leader s

ආසියානු දෙරටක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් උණුසුම් දේශ සීමා ගැටුම පසුගිය සතියේ මෙම කලාපය තුළ විශාල ආතතියක් ඇති කළ සිදුවීමක් විය.


ජුලි 24 වැනි දින ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින වඩාත් උත්සන්න වන ආකාරයක් දක්නට ලැබුණු අතර දින දෙක තුනක් තුළ දෙරටෙහි හමුදා භටයින් සහ සිවිල් වැසියන් 35 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවන්නට ද එය සමත් විය.

cambodia 2
මියගිය අය අතරින් වැඩි දෙනෙකු සිවිල් වැසියන් වීම කණගාටුදායක කාරණයකි. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවක් ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

මේ අතර තායි- කාම්බෝජ දේශ සීමාව ආසන්නයේ ජීවත් වූ ලක්ෂ ගණනක් දෙනා වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට ද සිදුව තිබිණි.

එමෙන්ම තායිලන්තයේ සේවය කරමින් සිටි කාම්බෝජ ශ්‍රමිකයන් ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් නැවත කාම්බෝජය වෙත පැමිණ ඇති බව ද වාර්තා විය. ඒ ඔවුන්ගේ රැකියාවලට යම් අවහිරතා ඇති වීම හේතුවෙනි.

 

මේ ගැටුම වඩාත් පැතිරුණු යුද ගැටුමක් දක්වා දුරදිග යනු ඇත් ද යන සැකයක් ද බොහෝ දෙනා තුළ මතුවෙමින් තිබිණි. දෙරටම එකිනෙකා වෙත එල්ල කර ගනිමින් සිටි ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර ඉහළ යමින් ඇති ආකාරයක් දැක ගන්නට ලැබිණි.

පසුගිය කාලයේ විවිධ රටවල් අතර ඇති වූ අවි ගැටුම් සමනය කිරීමට නිතර මැදිහත් වූවකු වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිලන්ත- කාම්බෝජ ගැටුමට ද මැදිහත් වූයේ එවැනි පසුබිමක් තිබියදී යි. ඒ වනවිට ස්කොට්ලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටි ජනාධිපතිවරයා තායිලන්තයේ සහ කාම්බෝජයේ නායකයන් සමග දුරකතනයෙන් කතා කරමින් සටන් විරාමයක් සඳහා ඔවුන් එකඟ කරවා ගන්නට මහන්සි ගත්තේය.

මේ වනවිට තායිලන්තයේ වැඩ බලන අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ පුම්තාම් විචෙයචායි ය. හන් මනෙත් කාම්බෝජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරයි.

 

මෙහි දී ට්‍රම්ප් මෙම නායකයන් සටන් විරාමයක් සඳහා පොළඹවා ගැනීම සඳහා යම් උපායක් ද යොදා ගත්තේය. එනම් ඔහුගේ තීරු බදු ක්‍රියාවලිය මේ සටන් විරාමය සමග ගැට ගැසීමයි. සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇති කරගන්නා තෙක් මෙම දෙරට සමග තීරු බදු සම්බන්ධ සාකච්ඡා නැවත ආරම්භ නොකරන බවක් ඔහු ඉඟි කළේය.

trump ccm

ට්‍රම්ප් ගේ නව තීරු බදු ප්‍රතිපත්තිය යටතේ තායිලන්ත සහ කාම්බෝජ භාණ්ඩ සඳහා මේ වනවිට සියයට 36 ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබේ. අගෝස්තු 1 වැනි දින සිට එම බදු ක්‍රියාත්මක වීමට නියමිත ය.

තීරු බදු ප්‍රතිශතයන් අඩු කර ගැනීම සඳහා මේ වනවිට තවත් බොහෝ රටවල් මෙන්ම තායිලන්තය සහ කාම්බෝජය ද ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටියි. අගෝස්තු 01 වැනි දිනට පෙර ඔවුන් මෙම සාකච්ඡා අවසන් කර තීරු බදු පිලිබඳව එකඟතාවකට පැමිණිය යුතුය.

සටන් විරාමයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු තමා දෙරට සමග වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ට්‍රම්ප් මේ ආකාරයෙන් මෙම ප්‍රශ්නයට මැදිහත් වී ටික වේලාවකට පසු දෙපාර්ශ්වය සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එකඟතාවකට පැමිණියහ.

 

17310889b04f0a9ff843974adcc6037693cbc43c0a3ec6b5bc74883a52e89250

මෙම ගැටුම විසඳීම සඳහා මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමට කැමැති බැව් මැලේසියාව ද සඳහන් කර තිබිණි. ඒ ට්‍රම්ප් මැදිහත් වීමට කලිනි. තායිලන්තය සහ කාම්බෝජය යන දෙරටම සාමාජිකත්වය දරණ ආසියාන් සංවිධානයේ මේ වනවිට සභාපතිත්වය දරන්නේ මැලේසියාව යි.

කෙසේ නමුත් මෙම ප්‍රශ්නයට තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් වෙනවාට තායිලන්තය මුලින් එතරම් කැමැත්තක් දක්වා තිබුණේ නැත. කාම්බෝජය නම් ඉක්මන් සටන් විරාමයක් ඇති කරගැනීම සඳහා වැඩි උනන්දුවක් දැක් වූ බව පෙනිණි. හමුදා ශක්තිය වැනි කාරණා අතින් කාම්බෝජය සිටින්නේ වඩාත් අවාසි සහගත තත්වයක වීම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.

සටන් විරාම සාකච්ඡාවලට තායිලන්තය මුලින් ක්ෂණික අනුකූලතාවක් නොදැක්වුවත් ට්‍රම්ප් ගේ මැදිහත් වීමෙන් පසු එම තත්වය වෙනස් වූයේය.

 



ඒ අනුව සඳුදා දිනයේ මැලේසියාවේ දී දෙරට අතර සටන් විරාම සාකච්ඡා ආරම්භ විය.

එදින සවස් වනවිට විදෙස් මාධ්‍ය හරහා වාර්තා වූයේ තායිලන්තය සහ කාම්බෝජය කොන්දේසි විරහිත සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව යි. එම දෙරටේ වේලාවෙන් සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට සටන් විරාමය ක්‍රියාත්මක වනු ඇති බව මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රහිම් ප්‍රකාශයට පත් කළේය.

“මෙය දෙරට අතර පවතින ආතතිය සමනය කිරීම සඳහාත්, සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් තබන වැදගත් පළමු පියවරක්” යයි ද ඔහු සඳහන් කර තිබේ.

thai cam

 

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශ සීමාව වසර සියයකට ආසන්න කාලයකට පෙර පිහිටුවන ලද්දකි. ඒ වනවිට කාම්බෝජය පැවතියේ ප්‍රංශයේ පාලනය යටතේ යි.

මෙම දෙරට අතර දේශසීමා ගැටුම් මෙයට පෙර ද වරින්වර ඇති වී තිබේ. පසුගිය සියවසේ මුල් භාගයේ ඔවුන් අතර මුලින්ම ගැටුම් ඇති වී තිබුණේ දේශ සීමාව ආසන්නයේ ඇති ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් ආගමික ස්ථානවලට දෙපාර්ශ්වයම අයිතිවාසිකම් කීමත් සමග ය.

මේ වනවිට දෙපාර්ශ්වය සටන් විරාමයකට එකඟ වී ඇතත් එය සාර්ථකව පවත්වා ගැනීම පහසු නොවනු ඇති බවට ද අදහස් පළවෙමින් තිබේ.

(සටහන | නිහාල් පීරිස්)

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්