ඇෆ්ඝනිස්ථානයේ බග්‍රෑම් (Bagram) ගුවන් කඳවුරේ පාලනය යළි ඇමෙරිකානු හමුදා වෙත භාර නොදෙන්නේ නම්, දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන්නැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (20) අනතුරු ඇඟවීය.
එය සියතට ගැනීම පිණිස හමුදා පිටත් කර හරින්නේ දැයි ඔහු විසින් නිශ්චිතව ප්‍රකාශ කර නැතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
"ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ඝනිස්ථානයේ ඉදි කළ බග්‍රෑම් ගුවන් හමුදා කඳවුර, එය ඉදි කළවුන් වෙත යළිපවරා නොදෙන්නේ නම්, නරක දේවල් වෙන්න පුළුවන්," ටෘත් (Truth) සමාජ ජාලයේ පණිවුඩයක් තබමින් ඔහු එසේ පැවසීය.
2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඇමෙරිකානු හමුදා යටතේ පැවති එම කඳවුරේ බලය යළි අත්පත් කරගන්නා බව ජනපති ට්‍රම්ප් පසු ගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය. අෆ්ඝනිස්ථානය හා ඒ සම්බන්ධයෙන් සාකචා කළ බවද ඔහු එහිදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
2021 වසරේ එක්සත් ජනපද හමුදා ඉන් ඉවත් වීමෙන් අනතුරුව, කඳවුරේ බලය ඉස්ලාමීය තලිබාන් (Taliban) සංවිධානය අතට පත් විය.
කඳවුර යළි පවරා ගැනීමේ එක්සත් ජනපද යෝජනාවට තලිබාන් නිලධාරීන් විරුද්ධත්වය පල කර ඇතැයි, වාර්තා වේ.
බග්‍රෑම්, යළි අත්පත් කර ගැනීමේ අදහස ක්‍රියාත්මක කිරීම යනු ඇෆ්ඝනිස්ථානය නැවතත් ආක්‍රමණය කිරීමේ එක්සත් ජනපද අභිප්‍රාය බව හිටපු එක්සත් ජනපද හමුදා නායකයෝ පෙන්වා දෙති. ඒ වෙනුවෙන් අවම වශයෙන්, ඇමෙරිකානු හමුදා භටයින් 10,000ක් සහ ඉදිරි පෙළ ගුවන් හමුදා මෙහෙයුමක් දියත් කළ යුතු බව ඔවුහු කියා සිටිති.
පැනමා (Panama) ඇලේ සිට ග්‍රීන්ලන්තය (Greenland) තෙක් කලාපයේ ස්ථාන රැසක් යළි එකත් ජනපද පාලනය යටතට ගත යුතු බව ජනපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/21/2025
මුලාශ්‍රය :
Trump says 'bad things' will happen if Afghanistan does not return Bagram air base







