රුසියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා තුනක් ඊයේ (19) එස්තොනියාවට (Estonia) ඉහළ අහසේ පියාසර කළ බව එස්තෝනියාව කියයි. නැටෝ (NATO) සාමාජික රටක් වන එස්තෝනියාව, එය සිය ගුවන් කලාපය උල්ලංඝනය කිරීමකැයි චෝදනා කර සිටී. රුසියානු ගුවන් යානා විනාඩි 12ක් පමණ එස්තොනියාවට ඉහළ අහසේ රැඳී සිටි බව වාර්තා වේ.
එස්තෝනියාව විසින් එම ප්‍රහාරක යානා පලවා හැරීමට පියවර ගෙන තිබේ. එහෙත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියානු බලධාරීහු පවසති.
මෙම මස 9 සහ 10 දෙදින රාත්‍රී රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ පෝලන්ත ගුවන් කලාපය ආක්‍රමණය කළ බව මීට පෙර වාර්තා විය. එම දැනුම් දීමත් සමග නැටෝ සංවිධානයට අයත් ප්‍රහාරක ජෙට් යානා මගින් රුසියානු ඩ්‍රෝන රැසක් විනාශ කිරීමට පියවර ගත් බව එම සංවිධානය කියයි. රුසියාව, යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී, නැටෝ සාමාජික රටවල සූදානම පිරික්සමින් ඇතැයි, එම සාමාජික රටවල් පවසති.
රුසියානු - යුක්‍රේන ගැටුම අතරතුර රුසියානු ප්‍රහාරක යානා බෝල්ටික් මුහුදට ඉහළ අහසේ පියාසර කිරීම සුලබ දසුනක්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර නොබෝ දා රුසියාව සහ බෙලරුස් (Belarus) රාජ්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවති බව වාර්තා වේ. එහිදී, රුසියානු න්‍යෂ්ටික අවි පෙරහුරුවක් ද පවත්වා ඇත.

මෙම වසරේ ගත වූ කාලය තුළ රුසියානු ප්‍රහාරක යානා සිව් වතාවක් එස්තෝනියානු ගුවන් කලාපය ආක්‍රමණය කළ බව එස්තෝනියාව පවසයි.
රුසියානු ප්‍රහාරක යානා පියාසර කරන්නේ, බෝල්ටික් මුහුදට ඉහළ නිදහස් ගුවන් කලාපයේ වයඹ දිග රුසියාවේ සිට කැලිනින්ග්‍රාඩ් (Kaliningrad) කලාපය අතර පමණක් බව එරට විදේශ අමාත්‍යංශය විසින් අද (20) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/20/2025







