එක්සත් ජනපදය සිරියානු අර්බුදයට කිසි ලෙසකින් හෝ සම්බන්ධ නොවන බව එරට ජනපතිවරණය ජයගත්, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.
සිරියාවේ හොම්ස් නගරයේ පූර්ණ පාලන බලය දැන් තමන් සතු බව කැරලිකරුවෝ අද ප්‍රකාශ කළහ.
දිනෙක සටනකින් එය ඔවුන් අතට පත්වීමත් සමග, ජනපති බෂාර් අල්-අසාද් ගේ වසර 24 ක රාජ්‍ය පාලනය 'කෙස් ගහෙන්' ගැස්සෙන තැනට ඇද වැටී තිබේ. කැරලිකරුවෝ එරට ඩමස්කස් අගනුවර වෙත පෙළපාලි ආරම්භ කර සිටිති.
හොම්ස් මධ්‍යම නගරයෙන් සිරියානු හමුදා පසු බැසීමත් සමග වීදි බට දහස් ගණන් නගර වාසීහු, අසාද් විරෝධී සටන් පාඨ කියමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. අසාද්ගෙන් තොර සිරියාවක සුඛිත ජීවිතය දැන් ඔවුන්ගේ පැතුමය. කැරලිකරුවෝ ද අහසට වෙඩි තබමින්, සැමරුම් හා එක්වූහ. සිරියානු තරුණයෝ ජනපති අසාද් ගේ රුව රැගත් පත්‍රිකා 'සීසීකඩ' ඉරා දැමූහ.

හොම්ස් නගරය, රජයේ හමුදා අතින් ගිලිහීම කැරලිකරුවන් ලද විශාල ජයග්‍රහණයකි. එය සිරියාවේ හදවත බඳු උපායශීලී කලාපයයි. ඩමස්කස් අගනුවර වෙත වෙරළබඩ ප්‍රදේශයේ සිට සේවා සැපයුම් සිදු කෙරෙන ප්‍රධාන අධිවේගී හරස් මාර්ග පද්ධතිය ඒ හරහා වැටී තිබේ.
වෙරළබඩ ප්‍රදේශය ජනපති අසාද් ගේ අලොවීට් (Alawite) කණ්ඩායම විසින් පාලනය කෙරේ. එහි රුසියානු මිත්‍ර හමුදා සතු නාවුක සහ ගුවන් කඳවුරක් ද වේ.
හොම්ස් අත්පත් කරගැනීම 13 වසරක සිරියානු අභ්‍යන්තර ගැටුමේ, කැරලිකරුවන් ලද විශාල ජයග්‍රහණයකි. සිරියානු හමුදා සහ කැරලිකරුවන් අතර වසර ගණනක් තිස්සේ පවතින ගැටුම් වලින් හොම්ස් මුළුමනින්ම පාහේ විනාශ විය. මීට වසර ගණනකට පෙර, නගරය ආක්‍රමණය කළ කැරලිකරුවෝ, සිරියානු හමුදා ප්‍රහාර මධ්‍යයේ පලා ගියහ.
ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් සංවිධානයේ අණදෙන නිලධාරී අබු මෝහම්මෙද් අල්-ගෝලානි (Abu Mohammed al-Golani), මෙවර ආක්‍රමණයේ ප්‍රධාන කැරලි නායකයා ය. හොම්ස් නගරය අල්ලා ගැනීම සිය සටනේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව ඔහු කියා සිටී. අවි බිම තබා යටත් වන්නන්ට කිසිඳු හානියක් සිදු නොකරන ලෙස ඔහු විසින් සටන් සගයින්ට දන්වා තිබේ.

කැරලිකරුවෝ නගරය ආක්‍රමණය කිරීමත් සමග, නගර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දහස් ගණනක් නිදහස් කිරීමට ද පියවර ගත්හ. අපේක්ෂා භංගත්වයට පත් ආරක්ෂක හමුදා, අත්‍යවශ්‍ය ලියකියවිලි පුළුස්සා දමමින් ප්‍රදේශයෙන් ඉවත් වූහ.
ඊයේ (07) සිට ඩමස්කස් අගනුවර අවට දිස්ත්‍රික්ක රැසක ජනතාව කැරලිකරුවන් හා එක්වී ජය සැමරීමට සහ උද්ඝෝෂණයේ නිරත වීමට වීදි බසිමින් සිටිති. අගනුවර අවට ග්‍රාමීය කලාපය රජයේ හමුදා වෙතින් පැහැර ගැනීම පිණිස, තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙමින් ඇති බවත්, සිය මීළඟ ඉලක්කය අගනුවර ආක්‍රමණය කර බලය තහවුරු කර ගැනීම බවත්, කැරලි කණ්ඩායමේ අණ දෙන නිලධාරියකු වන හසන් අබ්දුල් ඝානි පැවසීය.
එක් තදාසන්න ප්‍රදේශයක ඉදි කර තිබූ ජනපති අසාද්ගේ පියා වූ හිටපු ජනපති හෆෙස් අල්-අසාද් ගේ පිළිරුවක් ද කැරලිකරුවන් විසින් කඩා බිඳ 'බිමට සමතලා' කෙරිණි.
හොම්ස් නගරය කැරලිකරුවන් සතු වීම, ඩමස්කස් අගනුවර ලද සුවිසල් පරාජයකි. එහි දශක පහක, ඉරාන සහාය හිමි අසාද් පාලනය දෙදරා ගොස් තිබේ. රජය බිඳ වැටීමට ඉතා ආසන්නය. තවත් දින 5ක් හෝ 10ක් ඇතුළත අනිවාර්යයෙන් එය එසේ සිදුවන බව, එක්සත් ජනපද නිලධාරියකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. එසේ වුවහොත්, ඉදිරි සතිය ඇතුළත, ජනපති අසාද් බලයෙන් පහ කෙරෙනු ඇත.

