අද අළුයම යුක්‍රේනයේ සිදු කළ දැවැන්ත රුසියානු මිසයිල ප්‍රහාර වලින් සත් දෙනකුට ආසන්න පිරිසක් ඝාතනය කෙරේ.
මිසයිල 120කට සහ ඩ්‍රෝන යානා 90ක ට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් එම ප්‍රහාර සිදු කර තිබේ.
එය, පසුගිය තෙමස තුළ යුක්‍රේනය වෙත එල්ල කරන ලද දරුණුම රුසියානු ප්‍රහාර මාලාවයි. ප්‍රහාරවලින්, එරට බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතියට බරපතල හානි සිදු වී තිබේ.
ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග රුසියා-යුක්‍රේන ගැටුම් විසඳීමට සාකච්ඡා අරඹන බව ඔහු ප්‍රකාශ කර ඇතත්, එම සාකච්ඡා කෙසේ සිදු කරන්නේ දැයි අනාවරණය කර නැත.
"රුසියාව විසින් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. සාමකාමී නගර, සන්සුන් නින්දේ පසු වූ සිවිල් වැසියන් සහ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කොට එම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇත," යි යුක්‍රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා (Andrii Sybiha) එක්ස් (X) මත සඳහන් කර සිටී.
අද එල්ල වූ රුසියානු මිසයිල 120න් 104ක් සහ ඩ්‍රෝන 90න් 42ක් ගුවනේදී විනාශ කළ බව, යුක්‍රේනයේ කිව් අගනුවර ගුවන් හමුදා මධ්‍යස්ථානය පවසයි.
යුක්‍රේනයේ හමුදා කර්මාන්ත සංකීර්ණය වෙත විදුලිය සම්පාදනය කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතිය ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව ද තහවුරු කළේය.
අද, එරට සියළු ප්‍රදේශ ආවරණය කරමින් රුසියානු ප්‍රහාර එල්ල වෙමින් ඇතැයි යුක්‍රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පවසයි.
ප්‍රහාරයෙන් සිදු වූ සමස්තහානිය පිලිබඳ පූර්ණ අනාවරණයක් යුක්‍රේනය විසින් සිදු කර නැත.
ඉදිරි සතියේ, දෙරට අතර යුද්ධයට දින 1000ක් සම්පූර්ණ වේ.
හදිසි තත්ත්වයක් වළක්වා ගැනීම පිණිස, අද අළුයම රුසියානු මිසයිල ප්‍රහාරයත් සමග ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කළ බව යුක්‍රේන බලධාරීහු මීට පෙර ප්‍රකාශ කළහ.
පසුගිය අගෝස්තු 26 දා ද රුසියාව ඩ්‍රෝන සහ මිසයිල 200කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් යුක්‍රේනය වෙත මෙවැනිම ප්‍රහාරයක් දියත් කළේය. එහිදී ද පුද්ගලයින් සත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අද ප්‍රහාරයත් සමග නැටෝ සාමාජික පෝලන්තය ද සිය ගුවන් හමුදා යානා යොදා ගනිමින් අවට ගුවන් කලාපයේ දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.
සමස්ත යුක්‍රේන භූමියෙන් පහෙන් කොටසක් මේ වන විට රුසියානු හමුදා යටතේ පවතී. එරටින් රුසියානු හමුදා ඉවත් කර ගන්නැයි, ජර්මානු චාන්සලර්, ඔලාෆ් ෂොල්ට්ස් (Olaf Scholz) රුසියානු ජනපති, ව්ලැඩිමිර් පුටින්ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
රුසියානු ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් රාජ්‍ය නායක දෙපළ අතර ඉකුත් දා දුරකථන සංවාදයක් පැවතියේය. එහෙත්, එම දුරකථන සංවාදය, ක්‍රෙම්ලින් නායකයා හුදෙකලා කිරීමට දරන ජාත්‍යන්තර වෑයමට පටහැනි බව යුක්‍රේන ජනපති කියා සිටී.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Russia pounds Ukraine's power grid in 'massive' air strike






