තායිලන්තය සහ කාම්බෝජය අතර දින තුනක් මුළුල්ලේ පැවැති ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන ඊයේ (26) වනවිට 33 දක්වා ඉහළ ගියේ ය.
මෙම රටවල් දෙක අතර මෙලෙස ගැටුම් ඇතිවූයේ දශක ගණනාවකට පසුව ය. ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි කාම්බෝජය මෙම තත්ත්වය යටතේ ඊයේ ඉල්ලීමක් කළේ ය.

දෙරට අතර දේශසීමාවේ පවතින අර්බුදය මුල් කරගනිමින් මෙම ගැටුම් ඇති වූ අතර මෙවර ගැටුම් උග්‍ර අතට හැරිණි. ප්‍රහාරයක ජෙට් යානා, කාලතුවක්කු සහ යුද ටැංකි ද භාවිත වී තිබිණි.

දෙරට ඇති වී තිබෙන මෙම තත්ත්වය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා හදිසි රැස්වීමක් ද පැවැත්වීය.
ගැටුම් හේතුවෙන් 13 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් අටදෙනකු සිවිල් වැසියන් බවත් ඉතිරි පස්දෙනා හමුදා සාමාජිකයන් බවත් 71 දෙනකු තුවාල ලබා ඇති බවත් කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.
සිකුරාදා හමුදා සාමාජිකයන් පස් දෙනකු මියගිය බවත් ඒ අනුව ගැටුම් හේතුවෙන් මියගිය 20 දක්වා ඉහළ ගිය බවත් තායිලන්තය ප්‍රකාශය කළේ ය. ඔවුන්ගෙන් 14 දෙනකු සිවිල් වැසියන් බවත් හයදෙනකු හමුදා සාමාජිකයන් බවත් තායිලන්තය තවදුරටත් සඳහන් කළේ ය.
තායිලන්තය සහ කාම්බෝජය අතර 2008 සහ 2011 වසරවලදී මේ ආකාරයෙන් ගැටුම් ඇති විය.







