හැරිස්, ඇමෙරිකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී ජනපති අපේක්ෂිකාව ලෙස නම් කිරීමත් සමග බොහෝ ඉන්දීය ඇමෙරිකානුවෝ ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ. ඉන්දියානු සම්භවයක් සහිත ජාතික තලයේ සහ බිම් මට්ටමේ සියලු කොටස් වෙතින් සුවිසල් සහායයක් ඇගේ ජයග්‍රහණය පතා ගලා එන්නට විය.
ඇමෙරිකානු ජනපතිවරණය පැවැත්වෙන අද දවසේ එරට ඇතැම් ප්‍රාන්ත වෙත දැඩි අයහපත් කාලගුණික තත්ත්වයක් ද බලපා ඇත. එම ප්‍රාන්තවල දැඩි සුළං සහිත තද වර්ෂාපතනයක් හට ගෙන තිබේ. වැඩිම වර්ෂාපතනය නැගෙනහිර ටෙක්සාස් හි සිට මිසූරි - ඉලිනොයිස් දේශසීමාව තෙක් කලාපයෙන් වාර්තා වේ. අන්තරායකර හදිසි ජල ගැලීම් පිලිබඳ ජනතාව දැනුම්වත් කර ඇත.
කෙසේ වුවත්, එරට මැතිවරණ ක්‍රමවේදයට අනුව, මිලියන ගණනක ඇමෙරිකානුවෝ ජනපතිවරණයට කලින්ම දැනටමත්, සිය ඡන්දය ප්‍රකාශ කර අවසන්ය. ශ්‍රී ලංකා වේලාවෙන්, මේ වන විට, ජනපතිවරණය ආරම්භව ඇත.
සිය සැබෑ ප්‍රතිවාදියා උප ජනාධිපතිනි කමලා හැරිස් නොව, දුෂ්ට ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය බව ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) සිය අවසන් මැතිවරණ වේදිකාව මත ප්‍රකාශ කළේය.
එහෙත්, දින 107 ක සිය මැතිවරණ ව්‍යාපාරයේ අවසන් රැලියේදී හැරිස්, ට්‍රම්ප් පිලිබඳ කිසිත් ප්‍රකාශ නොකළ අතර, එරට භීතියෙන් සහ බෙදා වෙන් කිරීමෙන් පෙළා තිබූ දශකයක පමණ දේශපාලන පිටුව සිය ජයග්‍රහණයෙන් පසු, වෙනස් කරන බව පමණක් සපථ කළාය.
මෙවර ධවල මන්දිර සටන ජය ගැනීමට නම්, බහුතර ජන වරම ලබන ප්‍රධාන තරගකරුවන් වන ට්‍රම්ප් හෝ හැරිස් අනිවාර්යයෙන්ම, කොලොම්බියා දිස්ත්‍රික්කය සහ එරට ප්‍රාන්ත 50 නියජනය කරන තේරීම් නිලධාරීන් 538 දෙනකුගෙන් සැදුම්ලත් එක්සත් ජනපද මැතිවරණ තේරීම් භාර මණ්ඩල ඡන්ද 270ක්වත් ලැබිය යුතුය.
ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තෝරා ගැනීම පිණිස එම අවසන් ඡන්දය ලබා දෙන්නට මෙවර ඔවුන් රැස්වන්නේ එළඹෙන දෙසැම්බර 17 වන දා ය. එදින, තවත් වසර හතරක ධුර කාලයක් සඳහා මීළඟ ඇමෙරිකානු ජනපතිවරයා කවුදැයි 'හරියටම' තෝරා පත් කර ගැනේ.
මිලියන 186 ක ට අධික ඇමරිකානු ජනතාවක් සිය 47 වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන මෙවර ජනපතිවරණයේ
ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇතැයි, 'ද හින්දු' (The Hindu) පුවත්පත වාර්තා කරයි.
(සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
සබැඳි පුවත් :
නිල් රතු සටන ඉවරයි! - තීන්දුවට පැය කීපයයි.!
අමෙරිකානු ජනාධිපතිවරණය අද - ට්‍රම්ප්ගේ සහ කමලාගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?
ට්‍රම්ප්- කමලා වැල් පාලමේ සටනක!