සියලු අරාබි රටවල්, නවතම සිරියානු අභ්‍යන්තර ගැටුමින් කැළඹී සිටිති. සිරියාව කැරලිකරුවන්ගේ පාලනයට යටත් වීම, කලාපීය අස්ථාවරත්වය තව දුරටත් වර්ධනය වීමකි. එය කලාපීය ආරක්ෂාව පිලිබඳ ඉතා භයානක අර්බුදයකට අතවැනීමක් බවත්, වහා දේශපාලනික විසඳුමක් කරා යායුතු බවත් පවසමින්, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, ජෝර්දානය, ඊජිප්තුව, ඉරාකය, ඉරානය, තුර්කිය සහ රුසියාව ඒකාබද්ධ නිවේදනයක් මගින්කියා සිටී.
එහෙත්, මොහොතින් මොහොත වෙනස්වන සිරියානු ගැටුම මධ්‍යයේ, එවැනි ඉක්මන් විසඳුමක් කරා ඒමේ කිසිදු සූදානමක් ඒ කිසිදු පාර්ශ්වයක් වෙතින් තවමත් දක්නට නැතැයිද නිරීක්ෂණය වේ.
අසාද් පාලනයට එරෙහි සිරියානු අර්බුදය 2011 දී ආරම්භ විය. ඒ සමග ලොව පුරා ජිහාඩ් සන්නද්ධ ප්‍රහාර වලටද මග විවර වූ අතර අභ්‍යන්තර ගැටුම් වලින් අවතැන් වූ මිලියන ගණනක සිරියානුවන්ට, අවට රටවල සරණාගත පිහිට සොයා යාමට සිදු විය.
සිරියානු කැරැල්ලේ ප්‍රධාන භූමිකාවක නිරත ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් සංවිධානය, එරට අල්-ඛයිඩා හිතවාදී ත්‍රස්ත සංවිධානය ද වේ. සිරියාවේ රාජ්‍ය පාලනය බිඳ වැටීම, කුරිරු සහ මුස්ලිම් අන්තවාදී පාලනය යළි එරට හිස එසවීමකැයි, බොහෝ සිරියනුවෝ බියට පත්ව සිටිති.
සුළුතර ජනකොටස් සමග ගැටුමට නොයන බව කැරලි නායක ගෝලානි අවධාරණය කර සිටී. එමෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව ඉලක්ක කර, විදෙස් රටවල් වෙත එල්ල කෙරෙන ප්‍රහාර තමන් අනුමත නොකරන බවද ඔහු කියා සිටී. සතියකට පමණ ඉහත කැරලිකරුවන් විසින් අලාගත් අලෙප්පෝ නගරයෙන් ද කිසිදු පළි ගැනීමක් වාර්තා නොවීය.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergei Lavrov) වෙතින්, ගෝලානි පිලිබඳ කළ විමසීමකදී, " පුඩිමේ රස දැනෙන්නේ, එය ආහාරයට ගන්නා විට" යැයි, ඔහු ප්‍රකාශ කළේය.
සිරියාවේ, ලෙබනන දේශ සීමාවේ පිහිටි ඛසායිර් (Qusayr) හි රැඳී සිටි, ඉරාන සහාය හිමි හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම්, කැරලිකරුවන් එහි පැමිණීමට පෙරම ඉන් ඉවත් වූ බව සිරියානු හමුදා අද තහවුරු කළහ. හිස්බුල්ලා සටන්කරුවන් රැගත් සන්නද්ධ හමුදා රථ 150කට අධික සංඛ්‍යාවක්, කලාපයේ ප්‍රධාන හමුදා සැපයුම් මාර්ගය ඔස්සේ ඉවත්ව ගිය බව ඔවුහු සනාථ කළහ. එසේ පිටත් වූ එක් සන්නද්ධ රථ පෙළකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල වී තිබේ.
ජනපති අසාද්, සිරියානු අර්බුදය විසඳීම කෙරෙහි මිත්‍ර රටවල සහාය සහ විශ්වාසය මත දිගු කලක් එල්බ සිටියේය. රුසියානු යුද ගුවන්යානා මගින් සතුරු කඳවුරු වෙත බෝම්බ ප්‍රහාර එල්ල කෙරුණු අතර, හිස්බුල්ලා සහ ඉරාකයේ අනීතික සන්නද්ධ කණ්ඩායම් සිරියාවේ සහාය පිණිස පිටත් කර හැරීමට ඉරානය පියවර ගත්තේය.
එහෙත් අවාසනාවට 2022 සිට රුසියාව පූර්ණ කාලීනව, යුක්‍රේන යුද්ධයේ පැටලී සිටී. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හිස්බුලා සංවිධානයද දරුණු අවපාතයක සිරවී සිටී. එමගින්, දෙපාර්ශ්වය වෙතින්ම අසාද්ට ලද සහාය තවදුරටත් එපරිදිම හිමි නොවේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
සබැඳි පුවත් :
ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස
සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර
සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ






