leader s

ඊශ්‍රායල හමුදා, අද ගාසා තීරයේ, හදිසි සේවා සාමාජිකයකු ඇතුළු පලස්තීනුවන් 15 දෙනකු ඝාතනය කළහ. ඔවුහු,
භූමි ක්‍රියාන්විත ඔස්සේ එහි නිවාස හා ගොඩනැගිලි රැසක් පුපුරවා විනාශ කළ බව ප්‍රදේශවාසීහු පවසති.

ඊශ්‍රායල ප්‍රහාර වලින් අද මිය ගිය පලස්තීනුවන්ගෙන් 12 දෙනකුම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාර වලින්, අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනකුවත් අතුරුදන්ව සිටිති.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 දා ගැටුම් ඇරඹි තැන් සිට, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ හදිසි සේවා සාමාජිකයෝ 87 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

එහි පවතින ඉන්ධන සහ මෝටර් රථ අමතර කොටස් අර්බුදයෙන්, ගිලන් රථ ඇතුළු සහන සේවා ප්‍රවාහන කටයුතු රැසක් අඩාලව පවතී. එම අත්‍යවශ්‍ය සැපයුම් සම්පාදනයට ඊශ්‍රායල හමුදා විසින් බාධා පමුණුවමින් සිටිති.

දකුණු ගාසා තීරයේ රෆා හි සිදු කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයකු තුවාළ  ලැබීය.

 ඊශ්‍රායල හමුදා, ජබාලියා, බෙයිට්  ලහියා සහ බෙයිට් හනෞන් හි යුද ටැංකි ෂෙල් වෙඩි යොදා ගනිමින් නිවාස හා ගොඩනැගිලි පුපුරවා හරිමින් ඇතැයි, ප්‍රදේශ වාසීහු  පවසති.

පසු ගිය මස මුල සිට, එම ප්‍රදේශවල අඛණ්ඩ ඊශ්‍රායල භූමි ක්‍රියාන්විත සිදු කෙරේ.

එම සමස්ත ප්‍රදේශය  යුද මුක්ත කලාපයක් බවට පත් කිරීම ඊශ්‍රායලයේ  අපේක්ෂාව බව ප්‍රදේශවාසීහු  කියති. ඊශ්‍රායලය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සිවිල් ජනතාව සහ  කඳවුරු වල වෙසෙන අවතැන්වූවන් අතර සිට ප්‍රහාර එල්ල කරන හමාස් ත්‍රස්තවාදීන් සොයා එම මෙහෙයුම් ක්‍රියාත්මක බව ඊශ්‍රායල හමුදා පවසති. එම ප්‍රදේශවල සිට හමාස් කණ්ඩායම්, ප්‍රති සන්ධානගත වන බවට ද සැක කෙරේ.

ඉකුත් දිනවල පැවති වෙඩි හුවමාරු හමුවේ, සිය යුද ටැංකි නාශක සහ මෝටාර් ප්‍රහාරවලින් ඊශ්‍රායල භට පිරිස් සැලකිය යුතු සංඛ්‍යාවක් මරු මුවට පත් වූ බව හමාස් සහ ඉස්ලාමික ජිහාඩ් සංවිධාන පවසති.

උතුරු ගාසා තීරයේ මේවන විට ක්‍රියාත්මකව පවතින්නේ කමල් අද්වාන් රෝහල ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන තුනක් පමණි.

පසුගිය දා එම රෝහලේ සිදු කළ ඊශ්‍රායල සෝදිසි මෙහෙයුම් වලදී රෝහල් සේවක පිරිස් සහ ශල්‍ය වෛද්‍යවරු 45 දෙනකු අත්අඩංගුවට පත් වූහ.

නව වෛද්‍ය කණ්ඩායම් රෝහල තුළට පිවිසීමද ඊශ්‍රායල හමුදා විසින් තහනම් කර තිබේ.  එම හේතුවෙන්, තුවාළ  ලබා රෝහල් ගත කෙරෙන රෝගීන් දෛනිකව මිය යමින් සිටින බව වාර්තා වේ.  

සමස්ත රෝහල් පද්ධතියම දැඩි අසීරුතා මධ්‍යයේ ක්‍රියාත්මක කෙරේ.

කමල් අද්වාන් රෝහලේ සියලු අංශ ඉලක්ක කර ඊයෙත් (19), ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල විය. ප්‍රදේශය වෙත ආහාර සහ ජල සම්පාදනය  නවතා දමා තිබේ. කිසිදු  ගිලන් රථයට ද ඊට ඇතුළු වීම ඊශ්‍රායල හමුදා විසින් තහනම් කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ගාසා තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.  සටන් අවසන් වීමත් සමග,  පලස්තීන ගාසා තීරයේ පාලන බලයේ රැඳී සිටීමට තරම් හමාස් සංවිධානයක් තවත් ඉතිරි නොවනු ඇතැයි, ඔහු එහිදී පැවසීය.

හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 101 දෙනා ඉන් මුදා ගන්නා ප්‍රයත්න නතරව නැතැයි ද ඔහු පැවසීය.    

ප්‍රාණ ඇපකරුවකු ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා රැගෙන එන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5 බැගින් ත්‍යාග පිරිනමන බවද ඔහු ප්‍රකාශ කළේය.

කිසිවකු එම ප්‍රාණ ඇපකරුවන්ට හිංසා කෙරේ නම්, ඒ අයට ඊට ලෙයින් වන්දි ගෙවීම හැර අන් විකල්පයක් නැතැයි ද ඔහු පැවසීය.

ප්‍රාණ ඇපකරුවන් හමාස් ත්‍රස්ත ග්‍රහණයෙන්  මුදා රැගෙන එන ඕනෑම අයකුට ආරක්ෂාකාරීව ගාසා තීරයෙන් පලා යාමට පූර්ණ අවස්ථාව සහ ඉඩ ප්‍රස්තා ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.  

"සිතන්න...,  තේරීම ඔබ අතේ. කොහොම සිතුවත්, අපි ඔවුන් සියලු දෙනා නිරුප්‍රදිතව බේරා  ගන්නවා," හෙතෙම ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, යළි  සාම කතාබහට නතු වන තෙක් සටන් විරාම සාකච්ඡා පිණිස මැදිහත් නොවන බව එහි ප්‍රධාන භූමිකාවක නිරතව සිටි කටාර් රාජ්‍යය පසු ගිය දා ප්‍රකාශ කළේය.

හමාස් සංවිධානය වෙතින් සටන් විරාමයකට යම් නම්‍යශීලී බවක් ප්‍රකාශිත වුව, දැන් එම ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දැමීමෙන් තොර, අන් විකල්පයක් නැතැයි අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.

මේ වන විට ගාසා තීරයේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 50,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් 103,898 කට අධික පිරිසක් තුවාළ ලබා සිටිති.

ඊයේ, නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයාගේ ගාසා සංචාරයට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, සහ එරට හමුදා ප්‍රධානී ද සහභාගී වූහ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්