‘ඉල්ලා අස්වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධකවලට බියේ හෝ වෙනත් බාහිර පීඩනයක් හෝ’ හේතුවෙන් නොවන බව පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම සඳහන් කරයි.
2021 වසරේ අප්‍රේල් මාසයේ සිට පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ සිදු වූ මානුෂීය සහ මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2021 වසරේ මැයි මාසයේ දී ස්ථීර වරමක් සහිතව මෙම කොමිසම පත් කරන ලදි.
දකුණු අප්‍රිකාවේ නවනීදම් පිල්ලේ මෙම කොමිසමේ සභාපතිධුරය හොබවන අතර ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් සිධෝති සහ ඉන්දීය ජාතික මිලූන් කොතාරි මෙම කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ දෙදෙනා ය.
තමන් කොමිසමෙන් ඉවත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධකවලට බියට පත්ව හෝ වෙනත් බාහිර පීඩනයකට හෝ යටත් ව නොවන බව ඔවුන් තිදෙනා උපුටා දක්වමින් මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්
ඔවුන් තිදෙනාගේ ඉල්ලා අස්වීම වාර්තා වූයේ, පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්ට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය සම්බාධක පැනවීමෙන් දිනකට පසුව ය.
කෙසේ නමුත් මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවියට අනුව කොමිසමේ සාමාජිකයන් තිදෙනා ඔවුන්ගේ ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙන මේ මස මුලදී ය.
ඔවුන් තිදෙනාගේ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන්නේ මේ වසරේ නොවැම්බර් මාසයේ දී ය. ඒ මෙම කොමිසමේ 2025 වැඩසටහන අවසන් වීමත් සමඟ ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2006 වසරේ දී ස්ථාපිත කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ කොමිසමක සියලු සාමාජිකයන් මෙලෙස ඒකාබද්ධව ඉල්ලා අස්වී ඇත්තේ පළමු වරට ය.







