මැලේසියා ගුවන් සේවයට අයත්, අතුරුදන් වූ එම්.එච්.370 ( MH370) යානය පිලිබඳ සෝදිසි මෙහෙයුම් මෙම මස 30 දා සිට යළි ඇරඹේ.
මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් රැගෙන ක්වාලා ලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කරමින් තිබූ බොයිඞ් 777 වර්ගයට අයත් එම්.එච්.370 ගුවන් යානය 2014 වර්ෂයේ ගුවනේදී අතුරුදන් විය. එය මෑත කාලීන ගුවන් ඉතිහාසයේ සිදුවූ මෙතෙක් නොවිසඳුණු අභිරහස් ගුවන් අනතුරක් වේ. අනතුරින් පසු, අතුරුදන් ගුවන් යානය සොයා ජාත්‍යන්තර මට්ටමේ සෝදිසි මෙහෙයුම් කිහිපයක් දියත් කෙරුණ ද ඒ සියල්ල ඵල රහිත විය.

දකුණු ඉන්දීය සයුරේ සිදු කෙරුණු ඒ පිලිබඳ ආසන්නතම සෝදිසි මෙහෙයුම ද අයහපත් කාලගුණික තත්ත්වය මත ඉකුත් අප්‍රේල් මස නවතා දැමිණි. එම මෙහෙයුම් යළි අරඹන බව ගවේෂණ භාර ඕෂන් ඉන්ෆිනිටි (Ocean Infinity ) සමාගම ඉකුත් දා දැනුම් දුන්නේය. දින 55ක් තුළ සාගර පතුළ ආශ්‍රිතව අදාල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. අතුරුදන් ගුවන් යානය පවතින බවට වැඩි සම්භාවිතාවකින් අනුමාන කෙරෙන ප්‍රදේශයක නව ගවේෂණ කටයුතු සිදු කිරීමට නියමිතය. එම නිශ්චිත ප්‍රදේශය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.
ගුවන් යානය එහි ගමන් මාර්ගයෙන් පිටතට හිතා මතාම, පියාසර කර ඇති බවට පළ වන මතය මැලේසියානු බලධාරීන් තවමත් පූර්ණ වශයෙන් බැහැර කර නැත. පසු කාලීනව,ගුවන් යානයේ බවට විශ්වාස කළ හැකි සුන් බුන් අප්‍රිකානු වෙරළ තීරයෙන් සහ ඉන්දියානු සාගරයේ දූපත් අසලින් හමු විය. ඉන් ඇතැම් කොටස් ගුවන් යානයට අයත් ඒවා බවට පසුව තහවුරු කෙරිණි.

ගුවන් යානය සොයා නව මෙහෙයුම්, මැලේසියානු රජය සහ ගවේෂණ සමාගම අතර පූර්ව එකඟතා ගිවිසුම් ප්‍රකාරව සිදු කෙරේ. ඒ අනුව, දකුණු ඉන්දීය සාගරයේ වර්ග කි.මී.15,000ක් පීරා සිදු කෙරෙන ගවේෂණ අතරතුර සොයා ගැනෙන ගුවන් යානයේ බවට තහවුරු කෙරෙන සුන් බුන් වෙනුවෙන්, රජය විසින් එම සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් පිරිනැමීමට එකඟව තිබේ. අනතුරින් පසු, එම සමාගම විසින් 2018 තෙක් සිදු කෙරුණු ගවේෂණවලදී, දී ඒ පිලිබඳ කිසිදු හෝඩුවාවක් හමු නොවිණි.

එම්.එච්.370 ගුවන් යානය කවුරුන් හෝ හිතා මතාම නියමිත ගුවන් පථයෙන් ඉවතට පියාසර කර ඇති බව, එම අනතුර පිලිබඳ 2018 වසරේ නිකුත් කෙරුණු පිටු 495කින් යුත් වාර්තාවකින් අනාවරණය විය. එහෙත්, ඊට සෘජුව වගකිවයුත්තේ කවුරුන්දැයි නිවැරදිවම නිශ්චය කිරීමට විමර්ශන නිලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් ඒ පිලිබඳ අවසන් නිගමනයකට එළැඹීමට නොහැකි විය. කෙසේ වෙතත්, ගුවන් යානය පිලිබඳ පසුබිම, මූල්‍ය කටයුතු, ගුවන් නියමුවා සහ උප නියමුවාගේ පුහුණුව මෙන්ම, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පිලිබඳ ගැටළුවක් නොපැවති බව ද විමර්ශන නිලධාරීහු පැවසූහ.
අනතුර සිදුවන අවස්ථාවේ, ගුවන් යානය තුළ චීන ජාතිකයින් 150ක් ගමන් ගනිමින් සිටියහ. ඊට අමතරව, මැලේසියානු ජාතිකයින් 50 දෙනකු, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, එක්සත් ජනපදය, යුක්‍රේනය සහ කැනඩාව යන රටවලට අයත් මගීහු ද එහි වූහ. ඔවුන්ගේ ඥාතීහු මැලේසියානු ගුවන් සේවයෙන්, බොයිඞ් ගුවන් යානා ඇන්ජින් නිෂ්පාදනය කරන රෝල්ස් රොයිස් සමාගමෙන් සහ එලායන්ස් රක්ෂණ සමාගමෙන් ගුවන් අනතුරින් මිය ගිය සිය පවුල් සාමාජිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස බල කර සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







