දකුණු තායිවානයේ, රිච්ටර් මාපක 6.4ක භූ කම්පනයක් සිදුවේ. එරට චියායි නගරබද, කඳුකර, ග්‍රාමීය පෙදෙසක අද එම භූ කම්පනය සිදුව තිබේ. ඉන්, අවම හානි සිදු වී ඇතැයි, වාර්තා වේ.
මධ්‍යම සහ දකුණු තායිවානයේ කර්මාන්තශාලා කිහිපයක සේවකයින් වහා ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.
භූ කම්පනයෙන්, එරට තායිපේ අගනුවර ගොඩනැගිලිද සෙලව ගිය බව එරට පරිපාලන බලධාරීහු ප්‍රකාශ කරති.
භූ කම්පනයේ අපි-කේන්ද්‍රය චියායිබද, 'දාපු' නාගරිකයේ කි.මී.9.4ක් අභ්‍යන්තරයේ බවද ඔවුහු කියා සිටිති.
එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය පසුවත්ම, එම භූ කම්පනය සිදු විය.

හානියට පත් ගොඩනැගිලි තුළ පුද්ගලයින් අතලොස්සක් සිරවී ඇතැයි, එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඉන් ඇතැමෙක්, මේ වන විටත් බේරා ගැනීමට ගිනි භටයෝ සමත්ව සිටිති.
නගරයේ, මේ තාක් කිසිදු දැඩි හානිදායී තත්ත්වයක් වාර්තා නොවන බවද ඔවුහු පවසති. ඇතැම් ගොඩනැගිලි, ආපදා තත්ත්වයට බඳුන් වීමත් සමග, ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක තාවකාලිකව විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.
තායිවානය, ප්‍රධාන භූ තල දෙකක සන්ධියක් ආසන්නයේ පිහිටි රටකි. 1906 චියායි හි සිදු වූ මේශාන් භූ කම්පනයෙන් පුද්ගලයින් 1,200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
තායිවානයේ ආසන්නතම ප්‍රබල භූ කම්පනය පසුගිය අප්‍රේල් මස වාර්තා විය. රිච්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් එම භූ කම්පනයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
2016 වසරේ එරට සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මරණයට පත් විය. 1999 සිදුවූ රිච්ටර් මාපක 7.3ක භූ කම්පනයෙන් මියගිය පිරිස 2,000කට අධිකය.
(REUTERS ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Southern Taiwan hit by 6.4 magnitude quake, TSMC evacuates some factories






