ළඟ එන මැන්-යී ( Man-Yi) සුපිරි සුළි කුණාටුවෙන් දිවි ගලවා ගැනීමට ෆිලිපීනයේ පහත් බිම් සහ වෙරළබඩ නගරාශ්‍රිත පදිංචිකරුවන්ට වහා ඉන් ඉවත්වන ලෙස එරට රජය අද (16) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
සුළි කුණාටුව එරට ලුසොන් ( Luzon) දිවයින වෙත ලඟා වෙමින් පවතී. මසක් ඇතුළත එරටට බලපෑ සය වන සුළි කුණාටුව එය වේ.
සුලඟේ වේගය පැයට සැතපුම් 121 ක් බව කාලගුණ ඒජන්සිය පවසයි. එරට පළාත් රැසකට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කුණාටුව පතිත වීමත් සමග තද වැසි සහිත සුළං සහ හදිසි ජල ගැලීම් අපේක්ෂාවෙන් සිටින ලෙස මහජනතාව දැනුම්වත් කර ඇත. නාය යාම් පිලිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ. සුළි කුණාටුව හේතුවෙන්, මේ වන විටත් බයිකොල් (Bicol) ප්‍රදේශයේ ප්‍රාන්ත පහක පුද්ගලයින් 500,000 කට අධික සංඛ්‍යාවක් ආරක්‍ෂිත පෙදෙස් කරා ඉවත් කොට ඇත.
හදිසි මෙහෙයුම් පිණිස 40,000ක බල ඇණියක් සූදානමින් පසුවන බවත්, ඒ වෙනුවෙන්, ගිලන් රථ සහ නාවුක යාත්‍රා ඇතුළු තවත් මෝටර් රථ 2000ක් ස්ථාන ගත කර ඇති බවත් රජය පවසයි.
සුළි කුණාටුවෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවීමට වග බලා ගැනීම පිණිස එම සියළු පූර්ව විපත් කළමනාකරණ පියවර ගෙන ඇතැයි රජය කියා සිටී.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Philippines urges residents to flee as super typhoon Man-Yi strengthens on approach






