දෙවසරක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක ගාසා යුද්ධයේ දරුණුතම අවස්ථාවට මුහුණ දීමට ගාසා නගර වැසියන්ට, දැන් සිදුව තිබේ.
ඊශ්‍රායලය, අවසන් හමාස් බලකොටුව සේ සැලකෙන ගාසා නගරය ගුවනින් සහ භූමිය මතින් ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග දහස් ගණන් ගාසා නගරවාසීහු, පලා යමින් සිටිති.
අතට හසුවන අන්තිම වටනා දෙය ද මෝටර් රථ සහ බූරුන් බැඳී කරත්ත මත පටවාගෙන පලා යන ගාසා නගර වැසියන්ගෙන් වෙරළබඩ අල්-රෂීඩ් (al-Rashid) වීදිය පිරී ඇතැයි, අල් ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි.
ගාසා නගරය ආක්‍රමණය කර අත්පත් කර ගැනීමට ඊශ්‍රායල හමුදා පිඹුරුපත් සැකසූ මුල් අවධියේ, නගරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඊශ්‍රායල අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කළ දහස් ගණන් පලස්තීන ජනතාව, දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
ඉකුත් දෙදින පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ පාබල හමුදා ප්‍රහාරවලින්, ගාසා නගරයේ විශාල පෙදෙසක් සුන්නද්ධූලි ව පවතී. දෙපයින් නැගී සිටීමට හැකි බොහෝ පලස්තීනුවෝ දිවි ගලවා ගැනීමට දකුණු දිග ගාසා තීරය බලා පලා යමින් සිටිති.
ඊයේ (16) පමණක්, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා නගරයේ පලස්තීනුවන් 91 දෙනකු ජීවිතක්ෂයට පත් විය. ඊශ්‍රායල ගුවන් හමුදා, පලා යන පලස්තීනුවන් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහ.
මේ වන විට, අවම වශයෙන්, නගරයේ නේවාසික ගොඩනැගිලි 17ක් වත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මුළුමනින්ම විනාශ වී තිබේ. ඒ අතර මුස්ලිම් දේවස්ථානයක් ද වන බව අල්ජසීරා පුවත් සේවය සඳහන් කරයි.
ඊශ්‍රායලය, ගුවනින් බෝම්බ වැස්සක් වස්සමින් ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඊශ්‍රායල පාබල හමුදා, උතුරු ගාසා නගරයේ ප්‍රදේශ රැසක්, පුපුරණ ද්‍රවය රැගත් රොබෝ යන්ත්‍ර මගින් විනාශ කළහ. පසු ගිය මස, එම ප්‍රහාර පිණිස, ඊශ්‍රායලය, රොබෝ යන්ත්‍ර 15ක පමණ සංඛ්‍යාවක් යොදා ගත්හ. පුපුරණ ද්‍රව්‍ය රැගත් එක් රොබෝ යන්ත්‍රයකට උස් නේවාසික සංකීර්ණ 20ක් මුළුමනින්ම විනාශ කිරීමේ හැකියාව පවතී.
දෙවසරක අඛණ්ඩ ගාසා යුද්ධයේ මුල් අදියර අවසන, මිලියනයකට අධික පලස්තීනුවන් පිරිසක්, ඒ වන විටත් විනාශව පැවති ගාසා නගරයේ සුන්බුන් අතර දිවි ඇරඹීමට යළි පැමිණියහ.
මේ වන විට, 3,50,000ක පිරිසක් ගාසා නගරය අතැර පලාගොස් ඇතැයි, ඊශ්‍රායල හමුදා පවසති. එහෙත්, එය සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කරන ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය, ඒ සා විශාල පිරිසක් නගර මධ්‍යයට සහ බටහිරට වන්නට තව දුරටත් අවතැන්ව සිටිතැයි, කියා සිටී.
නගරය ඇත හැර පලා ගොස් ඇත්තේ 1,90,000කට ආසන්න පිරිසක් පමණක් බව එම කාර්යාලය පවසයි.
කෙසේ වෙතත්, පලා යන පිරිස් වෙනුවෙන් ඊශ්‍රායලය විසින් නම් කළ, දකුණු අල්-මවාසි (al-Mawasi) හි පවතින දැඩි අයහපත් තත්ත්වය හේතුකොට, එසේ පලා ගිය පලස්තීනුවන් අතරින් 15,000ක පමණ පිරිසක් ඊයේ (16) ගාසා නගරය වෙත යලි පැමිණ ඇතැයි ද වාර්තා වේ.
ගාසා නගරයේ පූර්ණ පාලන බලය සියතට ගැනීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි, ඊශ්‍රායල හමුදාව ඊයේ නිවේදනය කළේය.
(සටහන | Aljazeera ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/17/2025
මුලාශ්‍රය :
Thousands of Palestinians flee as Israeli bombs rain down on Gaza City







