leader s

කැනඩාවේ බටහිර බ්‍රිටිෂ් කොලොම්බියාවෙන් (British Columbia), H5 කුරුළු උණ රෝගියකු හඳුනා ගැනේ. H5 කුරුළු උණ ප්‍රභේදය වැළඳුනු බවට අනුමාන කෙරෙන රෝගී ශිෂ්‍යයකු එරටින් හමු වී ඇතැයි කැනඩා සෞඛ්‍ය අංශ ඊයේ (9) නිවේදනය කළහ.

පක්ෂියකුගෙන් හෝ වෙනත් සිව්පාවකු වෙතින් ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ. රෝගියා එහි ළමා රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

රෝග මූලාශ්‍ර සහ රෝගියා සම්බන්ධතා පැවැත්වූ තවත් පිරිස් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ පවසයි. එහි නවතම තත්ත්වයෙන්, මහජනතාවට සැලකියයුතු සෞඛ්‍ය තර්ජනයක් නැතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් හොලන්ඩ් (Mark Holland) එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා සිටී. කැනඩාව තුළ, මෙවැනි රෝගියකු හඳුනා ගැනීම ඉතා දුර්ලභ අවස්ථාවක් බවත්, රෝග මූලාශ්‍ර සොයා දිගින් දිගටම විමර්ශන ක්‍රියාත්මක බවත්, බ්‍රිටිෂ් කොලොම්බියා සෞඛ්‍ය නිලධාරී බොනී හෙන්රි (Bonnie Henry) පැවසීය.

කුරුළු උණ තර්ජනයකට මුහුණ දීමට සුදානම් බවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහතිකයක්

 

H5 කුරුළු උණ ප්‍රභේදය ලොව පුරා වන පක්ෂීන් අතර දැකිය හැකි රෝග තත්ත්වයකි. එය කුකුළු ගොවිපොළ සහ එක්සත් ජනපද කිරි ගොවිපොළ වෙතින්ද වාර්තා වේ. එම ගොවිපොළ ආශ්‍රිත සේවයේ නියුතු සැලකිය යුතු පිරිසකට පසුගිය කාලයේ H5 කුරුළු උණ වැළඳී ඇතැයි ද වාර්තා වේ. 

එය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවන බවට මෙතෙක් වාර්තා වී නොමැත. එහෙත්, යම් හෙයකින් එසේ වන බව ඉදිරි පරීක්ෂණවලදී අනාවරණය වුවහොත්, එය වසංගත තත්ත්වයක් තෙක් දුර දිග යා හැකි බවට සෞඛ්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවති.

පසුගිය වසරේ, නොවැම්බර් මස ඇමෙරිකාවේ ගොවිපොළ ආශ්‍රිත සියලු සේවකයින්ට H5 කුරුළු උණ සෞඛ්‍ය පරීක්ෂණයන්ට පෙනී  සිටීම අනිවාර්ය කෙරිණි. එක්සත් ජනපද ප්‍රාන්ත 15 ක සත්ව ගොවිපොළ 450ක රෝගය පැතිර ගොස් ඇතැයි  මෙම වසරේ මාර්තු මස අනාවරණය විය. පසුගිය අප්‍රේල් සිට මෙතෙක්, එම රෝගය වැළඳුනු පුද්ගලයින් 46 දෙනකු එරටින් හමුව ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

කුකුළන් සත් දෙනාගේ මරණ වලින් හෙළිවෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය - (විශේෂඥ මනෝ  වෛද්‍ය රනිල් අබේසිංහ)

 

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාහි රෝගය පැතිරී ඇති කුකුළු ගොවිපොළ 22කට ආසන්න සංඛ්‍යාවක් පසු ගිය මස හඳුනා ගැනිණි. එහි, වන පක්ෂි වර්ග රැසක් ආශ්‍රයෙන් ද සිදුකළ සත්ව සෞඛ්‍ය  පරීක්ෂණ මගින්, එම පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිර පවතින බවට අනාවරණය විය. 

එහෙත්, කැනඩාවේ කිසිදු කිරි ගොවිපොලක හෝ කිරි නිෂ්පාදනවල H5 කුරුළු උණ රෝග කාරක හමු වී නැතැයි සෞඛ්‍ය අංශ පවසති. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Canada detects its first presumptive human H5 bird flu case


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්