වියට්නාමය, බලශක්ති, විදුලි සංදේශ සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර පිණිස ඉදිරිපත්වන විදෙස් ආයෝජකයන් පොලිස් අධීක්ෂණයට අදාළ අනුමැතීන්ට යටත් කිරීමේ නව නියෝග හඳුන්වා දීමට සැරසේ.
එරට ආරක්ෂාව තර කිරීමේ සහ පාලක කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පූර්ණ පක්ෂපාතීත්වය තහවුරු කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යටතේ, නව නියෝග හඳුන්වා දීමට නියමිතය.
තවමත් කෙටුම්පත් අවධියේ පවතින ප්‍රතිසංස්කරණ නියෝග ක්‍රියාත්මක වීමෙන් අනතුරුව, එරට ආයෝජන ව්‍යාපෘති පිණිස ඉදිරිපත්වන්නන්ට, ඒ වෙනුවෙන් ඉහළ බැඳුම්කර පිරිවැයක් දැරීමට සිදුවෙතැයි, අපේක්ෂා කෙරේ.
සමාජ-ආර්ථික සංවර්ධනයේදී, ජාතික අවශ්‍යතා නොනැසෙන සේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට යෝජනාවක් එරට ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ දක්වා තිබේ. මෙම මස 22 දක්වා, වියට්නාමයේ අනෙකුත් අමාත්‍යංශ වෙත, ඊට අදහස් හා යෝජනා එක් කිරීමේ අවස්ථා ලබා දී ඇත. අවසන් ප්‍රතිසංස්කරණ නියෝග ලේඛනය අග්‍රාමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කිරීමට නියමිතය.
ආර්ථික ප්‍රවර්ධනය පිණිස, ප්‍රධාන වශයෙන්, නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයේ එල්බ සිටින වියට්නාමය, බොහෝ සෙයින් විදෙස් ආයෝජකයන් මත යැපෙන අග්නිදිග ආසියානු ආර්ථිකයකි.
දැනට, එරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යපෘති බහුතරයක් සීමිත පොලිස් අධීක්ෂණ යටතේ සිදු කෙරේ. එම පොලිස් අධීක්ෂණ ද හුදෙක් උපදේශන මට්ටමේ පවතී. නව ප්‍රතිසංස්කරණ, මෙම ක්‍රියාවලියට කෙතරම් බලපාන්නේදැයි සහ ඒවා ක්‍රියාත්මක වන්නේ අනාගත ව්‍යාපෘති උදෙසා පමණක්ද යන වග මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැත.
ලොව අනෙකුත් බලවත් රටවල උපායමාර්ගික සහ තරගකාරී වෙළඳ බලාධිකාරය යටතේ එල්ලවන බලපෑම්වලට සාර්ථකව මුහුණ දෙමින්, සංකීර්ණ ජාත්‍යන්තර තරගකාරීත්වය හා කටයුතු කරනුවස්, නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
කොමියුනිස්ට් පාලනයක් පවතින වියට්නාමයේ ආරක්ෂාවට පරිබාහිර තවත් බලතල රැසක්, එරට පොලිසිය සතුය.
ටොම් ලැම් (To Lam)
මීට පෙර, මහජන ආරක්ෂක අමාත්‍යංශය හෙබවූ ටොම් ලැම් (To Lam) එරට ප්‍රබලතම දේශපාලන චරිතය වන අතර ඔහු, වත්මන් කොමියුනිස්ට් පක්ෂ නායකයා ය. පොලිසියට අමතරව එරට හමුදාව ද ආයෝජන ව්‍යාපෘති රැසක් අධීක්ෂණය කරයි. වියට්නාම විදුලි සංදේශ ක්‍රියාකරු වියට්ටේල් (Viettel) සහ එරට බැංකු පද්ධතියද හමුදා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
නව ප්‍රතිසංස්කරණ යටතේ, එරට මහජන ආරක්ෂක අමාත්‍යංශයට, විදෙස් ආයෝජන මත ක්‍රියාත්මක න්‍යෂ්ටික බලාගාර, විදුලි සංදේශ, චන්ද්‍රිකා තාක්ෂණ හා සන්නිවේදන සේවා, වරාය සහ තෙල් පිරිපහදු සංකීර්ණ වැනි ව්‍යාපෘති ගණනාවක සෘජු අධීක්ෂණ බලය හිමිවේ.
ඉදිරියේදී ඇමෙරිකානු සමාගම් වන ස්පේස් එක්ස් (Amazon) සහ ඇමේසන් (SpaceX ) වැනි සමාගම් වියට්නාමයේ, සිය චන්ද්‍රිකා සන්නිවේදන සේවා ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/18/2025
මුලාශ්‍රය :
Investors in Vietnam to face strict police screening under planned reform







